2. සෙරිස්සක ප්‍රෙතවස්තු වර්ණනාව
“සුණාථ යක්‍ඛස්ස වාණිජානං ච” යනු සේරිස්සක ප්‍රේතයාගේ කථා වස්තුවයි. ඒ කථා වස්තුව යම් හෙයකින් සේරිස්සක විමානවත්‍ථුව හා වෙනසක් නැති වේ. එහෙයින් එහි අර්ථෝත්පත්ති කථාව ද ගාථාවන්හි ද යමක් කිවයුතු ද? ඒ සියල්ල පරමත්‍ථදීපනී නම් වූ විමානවත්‍ථුවේ වර්ණනා කරන ලද්දේ මැයි. එබැවින් එහි කියන ලද පරිද්දෙන්, එය දතයුත්තේමය.
සේරිස්සක ප්‍රේතවස්තු වර්ණනාව නිමියේය.
3. නන්දක පෙතවස්තු වර්ණනාව
“රාජා පිඞ්ගලකො නාම” ආදී වූ මෙය නන්දක ප්‍රේත වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද යත්. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසීයක් ගතවීමෙන් පසුව, සුරට්ඨ දේශයේ පිඞ්ගල නම් රජකෙනෙක් විසීය. ඔහුගේ සේනාපතියා නන්දක නම් විය. හේ මිථ්‍යා දෘෂ්ටි ගත්තෙකි. විපරීත අදහස් ඇත්තේය. දුන් දෙයෙහි විපාක නැත ආදී වශයෙන් මිථ්‍යා අදහස් ගෙන හැසිරුණේය. ඔහුගේ දුව උත්තරා නම් උපාසිකාව සුදුසු කුලයකට විවාහ කර දෙන ලද්දේ විය. නන්දක සේනාපතියා කළුරිය කොට වින්ධ්‍යා පර්වතයේ මහත් විශාල වූ නුග ගසෙක ද්වේමාතික ප්‍රේතයකු වී උපන්නේය. එම සේනාපතියා කළුරිය කළ කල්හි ඔහුගේ දුව උත්තරා තොමෝ සිහිල් සුවඳ ජලයෙන් පිර වූ වතුර කළයක් ද කොමු පිටියෙන් තනන ලද වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ කැවුම් වලින් පිරුණු නෑඹිලියක් ද එක්තරා රහතන් වහන්සේ නමකට පුද දී, මේ දක්ෂිණාවගේ කුසල් මගේ පියා අනුමෝදන් වේවායි උදෙසීය. එම දානය දීමෙන් දිව්‍යමය වූ පැන් ද අපමණ වූ දිව බොජුන් ද, ඒ ප්‍රේතයාට පහළ විය. ඒ දැක හේ මෙසේ සිතීය. මා විසින් දුන් දෙයෙහි විපාක නැතැයි දෘෂ්ටි ගෙන, එම දෘෂ්ටියෙන් මහ ජනයා ද දෘෂ්ටි ගන්වන ලදී. ඒ මගින් මා විසින් පව් කරන ලද්දෙමි. දැන් පිඞ්ගල නම් රජු ධර්මාශෝක රජුට උපස්ථාන කොට නැවත මේ මගින් ආපසු යන්නේය. ඒකාන්තයෙන් මම ඔහුගේ නාස්තික දෘෂ්ටිය දුරලන්නෙමි කියා සිතීය. වැඩිකල් නොගොස්ම පිඞ්ගල රජු ධර්මාශෝක රජුට උවැටන් කොට නැවත ආපසු ඒමට මගට පිළිපන්නේය.
ඉක්බිති (ඔහු) ප්‍රේතයා තමන් වසන තැනට අභිමුඛව ඒ මග මැවීය. රජු මධ්‍යාහ්න කාලයේ ඒ මගින් යයි. ඔහු ගමන් ගන්නා මග ඉදිරියෙන් මග පෙනේ, ඉක්ම වූ මග අතුරුදහන් වෙයි. සියල්ලට පසුව යන පුරුෂයා මග අතුරුදන් වූවා දැක බියට පත් වූයේ මහත් සේ කෑ ගසමින් දුවගොස් රජුට කීයේය. ඒ අසා රජු බියට පත් වූයේ කළ කරුණු සිත් ඇතිව, ඇතු පිට සිටම සතර දිසා බලන්නේ, ප්‍රේතයා වසන නුගරුක දැක සිව්රඟ සෙනඟ සමග ඒ නුගරුක වෙත ගියේය. ක්‍රමයෙන් රජු නුගරුක මුලට පැමිණියේ සර්වාභරණයෙන් සැරසුණු ප්‍රේතයා රජු වෙතට පැමිණ, පිළිසදර කතා කොට කැවුම් ද වතුර ද දුන්නේය. පිරිවර සහිත රජු දිය නා කැවුම් කා වතුර බී සන්සිඳුණු ගමන් විඩාව ඇත්තේ, නුඹ දෙවියෙක් ද, ගන්ධර්වයෙක් දැයි ප්‍රේතයාගෙන් විචාළේය. ප්‍රේතයා ආරම්භයේ පටන් තමන්ගේ සියලු පුවත් කියා රජුගේ මිථ්‍යා දර්ශනයෙන් මුදවා ශරණයෙහි ද ශීලයෙහි ද පිහිටුවීය. එහි අර්ථය විස්තර කරනු සඳහා සඞ්ගීති කාරකයෝ මේ ගාථා දැක්වූහ.
සුරට්ඨ දේශයට අධිපති වූ, පිඞ්ගල නම් රජෙක් වූයේය. ඔහු මෞර්ය ධර්මාශෝක රජුන්ට උපස්ථානයට ගොස් නැවත සුරට්ඨ දේශය බලා ආපසු ආයේය.
රජු ඌෂ්ණත්වයෙන් යුතු මධ්‍යාහ්න කාලයෙහි මහ මගට පිළිපන්නේ ප්‍රේතයා විසින් නිමාවට පත්කළ මාර්ගයක් වූ, මොළොක් බිම ඇති, සිත්කළු වූ මහා මාර්ගය දුටුවේය.
රජතෙම රියැදුරු ඇමතුවේය,
රියැදුරු, මේ මාර්ගය සිත්කළුය, උවදුරු නැත්තේය. සුවපත් බව ඇත්තේය. උවදුරු රහිතය. රියැදුර මේ මගින් යව, මේ මගින් සුරට්ඨ දේශයට සමීප වෙමු.
සුරට්ඨාධිපති වූ රජතෙම සිව්රඟ සෙනඟ පිරිවරා ඒ මගින් ගියේය. බියට පත් වූ යම් පුරුෂයෙක් සුරට්ඨ දේශයේ රජුට මෙසේ කීයේය.
බිය ජනක වූ, ලොමු දැහැගන්වන්නා වූ, නපුරු මගකට අපි පිළිපන්නෝ වෙමු. ඉදිරියෙහි පාර අපට පෙනේ, අප විසින් පසු කරන්නා වූ මග අපට නොපෙනේ.
නිරිසතුන්ගේ සමීපයෙහි වූ නපුරු මගකට අපි සේන්දු වූයෙමු. අමනුෂ්‍යයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු වූ ශබ්ද ඇසේ.
කළකරුණු සිත් ඇති සුරාශ්ට්‍ර රජු රියැදුරාට මෙසේ කීයේය. බියජනක වූ, ලොමු දැහැ ගන්වන්නා වූ, නපුරු මගකට අප සේන්දු වූයෙමු. ඉදිරියේ යන මග අපට පෙනේ. අප පසු කරන මග නො දක්නේය.
නිරිසතුන්ගේ සමීපයෙහි වූ, නපුරු මගකට අපි සේන්දු වූයෙමු. අමනුෂ්‍ය ගඳ හාත්පසින් මයි. දරුණු වූ ශබ්ද ඇසේ.
ඇතු පිටට නැගී සිව් දිසා බලන්නේ, නීලාකාසය හා සමාන වූ, වැහි වළාකුලක ශ්‍රීයාව පාන්නා වූ, සිත්කළු වූ, සෙවණ සහිත වූ, පොළවට මුල් එල්ලෙන්නා වූ නුග රුක දුටුවේය. නිල් අහස හා සමාන වූ, වැසි වළාවක ශ්‍රියාව දක්වන්නා වූ, (ගසක් පෙනේ යයි)
රියැදුරා අමතා රජු කීයේය. නිල් අහස හා සමානව කළු වළාවක් මෙන් වූ සෙවණ සහිත වූ පාදපයන්ගෙන් යුත්,
එය නුග ගසක් වේ. නිල්වන් වූ මේකුළක් හා සමාන වූ, යම් නුග ගසක් දිස්වේ ද? සුරාට්ඨයේ රජු ඒ වෘක්ෂය දෙසට ගියේය.
ඇතු පිටට නැගී රජු ඒ නුගරුක වෙත එළඹියේය. ඇමතිවරුන් ද පිරිවර ද සමග වූ මහරජු රුක් මුල්හි හුන්නේය. දියෙන් පිරුණා වූ පැන් තලියක් ද, මිහිරි වූ කැවුම් ද එහි විය.