මෙසේ, මෙම ගාථාව කියා අවසන්වීමත්, (එදා) රැය පහන්වීමත්, සාදු නාද හඬ පැතිරීමත්, ආලවක කුමරු යකු වෙතට ගෙන ඒමත් එකවිටම සිදුවිය. රාජ සේවකයෝ සාදු නාදය අසා ‘මෙබඳු සාදු නාදයක් බුදුවරයෙකුට හැර, වෙනත් කෙනෙකු උදෙසා පැතිර නොයයි. භාග්යවතුන් වහන්සේ වැඩි සේක්දැ’යි කල්පනා කරද්දී, බුදු සිරුරෙන් විහිදෙනා කාන්තිය දැක, පෙර මෙන් පිටත නොසිට, සැක නැතිව ඇතුලටම පිවිසි විට, යකුගේ විමන්හි භාග්යවතුන් වහන්සේ වැඩසිටින අයුරුත්, ඇඳිලි බැඳ සිටිනා යකු ද දුටහ. ‘මහා යකුනි, මේ කුමරුවා ඔබට බිලි පිණිස ගෙනෙන ලදී. ඔහු (කෑලි කෑලිවලට කඩා) කෑමට හෝ (එකවර) අනුභව කිරීම හෝ කැමති දෙයක් කරනු මැනව’යි යකුට කීහ. ආලවක යකු සෝවාන් පලයට පැමිණි බැවින් භාග්යවතුන් වහන්සේ ඉදිරියේ එසේ කීම ගැන වෙසෙසින්ම ලජ්ජා වූයේය. එවිට ආලවක ඒ කුමරු දෝතින්ම බාරගෙන, ‘හිමියනි, මේ කුමරු මට එවන ලදී. මම මොහු භාග්යවතුන් වහන්සේට දෙමි, බුදුවරු හිතසුව කැමැත්තෝය. ඔබවහන්සේම දරුවාගේ හිතසුව පිණිස පිළිගන්නා සේක්වා’යි යොමු කළේය. මේ ගාථාවද කීය.
ඉමං කුමාරං සත පුඤ්ඤ’ ලක්ඛණං
සබ්බංගුපෙතං පරිපුණ්ණව්යඤ්ජනං
උදග්ගචිත්තො සුමනො දදාමි තෙ
පටිග්ග හ ලොකහිතාය චක්ඛුමා
සබ්බංගුපෙතං පරිපුණ්ණව්යඤ්ජනං
උදග්ගචිත්තො සුමනො දදාමි තෙ
පටිග්ග හ ලොකහිතාය චක්ඛුමා
සිය පින් ලකුණුවලින් හෙබි, පිරිපුන් සියළු අඟපසගින් යුතු මේ කුමරුන් සතුටු ඔදවැඩි සිතින් ඔබවහන්සේට දෙමි, නුවණැත්තාණනි, ලොව හිත සුව පිණිස මොහු පිළිගන්නා සේක්වා !
භාග්යවතුන් වහන්සේ කුමරු පිළිගත්හ. පිළිගන්නා අතරම, යකුටද, කුමාරයාටද යහපත පිණිස පේළියක් අඩුවෙන් ගාථාවක් ද වදාළහ. ඒ යකු කුමාරයාද තිසරණයෙහි යොමුකරමින් තුන්වරක්ම කියා සිවුවන පේළිය පුරවයි. ඒ කෙසේද?
‘මේ කුමරු දිගුකල් ජීවත් වේවා! යකුනි, ඔබද සුවසේ ජීවත් වේවා!හිංසා නොකොට ලොවට හිතසුව පිණිස කටයුතු කරන්න. (එවිට යකු ඉහත සඳහන් කළ පරිදි) මේ කුමරු බුදු සරණ යයි, දහම් සරණ යයි, සඟුන් සරණ යයි’ කීවේය.
භාග්යවතුන් වහන්සේ, ‘මොහු හදාවඩා නැවත මටම දෙව’යි වදාරා, රාජ සේවකයන්ට දුන්හ. මෙසේ ඒ කුමරු රාජ සේවයන් අතින් යකුගේ අතටද යකුගේ අතින් බුදුහිමියන් අතටද, බුදුහිමි අතින් නැවත රාජ සේවකයන් අතට ගත් බැවින් ‘හත්ථ ආලවක’ යැයි නම් විය. කුමරු ද රැගෙන ආපසු පැමිණෙන රාජ්ය සේවකයන් දුටු ගොවියෝ, වනයෙහි වැඩ කරන්නෝ කිමද? කුමාරයා ඉතා ළදරු බැවින් ආලවකයා කැමති නොවීදැ’යි බිය වී විචාළහ. ‘භය නොවවු’ කී රාජ සේවකයෝ, ‘භාග්යවතුන් වහන්සේ විසින් කුමරුට අභය ලබාදීමට කටයුතු කරන ලදැ’යි සියළු තොරතුරු සැළකළහ. සාදු! සාදු හඬින් මුළු අලව් නුවරම එකකෝලාහලයක් බඳු විය. නුවර වාසීහු යකු ඉදිරියට ආහ.
ආලවක, භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස කල් පැමිණිවිට, පා සිවුරු ගෙන, මද දුරක් අවුත් නැවතුණේය. නගරයෙහි පිඬු හැසිර වළඳා අවසන, නගර දොරටුවෙහි විවේකයට සුදුසු එක් ගසක් මුල පනවන ලද බුදු අසුනෙහි වැඩහුන්හ. එහිදී මහජනයා සමග රජුද නුවරවාසීහුද එක්ව භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ පිරිවරා සිට ‘හිමියනි, මෙබඳු දරුණු යකෙකු කෙසේ දමනය කළසේක්දැ’යි ඇසූහ. භාග්යවතුන් වහන්සේ ‘මෙසේ නව ආකාරයෙන් වැසි වැස්සවීය. මෙසේ බිහිසුණු දේ කළේය. මෙසේ පැන විචාළේය. මම ඒවා මෙසේ විසඳුවෙමි’යි (ආලවක කරනු ලැබූ) ‘යුද්ධය’ මුලසිටම දක්වා, ඒ ආලවක සූත්රය වදාළහ. දේසනය අවසන අසූහාර දහසකට දහම් අවබෝධ විය. ඉන්පසු රජු ද නගරවාසිහුද වෙස්සවණ මහ රජුගේ විමන අසළ යකුටද විමනක් කරවා, මල්, සුවඳ ආදී සත්කාර සහිත, ආහාර ආදී නිති පූජා පැවැත්වූහ. ඒ කුමරුද, වැඩිවියට පත්වූ විට ‘ඔබ භාග්යවතුන් වහන්සේ නිසා ජීවිතය ලැබුවෙහි, යන්න උන්වහන්සේ ඇසුරු කරව’යි පිටත්කර හැරියහ. ඔහු භාග්යවතුන් වහන්සේද සංඝයා වහන්සේ ද ඇසුරු කරමින්, නොබෝ කලකින්ම අනාගාමි පලයෙහි පිහිටා, සියළු බුද්ධ වචනය ඉගෙන පන්සියයක් උපාසක පිරිවර ඇතිවිය. ‘මහණෙනි, මගේ සසුනෙහි උපාසක පිරිස අතර සිවු සඟරාවතින් පිරිසට සත්කාර කිරීමෙන් හත්ථක ආලවක අගතැන් ගනී’ යැයි තනතුර දී වදාළහ.
ආලවක සූත්ර විස්තරය නිමි.
11. විජය සූත්ර වර්ණනාව
චරං වා යදි වා තිට්ඨං යනු විජය සූත්රයයි. කායවිච්ඡන්දනික සූත්රය යයිද කියනු ලැබේ. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? මෙම දේශනය දෙතැනකදී පවත්වන ලද බැවින් නිදාන කතා දෙකකි.
භාග්යවතුන් වහන්සේ පිළිවෙලින් කිඹුල්වත් පුරයට පැමිණ, සැකි කුලවතුන් හික්මවා නන්ද කුමරු ආදීන් පැවිදිකොට, (ඒ වනවිට) කාන්තාවනටද පැවිදිවීමට අනුදත් බැවින් ආනන්ද හිමින්ගේ සොහොයුරිය වූ නන්දා ද, සැකිකුල ඛෙමක රජුගේ දියණිය වූ අභිරූප නන්දා ද, ජනපදකල්යාණිය වූ නන්දා ද (නන්දා නමින්ම තිදෙනෙක්) පැවිදි වූහ. මේ කාලයෙහි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසති. අභිරූප නන්දා රුවින් අගපත්ව, දැකුම්කළු, පහදනසුළු වූවා, ඒ නමින්ම හඳුන්වන ලදී. ජනපදකලණිය වූ නන්දා ද තමා හා රුවින් සම වූ අන් තැනැත්තියක් නොදන්නේය. ‘භාග්යවතුන් වහන්සේ රූපය වැණුම් නොකරති. නින්දා කරති. නොයෙක් ලෙසින් රූපයෙහි දොස්ම දක්වති’යි මේ දෙදෙනාම උන්වහන්සේට උවටැන් කිරීමට නොයති. දැකීමටවත් නොකැමති වෙති. මෙසේ නොපැහැදී කුමක් නිසා පැවිදි වූවෝද? වැරදි අදහසිනි. අභිරූප නන්දා විවාහ ගිවිස ගැනීමට යෙදුනු දවසෙහිම (තමාට) හිමි සැකි කුල කුමරා මිය ගියේය. එවිට ඇගේ මවුපියෝ ඇය නොකැමති වුවත් පැවිදි කළහ. ජනපදකලණ නන්දා ද, ගරුකටයුතු නන්ද තෙරුන් අරහත් බවට පත් වූ කල, (ගිහි දිවියෙහි) ආසා නැතිව, ‘මගේ හිමියන් ද මව මහා පජාපතිද. අනෙක් නෑදෑයන්ද පැවිදිව ඇත. නෑදෑයන් නොමැතිව, ගෙදර වාසය කිරීම දුකකි. ගිහි දිවියෙහි අස්වැසුමක් නොලැබ, සැදැහැයෙන් තොරව පැවිදි වූවාය.