15-16. භවවිභව දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
භව විභව දෘෂ්ටීන්ගේ, කියන ලද ආකාර ඇති දෘෂ්ටියෙන් වෙන්ව, අභිනිවෙස නොමැති හෙයින් වෙන්ව නිර්දේශ නොකොට කියන ලද දෘෂ්ටීන්ගේම වශයෙන් පසුබට වීම, අතිධාවනය යන එක් එක් ආකාර නිර්දේශ කරන්ට විමසුම් නොකොට, ඔලීයනාභිවෙසො භවදිට්ඨි අතිධාවනාභිනිවෙසො විභවදිට්ඨි වදාළහ. එහි භව නිරෝධය සඳහා ධර්මයන් දෙසනකල්හි සිත පැන නොයයි යයි යූ.සේයි. පසුබට වීම් ඇල්ම ශාශ්වත සංඥාවෙන් නිර්වාණයෙන් හැකිලෙන ඇල්මයයි අර්ථයි. ඇතැමෙක් භවයෙන්ම පීඩාවට පත්වන්නාහු, පිළිකුල් කරන්නාහු ජුගුප්සා කරන්නාහු විභවයට සතුටුවෙත්යයි යූ.සේයි. අතිධාවන ඇල්ම උච්ඡේද සංඥාවෙන් නිරෝධගාමිණී ප්‍රතිපදා ඉක්මවන ඇල්මයයි අර්ථයි.
දැන් භව විභව දෘෂ්ටීන්, සියලු දෘෂ්ටීන්හි යොදා දක්වන්ට අස්සාද දිට්ඨියායි ආදිය වදාළහ. එහි යම්හෙයකින් ආස්වාද දෘෂ්ටිකයෝ ශාශ්වත හෝ උච්ඡේදය හෝ හේතුයෙන් කාමයන්හි දොසක් නැතැයි ගනිත්ද? එහෙයින් තිස්පස් ආකාර වූද අස්සාද දිට්ඨියො සියා භවදිට්ඨියො සියා විභව දිට්ඨියො සියායි යූ.සේයි. එහි යම්හෙයකින් එක් එක්වූද දෘෂ්ටීහු ශෘශ්වත ග්‍රාහ වශයෙන් භව දෘෂ්ටීහු වන්නාහුද? උච්ඡේද ග්‍රාහ වශයෙන් විභව දෘෂ්ටීහු වන්නාහුයයි අර්ථයි. ආත්මානු දෘෂ්ටියෙහි, රූපං අත්තතො සමනුපස්සති වෙදනං සඤ්ඤං සංඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන රූපාදී පංචකයෙහි ආත්ම වශයෙන් නොදත් (නොගත්) හෙයින් ඒවා සිඳීගිය කල්හි ආත්මය සිඳීගියේ යැයි ග්‍රහණය හෙයින් විභව දෘෂ්ටියැයි යූ.සේයි. සෙස් පසළොස් ස්ථානයන්හි රූපාදී වශයෙන් ආත්මයෙන් අන්‍ය හෙයින් ඒවා සිඳීගිය කල්හිද, ආත්මය ශාශ්වතයැයි ග්‍රහණය හෙයින් පණ්ණරස භවදිට්ඨියොයි යූ.සේයි.
මිථ්‍යා දෘෂ්ටියෙහි සබ්බාව තා විභව දිට්ඨියො යනු උච්ඡේද වශයෙන් පැවැති හෙයින්, අන්තවා අනන්තවා ආදී දෘෂ්ටීන්හි, පරිත්තාම්මණ, අප්‍රමාණාරම්මණ ධ්‍යානලාභී වූ දිව්‍ය චක්‍ෂුසයෝ, රූපධාතුයෙන් චුතව, සත්ත්වයින් අන්තන්හි උපනවුන් දැක, භව දෘෂ්ටිය නොදැක විභව දෘෂ්ටිය ගනිති. එහෙයින් එහි, සියා භව දිට්ඨියො සියා විභව දිට්ඨියොයි යූ.සේයි. හොතිච න ච හොති යන මෙහි හොතිච යනු භව දෘෂ්ටියයි. නච හොතිච යනු විභව දෘෂ්ටියයි. නෙව හොති න නහොති යන මෙහි නෙව හොති යනු විභව දෘෂ්ටියයි. න න හොති යනු භව දෘෂ්ටියයි. එහෙයින් එහි ‘සියා’යි යූ.සේයි.
පූර්වාන්තානු දෘෂ්ටියෙහි එකච්ච ශෘශ්වතිකයෝ ශාශ්වතයද, පනවති. අශාශ්වතයද පනවති. එහෙයින් එය භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද වේ. සිව් අන්තානන්තිකයෝ අන්තානන්ත වූ ආත්මය පනවති. එහෙයින් එය ආත්මානුදෘෂ්ටිය හා සමානය. භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද වේ. සිව් අමරා වික්‍ෂෙපිකයෝ භව දෘෂ්ටිය හෝ විභව දෘෂ්ටිය ආශ්‍රිතව වචන වික්‍ෂෙපයට පැමිණෙති. සෙස්ස භව දෘෂ්ටීහුමය. එහෙයින් ඒවා ඔවුන් සඳහා වන්නේ යයි යූ.සේයි. අපරාන්තානු දෘෂ්ටියෙහි සප්ත උච්ඡේදවාද විභව දෘෂ්ටීහුය. සෙස්ස භවදෘෂ්ටීහුය. එහෙයින් ඒවා ඔවුන් සඳහා වන්නේ යයි යූ.සේයි. සඤ්ඤොජනිත දෘෂ්ටියෙහි සියලු දෘෂ්ටීන්ගේ වශයෙන් වන්නේ යයි යූ.සේයි. මම යැයි මාන විනිබන්ධ දෘෂ්ටියෙහි චක්‍ෂුරාදීන්හි මම යැයි ගත් හෙයින් ඒවායි නැස්මෙහි ආත්මය විනාශ වේයැයි සබ්බාව තා විභව දිට්ඨියොයි යූ.සේයි. ආත්මානුදෘෂ්ටියෙහි මෙන්, මගේ යැයි මානය හා බැඳි දෘෂ්ටියෙහි චක්‍ෂුරාදියෙන් ආත්මය අනෙකක් බැවින් ඒවාහි විනාශයෙහිද ආත්මය විනාශ නොවන්නේ යැයි ඒ සියල්ලම භව දෘෂ්ටිය යැයි යූ.සේයි. ලෝක ප්‍රතිසංයුක්ත දෘෂ්ටියෙහි ‘සස්සතො අත්තාච ලොකොච’ ආදී ක්‍රමයෙන් කියන ලද හෙයින් භව විභව දෘෂ්ටි ප්‍රකටමය. මෙතෙකින් ආස්වාද දෘෂ්ටි ආදිකොට ඇති, විභව දෘෂ්ටි කෙළවර කොට ඇති, තුන්සිය සොළොසෙක් දෘෂ්ටාභිනිවෙස නිර්දේශිත වෙයි. ආත්මානු දෘෂ්ටියද, සක්කාය දෘෂ්ටියද, ආත්මවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටියද අර්ථ වශයෙන් එකමය. සමානාර්ථ වශයෙන් ත්‍රිවිධව යූ.සේයි. සංයෝජනික දෘෂ්ටි අවස්ථා භේදයෙන් සියල්ලම දෘෂ්ටීහු වෙති.