එහි දෙවියන් අතුරෙන් ප්රකට වූ සමහර දෙවි කෙනෙක් දක්වන්නේ සතරවරම් මහ දෙව්රජවරු කියා, නැවත ඔවුන් නම්වලින් දක්වන්නේ කුවෙර - ධතරට්ඨං - ආදිය කීහ. කුවේර නම් වෛශ්රවණය, ධෘතරාෂ්ට්ර ආදී අනෙක් තිදෙන ලෝක පාලක නම්. තෙ චෙව පූජිතා හොන්ති - මේ මහරජවරුන් ද, පෙර මියගිය අයද, වත්තු දේවතා ආදීන් ද, උදෙසා කරන කාර්යයක් වශයෙන් ගෞරව කිරීම් වෙත්, දායකා ච අනිප්ඵලා - යමෙක් දන් දෙත් ද ඔවුහු දායකයෝය. අනුන් උදෙසා දෙන පමණින් එය නිෂ්ඵල නොවේ. තමන්ගේ දාන ඵලයේ විපාකය තමන්ට ලැබෙන්නේය.
දැන් යමෙක් තමන්ගේ ඤාතීන් මළ කල්හි හඬත් ද, ශෝක කරත් ද වැළපෙත් ද ඒ සියල්ල අරුත් රහිතය. නිරර්ථකය. තමන්ම තැවෙන්නේම යයි දැක්වීමට - නහිරුණ්ණං වා ආදී ගාථාව කීහ. එහි රුණ්ණං හැඬිම, කඳුළු හෙළීම, සොකො - සොව, හිතේ තැවිල්ල, අවබෝධය නැතිවීම යන අර්ථයි. යාචඤ්ඤා පරිදෙවනා හැඬීමේ ශෝකයෙන් වෙනස් වූ විලාපකීම. අහෝ එකම පුතා ආදී වශයෙන් (අනන් මනන්) දෙඩවීම. පරස්පර විරුද්ධ අර්ථ ඇති කථාව - එය ද නො කළ යුතුය යන අර්ථයි. සියළු ශබ්දයන්හි විකල්පාර්ථයි. න තං පෙතස්ස අත්ථායා - හැඬීම, දුක්වීම, ශෝකය, වැළපීම, ආදී මේ සියල්ලගෙන්ම කළුරිය කළ තැනැත්තාට පිළිසරණක් උපකාරයක් අර්ථයක් නැත. එබැවින් ඒවා නො කළ යුතුය. එසේ වුවත් (විද්යාවෙන්) නුවණින් තොර වූ ඤාතීහු එසේ කරති යන අදහසයි.
මෙසේ හැඬීම්, විලාපදීම් ආදියෙහි නිරර්ථක බව දක්වා දැන් පෙර මියගිය ඤාතීන් ආදීන් (වෙනුවෙන්) උදෙසා දායකයන් විසින් සංඝයාට දානය දෙන ලදි. එහි සාර්ථකභාවය දක්වමින්, “අයඤ්ච ඛො දක්ඛිණා - පෙ ඨානසො උපකප්පති” ආදි ගාථා කීහ.
එහි අයං - දායකයන් විසින් දෙන ලද දානය ප්රත්ය වශයෙන් දක්වමින් කීය. ‘ච’ ශබ්දය අතිරේකය. එහෙයින් යම් සේ හැඬීම් ආදී යමක් කියන ලද ද, ඒ කිසිවකින් ප්රතිඵල නැතිබව දක්වයි. එය එසේ දක්වමින්, මේ සඞ්ඝ දක්ෂිණාව වනාහි දිගු කලක් හිතසුව පිණිස පවතින්නේම යයි ද, එකෙනෙහිම විශේෂයෙන් බබළයි. ඛො - යනු අවධාරණයෙහි නිපාතයි. දක්ඛිණා - දාන වස්තුව. සඞ්ගමති සුප්පතිට්ඨිත - අනුත්තර වූ, පුණ්ය ක්ෂේත්ර වූ, මනාව සුපසන්ව පිහිටි සඞ්ඝයා කෙරෙහි, දීඝරත්තං හිතායස්සා මෙය ප්රේතයන් බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේය. ඨානසො උපකප්පති ඒ ක්ෂණයකින්ම ප්රතිඵල (විපාක) උදාවේ. කල්යාමක් නැත්තේය. මේ එහි ධර්මතාවයයි. යම් ප්රේතයෙක් උදෙසා දානයක් දෙන ලද්දේ ද? ඒකාන්තයෙන් ඒ ප්රේතයා අනුමෝදන් වේ. එහි විපාකයෙන් ප්රේතයා ප්රේත දුකින් මිදෙත්.
දෙවන දවස්හි සිටු බිරිඳ හා සෙසු ඤාතීහු සිටුවරයා අනුව යමින් මෙසේ මාසයක් පමණ මහා දන් පැවැත් වුහ. අනතුරුව ප්රසේනජිත් කොසොල් මහරජු භාග්යවතුන් වහන්සේ වෙත එළඹ, කවර හෙයකින් මාසයක් පමණ භික්ෂුන් වහන්සේලා මගේ ගෙදරට නො වැඩියේ මන්දැයි ඇසීය. ශාස්තෲන් වහන්සේ අදාළ කරුණ වදාළ කල්හි රජතුමා ද සිටුවරයා අනුව පවතිමින් බුදුන් ප්රමුඛ මහා සංඝයාට මහදන් පැවැත්වීය. ඒ දැක නගර වැස්සෝ ද රජු අනුව යමින් මාසයක් පමණ මහදන් පැවැත්වූහ. මෙසේ මාස දෙකක් (පිට්ඨි ධීතලිකාව) පිටිවලින් තැනු දියණිය මුල් කරගෙන මහා දන් පැවැත්වූහ.
“පිට්ඨි ධීතලිකා” ප්රේත වස්තු වර්ණනාව නිමියේය.
5. තිරොකුඩ්ඩ ප්රේතවස්තු වර්ණනාව
“තිරො කුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී මෙම ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරමින් සිටිය දී, බොහෝ වූ ප්රේතයන් අරභයා දේශනා කළ සේක.
මේ එහි විස්තර කථාවයි. මෙයින් දෙයානූවන කල්පයෙහි කාසිපුර නම් නුවරක් විය. එහි ජයසේන නම් රජු රාජ්යය කරවීය. ඔහුගේ දේවිය සිරිමා නම් ඇගේ කුසෙහි “ඵුස්ස” නම් බෝසත්තුමා පිළිසිඳ ඉපදී, අනුපිළිවෙළින් සම්මා සම්බුද්ධත්වයට පත්විය. ජයසේන රජු, මගේ පුතා මහාභිනිෂ්ක්රමණයෙන් නික්මී, බුදු වුයේය. බුද්ධරත්නය මගේය. ධර්මරත්නය මගේය. සංඝ රත්නය මගේ යයි මමත්වය උපදවා සියලු කල්හි තමාම උපස්ථාන කරයි. අන්යයන්ට අවස්ථාවක් නොදෙයි