2. ධනිය සූත්‍ර වර්ණනාව
පක්කොදනො - ධනිය සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර වැඩවසති. එකල ධනිය නම් ගව පාලකයා මහී ගං තෙර වාසය කරයි. ඔහුගේ පෙර භවයක තතු මෙසේ වෙයි. කස්සප බුදුරදුන්ගේ සසුන බබළන කල්හි, වසර විසිදහසක් දවස් පතා සංඝයා වහන්සේලාට සලාක බත් විස්සක් දුන්නේය. ඔහු එයින් චුතව දෙවියන් අතර ඉපිද දෙව්ලොවම තවත් බුදුවරයකු පහළ වන තෙක් කල්යවා අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විදේහ රට මැද පබ්බත රට්ඨ පෙදෙසෙහි ධම්මකොණ්ඩක නම් නගරයෙහි සිටු පුතකුව ඉපිද ගව පාලනයෙන් ජීවත් වෙයි. ඔහුට ගවයෝ තිස්දහසක් පමණ වෙති. විසිහත්දහසක් එළදෙනුන්ගෙන් කිරි දොවති. ගොපල්ලෝ නිතර එක්තැනම නොවසති. වැසි සහිත මාස සතරෙහි ගොඩබිම වසති. ඉතිරි අට මාසයෙහි තණකොළ, ජලය පහසුවෙන් ලබන තැනක වසති. එතැන ගංතෙරක හෝ ස්වභාවික විල්තෙරක් හෝ වෙයි. ඉක්බිති ධනිය ද වැසිකාලයෙහි තමා විසූ ගමෙන් නික්ම ගවයන්ට පහසුවෙන් විසිය හැකි, ඉඩ ඇති තැනක් සොයන්නේ, එක් කලක මහපොළව විවරව (මතු වූ) මහාමහි නමින් හඳුන්වන ලද ගලායන (දිය පහරින් වටවූ) ඉඩ ඇති පරිදි මුහුද ආසන්නයට පැවති අතුරු දූපතක් සේ සකස්ව තිබුණු කිසියම් තැනකට පිවිස ගව හලක්ද, තමන්ට නිවසක්ද තනා වාසය කළේය. ඔහුට පුත්තු හත් දෙනෙක් ද, දූවරු සත්දෙනෙක් ද, ලේලියෝ සත්දෙනෙක් ද, නොයෙක් කම්කරුවෝ ද වෙති. කුරුල්ලන් රුක් මුදුන්හි කූඩු තනත් ද කකුළුවන් ජලයට ළංව තිබූ (බෙණ) සිදුරු වසා, ගොඩබිමට ළංව බෙණ සාදත්ද එවිට වැසිකාලයට පෙරනිමිති බව ගව පාලකයෝ දනිති. එමෙන්ම කුරුල්ලන් දිය මතුපිටට පහත් තැනක කුඩු තනත් ද, කකුළුවන් ගොඩබිම ආසන්න වූ බණ සිදුරු වසා ජලයට ආසන්නව බෙණ සාදත්ද එවිට වැසි නොමැති කාලය බවද දනිති.
ඒ ධනිය ගව පාලකයාද වැසි ඇතිවන ලකුණු සළකා, වැසි කාලය ළංවූ විට අතුරු දූපතින් නික්ම මහාමහි ගඟෙන් එතරව, ගංවතුරෙන් යට නොවන තැනක තම වාසයට (සුදුසු තැනක්) හාත්පස අවුරා ගවහල්ද තනා සති හතක්ම වැසි වසිද්දී, එහි වාසය කළේය. දර, තණකොළ ආදිය රැස් කොටගෙන, සියළුම දූපුතුන්, දාසයන්, කම්කරුවන් එක්රැස්ව නොයෙක් අයුරින් කෑම සහ ආහාර පිළියෙල කොට තිබියදී සතරවටින් වැසි වළාකුළු හටගැනිණ. ඔහු දෙනුන් දොවා, ගවහල්හි ගවයන් බන්දවා, ගවයන්ට සිවුදෙසින්ම දුම් ගස්සවා, සියළුම සේවක පිරිස අනුභව කරවා, සියළු කටයුතු නිම කරවා, ඒ ඒ තැන පහන් දල්වවා තමන් කිරි හා බත් අනුභව කොට යහනට පිවිස, තම සිරිසම්පත් දැක සතුටු සිතින් යුතුව, බටහිර දෙසින් අහස ගොරවන හඬ අසා පක්කොදනො දූද්ධඛීරො හමස්මි ආදී ලෙසින් මෙම සතුටු හැඟුම් පළ කළේය.
මේ එහි තේරුම් හා විස්තරයි. පක්කොදනො බත පිසන ලදී. දූද්ධ ඛීරො, දෙනුන්ගෙන් කිරි දොවා ඇත. අහං යන්නෙන් තමා දක්වන ලදී. අස්මී තමා එසේ කළ බවයි. ‘මම බත් පිස, කිරි දොවා ඇත්තෙමි යන තේරුමයි. ඉති මෙසේ කීය. නිද්දෙසයෙහි ‘ඉති’ යනු වචන සන්ධි කිරිමෙහි, වචන එක් කිරීමෙහි, වචනයෙහි අඩුබවක් පිරවීමේදී අකුරු එකතු කිරීමෙහි සිලුටු බව හා පිළිවෙලකට යෙදීමේදී භාවිත කරන බව සඳහන්ව ඇත. මෙසේ එහි අරුත් පෙන්වන ලදී. එය මෙහි සන්ධි වීමක් ලෙස දතයුතුය. පෙර පදයෙන් යම් දෙයක් කියන ලදද, ඒ ඒ කියන ලද දෙය වෙනුවෙන් ‘මෙසේ කීය යැයි’ (එවං+ආහ+ඉති) යන අදහස දක්වමින් ‘ඉති’ යනුවෙන් පසු පදය සමග ‘මෙත්තෙය්‍යො ඉති හෝ භගවා ඉති හෝ ආදී ලෙසින් පද සන්ධි වේ. වෙනත් ආකාර නොවේ.
ධනියො ගොපො යනු ඒ සිටුපුත් හඳුන්වන නමයි. දාන සීල ආදී (මෙලොව පරලොව) වැඩදායක ධනය හැර, කෙත්වත්, උයන් වත් ආදී නොසෙල්වෙන (ථාවර) ධනයෙන්ද, ගවයන් අසුන් ආදී ජංගම ධනයෙන්ද, අමුරන්, රත්රන් ආදී එක්රැස් කරගන්නා ධනයෙන්ද, සිප් නිපුණතාවෙන් අතපය වෙහෙසා ලබන ධනය වැනි මේ පස් ආකාර වූ ධනයට වඩා පස්ගෝරස ලබා දීමෙන් ලෝකයාට සිදුවන උපකාරය සළකා ‘ගවයා හා සමාන ධනයක් නැතැ’යි කියන ලද පරිදි මෙහි ගව සම්පත උසස්කොට දැක්වේ. එවන් ගව සම්පතක් අයිති ධනිය ගව පාලනය කරන බැවින් ගොපො නම් වෙයි. යමෙක් තමන්ට අයත් ගවයන් පාලනය කරත් ද ඔහු ගොපො යයි හඳුන්වනු ලැබේ. යමෙකු අනුන්ට බැලමෙහෙ කොට ගවයන් රැකබලා ගනීද ඔහු ගොපල්ලාය. මෙහි තමාම එම කටයුතු කරන බැවින් ගොපො යැයි කියන ලදී.