ධම්මචක්කපවත්තනවාරවණ්ණනා
විරාග සංඛ්‍යාත මාර්ග වශයෙන් සිද්ධ ප්‍රතිසම්භිදා ප්‍රභේදය, දක්වන්නහු විසින් දේශිත, දම්සක් පැවතුම් සූත්‍රාන්ත පූර්වංගම ප්‍රතිසම්භිදා කථායෙහි, පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. සූත්‍රාන්තයෙහි බාරාණසියං යනු බාරාණසී නම් නදියකි. බාරාණසට නුදුරෙහි වූ නගරය බාරාණසියි. එම බරණැසෙහි, ඉසිපතෙන මිගදායෙ යනු සෘෂීන්ගේ පහළට බැසීම් ඉහළට නැගීම් වශයෙන් මෙසේ ලද නාමයන් ඇති, සිවුපාවුන්ට අභයදානය දෙන ලද ස්ථානය හෙයින්ද, මිගදාය සංඛ්‍යාත ආරාමයෙහි, එතැන්හි වනාහි උපන් සර්වඥ සෘෂිවරු වැටෙති. දම්සක් පැවැත්වීම සඳහා හිඳගනිත් යන අර්ථයි. නන්දමූලක ගුහාවෙන්, සත්දිනක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට, අනෝතත්ත විලෙන් කරන ලද, මුවදෙවීම් කිස ඇතියේ අහසින් අවුත් මෙහි පසේබුදු, සෘෂිවරු රැස්වීම් වශයෙන් බසිති. පොහොය කටයුතු සඳහාද, පොහොය නොවන කටයුතු සදහාද රැස්වෙති. ගන්ධමාදන පර්වත බලා යන අයද එහිද බසිත් යයි (විවේක ගනිත්) මෙම සෘෂීන්ගේ බැසීම්, ඉහළට නැගීම් වශයෙන් එය ඉසිපතන යැයි යූ.සේයි. ඉසිපදනං යිද පාඨයි. පඤ්චග්ගියෙ යනු;
කොණ්ඩඤ්ඤො භද්දියො වප්පො මහානාමොච අස්සජි,
එතෙ පඤ්ච මහා ථෙරා - පඤ්ච වග්ගාති වුච්චරෙ
කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන එම මහ තෙරවරු පස්දෙන පඤ්චවග්ගිය යැයි කියනු ලැබෙත්.
මෙසේ කියන ලද පඤ්ච භික්‍ෂූන්ගේ වර්ගය පඤ්ච වග්ගයි. එම පඤ්ච වර්ගයෙහි වූවාහු, එයට ඇතුළත් වූවාහුනුයි පඤ්ච වග්ගියයි. භික්ඛු ආමන්තෙසි යනු දීපංකර දශබලධාරීන්ගේ පාමුලැ කරන ලද ප්‍රාර්ථනයෙහි පටන් පාරමී පුරනුයේ, පිළිවෙලින් බෝමැඩට පැමිණ, එහි නොපැරදුණු පර්යංකයෙහි හුන්නේ, මාරබල බිඳ, ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳපිළිවෙල සිහිකොට, මධ්‍යම යාමයෙහි දිවැස ශුද්ධකොට, පශ්චිම යාම අවසානයෙහි දසදහසක් ලෝදා නාද කරවමින්, කම්පා කරවමින්, සර්වඥතාඥානයට පත්ව, සත් සතියක් බෝමැඩ කල්යවා, මහබඹු විසින්, දම් දෙස්මට අයැදින ලද සේක් බුදුඇසින් ලොව බලා ලෝකානුග්‍රහයෙන්, බරණැසට ගොස්, පස්වග මහණුන් හඟවා දම්සක් පවත්වනු කැමැතිසේක් ඇමතූ සේක.
ද්වෙ මෙ භික්ඛවෙ අන්තා යනු මහණෙනි, මේ දෙකොටස්, මෙම වචනය ප්‍රකාශ කිරීමෙන් හටගත් එම ප්‍රකාශන ඝෝෂාව යටින් අවීචිය තෙක්ද මත්තෙහි භවාග්‍රය තෙක් විහිදී ලෝදා පතුරුවා සිටියේය. එම අවස්ථාවෙහි අටළොස් කෝටියක් පමණ බ්‍රහ්මයෝ රැස්වූහ. පැසුළු දිගින් හිරු බැස යයි. පෙරදිගින් උතුරුසල (උත්‍රසල) නැකතින් යුත් පුන්සඳ උදාවේ. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රාන්තය අරඹන සේක් ‘ද්වෙ මෙ භික්ඛවෙ අන්තා’ යනාදිය වදාළහ.
එහි පබ්බජිතෙන යනු ගිහි බන්‍ධන, වස්තුකාම සිඳ පැවිදි වූවහු විසින්, න සෙවිතබ්බා යනු පරිභෝග නොකළ යුතුය. විශේෂයෙන්ම පැවිද්දන්ගේම ප්‍රතිපත්තියෙහි ඇතුළත් හෙයින්, පැවිද්දා විසින් සේවනය නොකට යුත්තේයයි යූ.සේයි. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො යනු යම් ඒ වස්තු කාමයන්හිද කෙලෙස් කම් සුවයෙහිද, කෙලෙස් කම්සුව නිශ්‍රය වූ හේ යම් ක්‍රියාවක යෙදීම, හීනො යනු ලාමක, ගම්මො යනු ගම්වාසීන් සතු පොථුජ්ජනිකො යනු අන්ධබාල පෘථග්ජනයා විසින් පුරුදු කරන ලද, අනරියො යනු ආර්ය නුවූ, නොහොත් පිරිසිදු උතුම් ආර්යයන් සතු නොවූ, අනත්‍ථසංහිතො යනු වැඩදායක නුවූ, සුව එළවන කරුණු හා නිශ්‍රිත නොවූයේයයි අර්ථයි. අත්තකිලමථානුයොගො යනු තම සිරුර වෙහෙසට පත්කරවන, තමාට දුක ඇතිකරවීම යයි අර්ථයි. දුක්ඛො යනු තමා මරණයට පත්කරවන සුළු දුක් එළවන, කටු සහිත හේත්තුවන ලෑලිවල ශයනය කිරීම් ආදිය, තපස්වීන් විසින් උතුම් තපසයැයි ගත් හෙයින් ඔවුන්ගේ සිත් රැකීම සඳහා මෙහි හීනයැයි නොයූසේයි. පැවිද්දන්ගේ ස්වභාවයක් හෙයින් ‘ගම්මොයි’ ගිහියන් හා අසාධාරණ හෙයින් ‘පොථජ්ජනික’ යැයිද නොයූසේයි. එහි වනාහි ඇතැම් ප්‍රවෘජිතයෙක්මියි හැඟවූ ප්‍රතිඥා ඇති, ඉහාත්ම නිර්වාණවාදීන් විසින්, පින්වත, යම්කලෙකැ පටන් මෙම ආත්මය පංචකාම ගුණයන්ගෙන්, සමර්පිතව, යුක්තව සැපවිඳියිද? පින්වත, එපමණෙකින් මේ ආත්මය ඉහාත්ම නිර්වාණයට පැමිණියේ වේයයි, දෘෂ්ටි ගත් හෙයින් ඔවුන්ගේ සිත් රැකීම සඳහාද වත්මන් සුවය සඳහාද එම ධර්ම සමාදානයට දුකයැයි නොයූසේයි. කාමසුඛල්ලිකානුයෝගය වත්මනැ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් කිලිටිභාවයට පත් සුව හෙයින් මත්තෙහි, දුක් විපාක හෙයින්ද ඒ හා අනුයුක්ත වූවන්ගේ සිත් තෘෂ්ණා දෘෂ්ටි බන්ධනයෙන් බඳනා ලද හෙයින් නොසෙවිය යුතුය. ආත්ම කිලමථානුයෝගය වත්මනැ දෘෂ්ටීන් කිලිටිභාවයට පත්, දුක් හෙයින්ද මත්තෙහි, දුක් විපාක හෙයින්ද, ඒ හා යෙදුණවුන්ගේ සිත් දෘෂ්ටි බන්‍ධනයෙන් බඳනා ලද හෙයින්ද නොසෙවිය යුතුය. එතෙ තෙ එම ඒවා. අනුපගම්ම යනු නොඑළඹ මජ්ඣිමා යනු සකිලිටි සුවදුක් ආදීන්ගේ අභාවයෙන් මධ්‍යයෙහි වූයේනුයි මජ්ඣිමායි. එයම එය කරණකොට නිර්වාණය පිණිස පිළිපදීනුයි පටිපදායි අවබෝධ කරන ලද්දේනුයි අභිසම්බුද්ධායි, චක්ඛුකරණී ආදීන්හි ප්‍රඥා චක්‍ෂුස හටගන්වයිනුයි චක්ඛුකරණීයි, ඤාණ කරණී යනු එයටම පර්යාය වචනයි. උපසමාය යනු කෙලෙස් සංසිඳවීම සඳහා, අභිඤ්ඤාය යනු චතුස්සත්‍යයන්ගේ දැනගැනීම සඳහා, සම්බොධාය යනු ඒවාහිම තත්වාකාරයෙන් අවබෝධ කිරීම සඳහා, නිබ්බාණාය යනු නිර්වාණය සාක්‍ෂාත් කිරීම සඳහා, නොහොත් දර්ශන මාර්ග ඤාණය හටගන්වයිනුයි චක්ඛුකරණීයි, භාවනා මාර්ග ඤාණය හටගන්වයිනුයි ඤාණකරණීයි. සියලු කෙලෙසුන්ගේ සන්සිඳීම සඳහා උපසමාය, සියලු ධර්මයන්ගේ විශේෂ දැනුම සඳහා, අර්හත් ඵලය අවබෝධය සඳහා සම්බොධාය කෙලෙසුන්ගේද, ස්කන්ධයන්ගේද නිවීම සඳහා නිබ්බාණාය, සත්‍ය කථා අභිඤ්ඤෙය නිර්දේශයෙහි යූ.සේයි.