මාතෘකා කථා
දැන් මහතෙරහු, විදර්ශනා කථානන්තරව, සියලු ප්‍රතිසම්භිදා මාර්ගයෙහි නිර්දිෂ්ට, සමථ විදර්ශනා මාර්ග නිර්වාණ ධර්මයන් ආකර නානත්‍ව වශයෙන් නොයෙක් ක්‍රමයන්ගෙන් පසසනු කැමැතියාහු නිච්ඡාතො ආදී එකුන්විසි මාතෘකා පදයන් උදෙසා එහි නිර්දේශ වශයෙන් මාතෘකා කථාවක් නම් කීහ. එහි මේ පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව මාතෘකාවෙහි නිච්ඡාතො යනු නොමැලවුණේ, සියලු කෙලෙස්හු පීඩා යෝගයෙන් මැලවුණාහු වෙති. රාගයද නිරතුරු පැවැතියේ සිරුර දවයි. අනෙක් කෙලෙසුන් ගැන කියනුම කවරේද? මහණෙනි, රාගාග්නිය, ද්වේෂාග්නිය, මෝහාග්නිය යැයි මේ අග්නි තුනෙකි. කෙලෙසුන්ට ප්‍රධාන වූ කෙලෙස් ත්‍රයයක්ම යූ.සේයි. ඒ හා සම්ප්‍රයුක්ත පුද්ගලයෝද දවත්මය. මෙසේ හටගත් කෙලෙසුන්ගේ අභාවයෙන් නිච්ඡාතොයි. එය කවරෙක්ද, විමෝක්‍ෂ සම්බන්ධයෙන් විමෝක්‍ෂයැයි දතයුතුය. මිදේනුයි මොක්ඛොයි මනාව මිදේනුයි විමෝක්‍ෂයැයි අර්ථයි. මේ එක් මාතෘකා පදයකි. විජ්ජා විමුත්ති යනු විද්‍යාවම විමුක්තියි. මේ එක් මාතෘකා පදයකි. ඣාන විමොක්ඛො යනු ධ්‍යාන යම විමෝක්‍ෂයි. මේ එක් මාතෘකා පදයෙකි. සෙස්ස එකිනෙකවමය. මෙසේ එකුන්විසි මාතෘකා පදයෝය. නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දතො නිච්ඡාතො යනු නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය පහව ගිය හෙයින්, කාමච්ඡන්‍දයෙන් නිකෙලෙස් වූ යෝගියා ඉන් ලද, නෛෂ්ක්‍රම්‍යයද, නොමැලවුණු, නිකෙලෙස් විමෝක්‍ෂයයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දතො මුච්චතීති විමොක්ඛො යනු නෛෂ්ක්‍රම්‍යය තුළින් යෝගියා කාමච්ඡන්‍දයෙන් මිදේනුයි එම නෛෂ්ක්‍රම්‍යය විමෝක්‍ෂයැයි අර්ථයි. සෙස්සෙහිද එසේමය. විජ්ජතීති විජ්ජා යනු ස්වභාවයෙන් විද්‍යමාන වේ. තිබේ. ලබයිනුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත් ස්වභාව තත්ත්වය දැනගැනීම සඳහා පිළිපන් යෝගීන් විසින් ස්වභාවය විඳිනු ලැබේ. දැනගනු ලැබේනුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත්, විශේෂ ස්වභාව ලැබීම සඳහා පිළිපන් යෝගීන් විසින් විඳිනු ලැබේ. ලබානුයි විද්‍යා නමැයි අර්ථයි. නොහොත් තමා විසින් විඳිය යුතු භූමිය විඳියි. ලබයිනුයි විද්‍යා නමැයි අර්ථයි. තමා විසින් විඳිය යුතු ස්ථානය විඳියි ලබයි නුයි විද්‍යා නමැයි අර්ථයි. ස්වභාව දර්ශන හේතු හෙයින් යථා ස්වභාවය ප්‍රකට කෙරේනුයි විද්‍යා නමැ. විජ්ජන්තො මුච්චති මුච්චන්තො විජ්ජති යනු කියන ලද ආකාර ධර්මය කියන ලද අර්ථයෙන් විද්‍යමාන වූයේ කියන ලද අයුරින් මිදේ. කියන ලද අයුරින් මිදෙනුයේ කියන ලද අර්ථයෙන් විද්‍යමාන වේනුයි විද්‍යා විමුක්ති නමැයි අර්ථයි.
කාමච්ඡන්‍දං සංවරට්ඨෙන යනු කාමච්ඡන්‍දය වැළැකීම් අර්ථයෙන් එම නෛෂ්ක්‍රම්‍යය සීල, විශුද්ධි නමැ. එයම අවික්‍ෂෙප හේතු හෙයින් අවික්‍ෂෙපාර්ථයෙන් චිත්ත විශුද්ධියි. දර්ශන හේතු හෙයින් දර්ශනාර්ථයෙන් දෘෂ්ටි විශුද්ධියි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පටිප්පස්සම්භෙති යනු යෝගාවචර තෙමේ නෛෂ්ක්‍රම්‍යයාදියෙන් කාමච්ඡන්‍දාදිය සංසිඳවානුයි නෛෂ්ක්‍රම්‍යාදි ධර්මය පස්සද්ධි නමැ. පහීණත්තා යනු ඒ ඒ ප්‍රහාණයෙන් ප්‍රහීණ හෙයින් ඤාතට්ඨෙන ඤාණං යනු ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන්, විදර්ශනා වශයෙන් මාර්ග ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන්, ඤාතාර්ථයෙන් නෛෂ්ක්‍රම්‍යාදිය ඤාණය නමැයි අර්ථයි. දිට්ඨත්තා දස්සනං යන මෙහිද එම ක්‍රමයමැයි. විසුජ්ඣති යනු යෝගියා නෛෂ්ක්‍රම්‍යාදියෙන් පිරිසිදු වීමයි.
නෛෂ්ක්‍රම්‍ය නිර්දේශයෙහි නෛෂ්ක්‍රම්‍යය අලෝභ හෙයින් කාම රාගයෙන් බැහැරවූයේනුයි නිස්සරණං ඉන් නික්මුණේ නුයි නෙක්ඛම්මංයි, රූපානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මංයි කියනු ලබන කල්හි, ආරුප්‍ය විශේෂයෙහි නොපෙනෙන හෙයින් විශේෂයෙහි දැක්වීම සඳහා අන්තන්හි කියන ලද පාඨ ක්‍රමයෙන්ම යම් මේ ‘ආරුප්පං’ යයි යූ.සේයි. එම ආරුප්‍යයද රූපයෙන් නික්මුණු හෙයින් නෙක්ඛම්ම නමැයි ප්‍රාර්ථනා වශයෙන්ම යූ.සේයි. භූතං යනු හටගැන්ම හා එක්ව යෙදීම දැක්වීමයි. සංඛතං යනු ප්‍රත්‍යය බල විශේෂ දැක්වීමයි. පටිච්ච සමුප්පන්නං යනු ප්‍රත්‍යය එක්වීමෙහිදී, ප්‍රත්‍යයන්ගේ උත්සාහවත් නොවීම දැක්වීමයි. නිරොධො තස්ස නෙක්ඛම්මං යනු නිර්වාණය එම සංඛතයෙන් නික්මුණු හෙයින් එම සංඛතයාගේ නික්මීම නමැ. ආරුප්‍යයාගේද නිරෝධයාගේද ග්‍රහණය අන් පාඨයන්හි කියන ලද ක්‍රමයෙන්ම කරන ලදි. කාමච්ඡන්‍දයාගේ නික්මීම නෛෂ්ක්‍රම්‍යයයි කියනු ලබන කල්හි පුනරුක්ති දෝෂය වේ. නෙක්ඛම්ම වචනයෙන්ම එයට නෛෂ්ක්‍රම්‍යය සිදුවේයයි එය නොකියා සෙසු නෛෂ්ක්‍රම්‍යම යූසේයි. එය සෘජුය. නිස්සරණ නිර්දේශයෙහිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මෙහි වනාහි නිස්සරණීය ධාතූහු සෘජුව නෛෂ්ක්‍රම්‍යයැයි යූසේයි. පවිවෙකො යනු අතිශයින් විවේක භාවයට පත්වීමයි. නෛෂ්ක්‍රම්‍යයාදියමය. වොස්සජ්ජති යනු නෛෂ්ක්‍රම්‍යාදීහු වොස්සග්ගයෙහි නෛෂ්ක්‍රම්‍ය පවත්වන්නා වූ යෝගියා නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරේයයි යූ.සේයි. එම නෛෂ්ක්‍රම්‍යය වනාහි චර්යාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. ධ්‍යාන විමෝක්‍ෂයෙහි කිවයුත්ත විමෝක්‍ෂ කථායහෙි යූසේයි. හුදෙක් එහි ‘ජානාතීති ඣානා විමොක්ඛො’ යැයි යූ.සේයි. මෙහි වනාහි ‘ඣායතී’ යැයි පුද්ගලාධිෂ්ඨාන දේශනාවම කරන ලද්දේය. මෙය විශේෂයයි.