සද්ධා යනු පැහැදෙන සුළු බව හෝ හිතට එකඟව පිළිගැනීමයි. තමා තුළ පිහිටුවා ගැනීමයි. දැඩිව එල්බ ගන්නා ලද එම අදහසින් (සිත) නොකිළිටි බවට පත්කර ගැනීම හෝ, සෝවාන් ආදියෙහි පිහිටුවීමට හෝ ඇදහිය යුතු හෙවත් නොවෙනස්වන අයුරු දහමෙහි පිහිටීම හෝ කැඩපතක පැහැදිලි බව මෙන් ද, කැළඹුණු ජලය පැදෙනු පිණිස ජලයට දමන දිය පහදන මැණික මෙන් ද, පහන් සිතිවිලි ඇති බවයි. බීජං (මෙය) පස් ආකාරය. මුලෙන්, කඳෙන්, ගෙඩියෙන් මුදුනින්, ඇටවලිනි. ඒ සියල්ලම වැඩෙන තේරුමෙන් බීජ නමින්ම හැඳින්වෙයි. එසේ හෙයින් ‘බීජඤ්චෙතං විරූහනට්ඨෙන’ යනුවෙන් කීය.
එහි බමුණාගේ ගොවිතැනෙහි මූලික වන බීජ කරුණු දෙකක් ඉටු කරයි. (මඩ) යට මුල් ඇදී පිහිටීමත්, මතුපිටට පැලය මතුවීමයි. එපරිද්දෙන්ම, භාග්‍යවතුන් වහන්සේ සී සෑමෙහි මුල බීජය මෙන්, සැදැහැවත් බව (සිත) යට සිල් නැමති මුලෙන් පිහිටුවන අතර, මත්තෙහි සමථ විදසුන් නැමති පැල හටගන්වති. (වපුරන ලද) බීජය මුලින් පොළවෙහි රසය, දිය රසය (උරා) ගෙන කරල් බරව, අස්වනු පැසී වැඩෙන අයුරින් සැකසේ. එපරිද්දෙන්ම මොහු සිල් නැමති මුලෙන් සමථ විදසුන් නැමති රසය උරාගෙන, උතුම් මග පිළිවෙත් නමැති කරලින් උතුම් (සෝවාන් ආදී) පල නැමති අස්වැන්න පැසුණු බවට සලස්වයි. බීජය පොළවෙහි පිහිටුවා, මුල්, පැල, කොළ, දඬු, ඇට ආදියෙන් මනාසේ වැඩී, කිරිවැදී, නොයෙක් හැල් වී අස්වනු නිපදවයි ද එසේම මොහුගේ සිත් සතන්හි, සීලයෙහි සුපිරිසිදු බව, (සීල විසුද්ධි) සිතෙහි පිරිසිදු බව (චිත්ත විසුද්ධි) ඇති සැටියෙන් දැකීමේ පිරිසිදු බව (දිට්ඨි විසුද්ධි) සැක දුරුවීමෙහි පිරිසිදු බව (කංබා විතරණ විසුද්ධි) මග නොමග දැනීමේ පිරිසිදු බව (මග්ගාමග්ග ඤාණ දස්සන) පිළිවෙත් නුවණින් දැකීමේ පිරිසිදු බව (පටිපදා ඤාණ දස්සන) යන කරුණුවලින් වැඩිදියුණු කොට, තියුණු නුවණ වූ විදසුන් මගින් ලබන පිරිසිදු බව (ඤාණ දස්සන විසුද්ධි) නැමති කිරි උපදවා, පිළිසිඹියා හා උසස්තම නුවණින් (පටිසම්භිදා අභිඤ්ඤා) බර වූ අරහත් ඵලය නිපදවයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සද්ධා බීජං යැයි වදාළහ.
එසේ නම්, නුවණ කුසල-දහම් හා යෙදෙමින්, මතු මතුත් ඇතිවන විට සැදැහැ බවම බීජය ලෙස කියනු ලැබුවේද? මෙහිදී බීජයක වැඩෙන පිළිවෙල (නිදසුන්ය.) එම කුසල දහම් පිළිබඳව හැඳිනීමක්, හැඟීමක් දැනගැනීමට සැලසේද, සැදැහැව නම් වූ බීජයද එබඳුය. එයද සියළුම යහපත් දෙයට මුල් වෙයි. එහෙයින් මෙසේද සඳහන් වේ.
‘සැදැහැවත් බව ඇති වූ විට පැමිණෙයි. පැමිණ ඇසුර කරයි. ඇසුරු කිරීමෙන් සවන් යොමයි. එසේ සවන් යොමා දහම් අසයි. දහම් අසා සිතෙහි මතක තබා ගනී. මතක තබාගත් දහම්හි අරුත් මෙනෙහි කරයි. අරුත් මෙනෙහි කරමින් දහමෙහි වැටහීමක් ලබයි. වැටහීමෙන් (ඒ පිළිබඳ තවදුරටත්) කැමැත්ත හටගනී. කැමැත්ත නිසා උත්සාහවත් වෙයි. උත්සාහවත්ව කරුණු සසඳා බලයි. සසඳා බලා තමා තුළින්ම (කායෙන) ඇති තතු තමාම අවබෝධ කරයි. තියුණු නුවණින් ද ඇත්ත විනිවිද දකියි.’
අයහපත් කරුණු සිරුරෙන් ද තැවීමට පත්කරන අරුතින් තපො නම් වේ. ඉඳුරන් සංවරය, උත්සාහය, කෙලෙසුන් දුරු කිරීමට අනුගමනය කරන වත් හෙවත් ධුතාංග, දුක් සහිත අපහසුතාවට යොමුවීම එයට සමාන වචනයි. මෙහිදී අදහස් වන්නේ ඉඳුරන් සංවරයයි. වුට්ඨි සුළං වැසි හා වහින වැස්ස යනුවෙන් නොයෙක් ආකාරය. මෙහි අදහස් කෙරෙන්නේ වහින වැස්ස යි. මෙසේ වසින වැස්සෙන් බීජ මුල් ඇදී වැඩේද, මැලවී නොයේද බමුණා බලාපොරොත්තු වන පරිදි ඉටු වේද, එපරිදිම භාග්‍යවතුන් වහන්සේගේ ද ඉඳුරන් සංවරයෙන් උපකාර වන සැදැහැ බවද සැදැහැ බවට මුල් වූ සීලාදී ගුණදහම් වැඩේ. මිලාන නොවේ. බලාපොරොත්තු ඉටුවෙයි. එහෙයින් තපො වුට්ඨි යැයි වදාළහ. පඤ්ඤා මෙ යන තැන ‘මෙ’ පදය සද්ධා මෙ බීජං, තපො මෙ වුට්ඨි - සැදැහැ බව මගේ වපුරන බීජයයි. ඉඳුරන් සංවරය මගේ වැස්ස යයි, මේ අයුරු යෙදිය යුතුය. (ඉඳුරන් සංවරය මට වැස්ස වෙයි.) එයින් කුමක් හැඟේද? බමුණ, ඔබ වපුරනු ලබන බීජයට වැස්ස ලදොත් හොඳය, ජලය නොලැබේ නම්, ජලය සැපයිය යුතුය. එසේම මා විසින් ලජ්ජාව නැමති නගුල් හිසින්, නුවණ නැමති වියදඬු නගුලෙන්, සිත නැමති රැහැනින් එකට බැඳි, උත්සාහය නැමති ගොනුන් යොදා සිහිය නැමති කෙවිටෙන් ඇන, තම සිත නැමති කෙතෙහි සැදැහැ බිජු වැපිරූ විට, වැසි නොලැබීමක් නම් නැත. මගේ මේ ඉඳුරන් දමනය නිරතුරුවම වැස්සය.
(ඒ බව) වෙනත් කෙනෙකු හෝ තමා විසින් හෝ එය දැනගනී ද පඤ්ඤා නම් වේ. එය කාමාවචර ආදී ලෙසින් නොයෙක් ආකාරය. මෙහිදී ඒ කාමාවචර ලෙසින්ද, විදසුන් මගින් ලබන මගපල නුවණද අදහස් වේ. යුගනංගල - වියගහ සහ නගුලය. බමුණාගේ වියගහ සහ නගුල සේම, භාග්‍යවතුන් වහන්සේගේ දෙආකාර වූ ඒ නුවණය. යම්සේ වියගස නගුල් ඉස මත්තෙහි (පිහිටාද) ඉදිරියෙහි වේද, නගුල් ඉසට බැඳී තිබේද, රැහැන ඊට ඉවහල් වෙයි. එයින් ගොනුන් එක්තැන්ව ගමන් කිරීම වළකී. මෙසේ නුවණ ලජ්ජාව මුල් ඉදිරියට යයි. ‘සියළු යහපත් කරුණු අතර නුවණ උසස්ම වේ.’ ‘පඤ්ඤුත්තරා සබ්බෙ කුසලා ධම්මා’, නකත් තාරකාවලට සඳ මෙන් නුවණින් උතුම් බවට පත්වීම ඉතා යහපතැ’යි ‘පඤ්ඤාභිසෙට්ඨො කුසලා වදන්ති, නක්‍ඛත්තරාජාරිව තාරකානං’ කියති. නුවණ කුසල දහම්වලට මුල්ව ඉදිරියෙන්ම සිටීයැයි එසේ හෙයින් කියන ලදී. එමෙන්ම සීලය හා ලජ්ජාව අනුව යන යහපත් කරුණින් නුවණැත්තකු වෙතියිද කියා ඇත. ‘සීලං හිරීචාපි සතඤ්ච ධම්මා අන්‍වායිකා පඤ්ඤවතො භවන්ති’ ලජ්ජාව නැතිවිට නොබැඳි නගුලිස මෙනි. සිත යැයි කියන ලද සමාධි නම් වූ රැහැන නගුල හා ගොනුන් බැඳෙන රැහැනද මෙනි. දැඩිව පටන් ගත් උත්සාහයෙන් කුසීත බව වැළකීමෙන් උත්සාහය නැමති ගොනුන්ගේ එකවිට (වේගයෙන්) යන ගමන ද වළකී. සීසාන විට නගුල් තලයෙන් පොළව මතුපිට බිඳෙන්නා සේ ම, වැඩී ඇති (තණ ආදිය) පැළෑටි මුල පිටින්ම උදුරා විසුරුවාලයිද, මෙසේම, සිහිය නැමති නගුල් තලයෙන් යුතු විදසුන් නුවණ වඩන කල්හි, සිතිවිලි පරම්පරාවේ එකතුවන අරමුණ මතුපිට බිඳී සියළු කෙලෙස් මුල් පරපුරම උදුරා දමයි. එය ලොවුතුරු ලෙසින්ද (මගපල-නිවන) ජීවිත වටපිටාව තුලද (මෙලොව) වෙයි. එහෙයින් පඤ්ඤා මෙ යුග නංගලං යැයි කීහ.