3. ඛග්ගවිසාණ සූත්ර වර්ණනාව
සබ්බෙසු භූතෙසු යනු ඛග්ග විසාණ සූත්රයයි. එයට හේතු වූ කරුණු කුමක්ද? සියළුම සූත්ර දේශනා කිරීමට හේතු සතරාකාර වේ. ඒ තම අදහස අනුව, අන් තැනැත්තකුගේ අදහස අනුව, සුදුසු වේලාවකදී හා කරුණු විමසූ විටකදී යනුවෙනි. ද්වයතානුපස්සනාදි සූත්ර තම අදහස පරිදි ද, මෙත්ත ආදී සූත්ර වෙනත් තැනැත්තන්ගේ අදහස් පරිදිද, උරග සූත්රාදිය අදාළ අවස්ථා අනුවද, ධම්මික සූත්ර ආදිය විමසීම් ලෙසින්ද (දේශනා කොට ඇත) ඛග්ග විසාණ සූත්රය කරුණු විමසීමක් ලෙස පොදුවේ දේශනා කළද, එහි ඇතැම් ගාථා ඒ ඒ පසේබුදුවරුන් වහන්සේලා විමසන ලදුව, වදාරා ඇත. ඇතැම් ගාථා, එසේ විමසීම් නොකළ ද තම තමන්ගේ අවබෝධය අනුව උදාන ලෙසින් පළකරන ලදී. එහෙයින් ඇතැම් ගාථා විමසා ඇති නිසාද, ඇතැම් ගාථා තම අදහස් පරිදිද දේශනා කොට ඇත.
මෙහි ගාථා පොදුවේ විමසා ඇති පරිදි දේශනා කළද, එය මුල පටන්ම මෙසේ දතයුතුය. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසති. ඉක්බිති, ගරු කටයුතු ආනන්ද හිමිට හුදකලාවේ විවේකයෙන් සිටිද්දී ‘බුදුවරුන්ගේ (බෝසත් කල) පැතුම් ද, ඉදිරි (අරමුණ) ඉටුකර ගැනීමේ බලාපොරොත්තුද, සව්වන් (පිළිබඳ එබඳු කරුණු පැහැදිලි අතර) පසේබුදුවරුන් වහන්සේලා ගැන එසේ නොඇසූ බැවින් භාග්යවතුන් වහන්සේගෙන් විමසන්නෙම් නම් මැනවැයි මෙබඳු අදහසක් ඇති විය. විවේකයෙන් නැගිට, ආනන්ද හිමි භාග්යවතුන් වහන්සේ වෙත එළඹ, එම කරුණ විචාළහ. භාග්යවතුන් වහන්සේ ආනන්ද හිමිට පුබ්බ යොගාවචර සූත්රය වදාළහ.
‘ආනන්ද, භාවනාවෙහි යෙදුනු තැනැත්තකු මුලසිටම ලබන අනුසස් පහකි. ජීවිත කාලය තුල, කලින්ම - අන් තැනැත්තන්ගේ සිත දිනා ගනී. එසේ නොමැති නම්, පසුව ජීවිත කාලය තුලදීම එසේ සිත දිනාගනී. මැරෙන මොහොතෙහි අන් තැනැත්තන්ගේ සිත් ගනී. දෙව් පුතකුව අන් තැනැත්තන්ගේ සිත් ගනී. බුදුවරුන් හමුව, ඉක්මනින් පිරිපුන් උසස් නුවණ (අභිඤ්ඤා) උපදවා ගනී. පසුව (සසර ගමන අවසන් භවය) පසේබුදුවරයකු වෙති.’
මෙසේ වදාරා, නැවත ද,
‘ආනන්ද, පසේබුදුවරුන් නම්, දහම් අවබෝධය ලබන හේතුසම්පත් ඇති, මුලසිටම ඒ සඳහා භාවනානුයෝගීව කටයුතු කරන්නෝ වෙති. එහෙයින් බුදුවරුද, පසේබුදුවරුද, සාවක (මහරහත්) සියල්ලෝම පැතුම් ද දහම් අවබෝධයද කැමති වෙති’යි වදාළහ.
‘හිමියනි, බුදුවරුන්ගේ බලාපොරොත්තු පැතුම කොපමණ කලක සිට තිබිය යුතුද?’ අනඳ හිමියෝ ඇසූහ. ‘ආනන්ද, බුදුවරුන්ට අඩුම වශයෙන් අසංඛෙය්ය සතරකුත් කල්ප සියදහසක්ද, අතරමැද අසංඛෙය්ය අටකුත් කල්ප සිය දහසක්ද වැඩිම වුවහොත් අසංඛෙය්ය දහසයකුත් කල්ප සියදහසක්ද වෙයි. ‘එයද නුවණින් වැඩි, සැදැහැයෙන් වැඩි, උත්සාහය වැඩිවන අයුරින් දතයුතුය. නුවණ වැඩිවූවන්ට සද්ධාව අඩුවේ. නුවණ සියුම්, බලවත්ය. (උත්සාහය අතරමැද ලෙසිනි.) සැදැහැ බව වැඩි වූවන්ට නුවණ මද පමණට වේ. උත්සාහය වැඩි වූවන්ට නුවණ මද වේ. අසංඛෙය්ය සතරකුත් කල්ප සියදහස නොපිරුණහොත්, දිනපතා වෙසතුරු දානය හා සමාන දාන පිරිනැමූවත්, එයට අනුරූප සීල ආදී පිරිය යුතු පාරමී දහම් රැස් කළද, ඒ අතර කාලයෙහි බුදුබවට පත්වීම සිදුවන්නේ නැත. කවර හෙයින්ද? මැනවින් නුවණ තහවුරු නොවූ බැවිනි. වැඩි දියුණුවට පත් නොවූ බැවිනි. පිරිපුන් නොවූ බැවිනි. යම්සේ, තෙමසක්, සිවුමසක්, පස්මසක් ගතවූ පසු නෙලාගත යුතු අස්වැන්න, දවසින් දවස පිරික්සමින්, ජලය සපයමින් ඊට කලින් හෝ මාසයකින් හෝ නෙලා ගැනීමට (බලාපොරොත්තු වුවත්) නියමිත කල් නොපැමිණ එය සිදුවන්නේ නැත. මක්නිසාද? අස්වැන්න මනාව සකස් නොවීමයි. සුදුසු පරිදි නොවැඩීමයි. නොපැසුණු, නොමේරු බවයි. එමෙන්ම අසංඛෙය්ය සතරකුත් කල්ප... බුදුබවට පත්වීම සිදුවන්නේ නැත. එහෙයින් ඉහත කියන ලද පරිදිම නුවණ මේරීමට සුදුසු කාලයම පෙරුම් පිරිය යුතුය. එපමණ කලක් බුදුබව පතමින් එය ඉටුකර ගැනීමෙහි අවැසි කරුණු අට සපුරාගත යුතුය.
‘මනුස්සත්තං ලිංගසම්පත්ති හෙතු සත්ථාරදස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්දතා
අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී’
පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්දතා
අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී’
අභිනීහාරො යනු බුදුවීමේ අදිටන ඉදිරියට ගෙනයෑමට මුලසිටම සිත දරා ගැනීමට සමාන වචනයකි. මනුස්සත්තං මිනිස් භවයක් ලැබීමයි. මිනිසෙකු හැර දෙවියකු වැනි වෙනත් ලෙස ඉපිද සිටියද ඒ අදහස ඉටු නොවේ. එබඳු භවයක ඉපදුන කෙනෙකු විසින් දානාදී පින්කම්කොට මිනිසත් බවම පැතිය යුතුය. එහි සිට අදිටන් කළයුතුය. එසේ ඉටුවේ. ලිංග සම්පත්ති පිරිමියෙකු වීමයි. කාන්තාවක, නපුංසක, ගැහැණු-පිරිමි ලිඟු දෙකින්ම යුතු වූවකුට මිනිසකුව සිටියත් එය ඉටු නොවේ. බුදුබව පතමින් දන් පින් කොට පිරිමි බව පැතිය යුතුය. බලාපොරොත්තු තැබිය යුතුය. එසේ ඉටුවේ. හෙතු යනු අරහත් බව ලැබීමට හේතු සම්පත්ය. යම් කෙනෙකුට (පිරිමියෙකුව) ඒ ඉපිද ඇති භවයේම වෑයම් කරමින්, අරහත් බවට පත්වීමට හැකිවේද, සුමේධ පණ්ඩිතයනට මෙන් ඔහුගේ අදහස ඉටුවේ. සුමේධ පණ්ඩිතට දීපංකර බුදුහිමි හමුවෙහි පැවිදිව ඒ ජීවිත කාලය තුලදීම රහත්පල ලැබීමට හැකියාව තිබුණි. සත්ථාර දස්සනං බුදුවරුන්ගේ හමුවීමයි. සුමේධ පණ්ඩිතයනට මෙන් මෙසේ බුදුවරුන් හමුවූ කෙනෙකුගේ එම අදහස ඉටුවේ. දීපංකර බුදුරදුන් හමුව සුමේධ පණ්ඩිත බුදුබව අදිටන් කළේය. පබ්බජ්ජා ගිහිගෙය හැරදැමීමයි. බුදුබව පතන තැනැත්තා (බුදු) සසුනෙහි හෝ කම්පල පිළිගන්නා තවුස් හෝ පිරිවැජියෙකු හෝ වීම සුදුසුය. සුමේධ පණ්ඩිත මෙනි. ඔහු තවුසෙකුව අදිටන් කළේය. ගුණ සම්පත්ති යනු දැහැන් ආදී ගුණ ලබාගැනීමයි. සුමේධ පණ්ඩිතයන්ට මෙන් පැවිදි වූවකුට ඒ උසස් ගුණ ඉටුවනු ඇත. සුමේධ පණ්ඩිත අභිඤ්ඤා පහ, සමාපත්ති ලැබූ කෙනෙකුව සිට බුදුබව අදිටන් කළේය. අධිකාරො ඉතා උසස් ලෙස යහපත් දේ කිරීමයි. ඉතා මාහැඟි වූ දේවල් කැපකිරීමයි. තම ජීවිතය වුව පූජාකොට අදිටන ඉදිරියට ගෙනයෑමෙන් බලාපොරොත්තුව ඉටුවේ. එයින් බාහිර අදහස් ඇතිවුනට නොවේ.
‘අක්කමිත්වාන මං බුද්ධො සහ සිස්සෙහි ගච්ඡතු
මා නං කලලෙ අක්කමිත්ථො සුඛාය මෙ භවිස්සතී’
මා නං කලලෙ අක්කමිත්ථො සුඛාය මෙ භවිස්සතී’
‘බුදුරජාණන් වහන්සේ (පැවිදි සාවක) සිසු පිරිස සමග මා පාගාගෙන (මා මතින්) මඩ නොපාගමින් වඩිත්වා! (එය) මට හිතසුව පිණිස පවතීවා!
යයි මෙසේ සුමේධ පණ්ඩිතයෝ ජීවිතය කැපකොට අදිටන් කළහ. ඡන්දතා කිරිමට කැමති බවය. එම අදිටන බලවත් වූ තරමට ඉටුවේ. ඒ පිළිබඳව යම් කෙනෙකු ‘අසංඛෙය්ය සතරකුත් කප් සියදහසක් නිරයේ පැසී බුදුබව කැමති වන්නේ කවුරුදැයි’ කියනවිට ‘මම ඊට උත්සාහ කරමි’යි කිව හැකිනම්, ඔහුගේ (එම) අදහස බලවත් බව කිවයුතුය. ‘මුළු සක්වල පුරා දැල්වෙන ගිනිඅඟුරු පිරි ඇත්නම්, ඒවා මැඩගෙන, බුදුබව කැමති වන්නේ කවුද? කවරෙක් සැත්හුල්වලින් ගැවසුණු මුළු සක්වළම ඒවා පාගමින් බුදුබව කැමති වෙත්ද? මුවවිට දක්වා ජලය පිරුන මුළු සක්වළින් එතරව බුදුබව කැමති වන්නේ කවුද? නිරතුරුවම එකිනෙක වෙළුණු උණපඳුරක් වන් සක්වළ මැඩ - ඉක්මවා බුදුබව පතන්නේ කවුදැ’යි? මේ මේ ආකාරයෙන් ඇතැම් කෙනෙකු කියන්නේ නම්, ඒ අසා යම් තැනැත්තෙක් ‘මම උත්සාහ කරමි’යි කීමට හැකිවේද, ඔහුගේ එම අදහස බලවත් බව දතයුතුය. මෙබඳු අදහස ඉටුකර ගැනීමේ කැමැත්තෙන් යුතු වූ සුමේධ පණ්ඩිත උත්සාහ කළේය. අදිටන් කළේය.