56-63. සත්‍ය ඤාණ චතුෂ්ක ද්වය නිර්දේශ වර්ණනාව
සත්‍යඤාණ චතුෂ්ක ද්වය නිර්දේශයෙහි, දුක්ඛස්ස පීළනට්ඨො යන ආදිය කියන ලද අර්ථමය. මග්ග සමංගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං යන ආදිය අනතුරු චතුෂ්කයෙහි මෙන් තනිව අවබෝධ කිරීම් වශයෙන් යූ.සේයි. සත්‍ය ඤාණය ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම්ය. ලෞකිකය, අනුබෝධ ඤාණය, ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයයි දෙවදෑරුම්ය. ආදි කර්මිකයාට අනුබෝධ ඤාණය අනුසුව (ඇසීම්) වශයෙන් නිරෝධයෙහිද, මාර්ගයෙහිද පවතී. දුකෙහිද, සමුදයෙහිද අරමුණු කිරීම් වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය පවතී. අවබෝධ කරන ලද සිව් සස්හි අරමුණු කිරීම් වශයෙන්, ලෝකෝත්තර ප්‍රතිවේධ ඤාණය, නිරෝධය අරමුණු කිරීම් වශයෙන් කෘත්‍යය වශයෙන් සිව්සස් අවබෝධ කරයි. දෙසූ පරිදි, ‘මහණෙනි, යමෙක් දුක දකීද? හෙතෙම දුක්ඛ සමුදයද, දුක්ඛ නිරෝධයද, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාවද දකී’ යයි සියල්ල කිවයුතුයි. මෙහිද මෙම වාරයෙන් මෙයම යූ.සේයි. එය වනාහි ලෝකෝත්තර වූයේම ‘දුක්ඛෙ ඤාණං’ ආදී නාමයන් ලබයි යයි දැක්වීම සඳහා යූ.සේයි.
මෙහි වනාහි ලෞකික ඤාණයම අදහස් කරන ලදි. එහෙයින්ම ‘තත්‍ථ කතමං දුක්ඛෙ ඤාණං’ ආදිය වදාළහ. එහි දුක්ඛං ආරබ්භ යනු දුක්ඛ සත්‍යයෙහි එල්බී, අරමුනු කොටයැයි අර්ථයි. පඤ්ඤා යන ආදීන්හි ඒ ඒ අර්ථයාගේ ප්‍රකට කිරීම් සංඛ්‍යාත වූ පැනවීම් අර්ථයෙන් පඤ්ඤායි. ඒ අනිත්‍යාදී ප්‍රකාරයෙන් ධර්මයන් දනීයයි පඤ්ඤායි. මෙය මෙයට ස්වභාව පදයයි. දැනගන්නා ආකාරය පජානනායි. අනිත්‍යාදීන් සොයයිනුයි විචයොයි. පවිචයො යනු උපසර්ගයෙන් පදය වඩන ලදි. නොයෙක් ආකාරයෙන් සොයානුයි යන අර්ථයි. සිව්සස් දම් සොයානුයි ධම්ම විචයොයි අනිත්‍යාදීන්ගේ ස්වභාව ලක්‍ෂණ මනාව සලකා බැලීම සල්ලක්ඛණායි. එයම උපසර්ග නානත්වයෙන්, උපලක්ඛණා, පච්චුපලක්ඛණායි යූ.සේයි. ඒ ඒ අනිත්‍යාදී ධර්මයන් හේතුයෙන් හටගන්නා බොහෝ ලක්‍ෂණ උප ලක්‍ෂණයයි අර්ථයි. පණ්ඩිත භාවය පණ්ඩිච්චං දක්‍ෂභාවය කොසල්ලංයි. නිපුණභාවය - නෙපුඤ්ඤංයි. අනිත්‍යාදීන්ගේ පැහැදිලි කිරීම් වශයෙන් වෙභව්‍යායි. අනිත්‍යාදීන්ගේ සිතීම් වශයෙන් චින්තායි. යමෙකුට එය හටගනීද, එය අනිත්‍යාදී වශයෙන් චින්තනය කරවයිනුයි චින්තායි. අනිත්‍යාදීන් මනාව පරීක්‍ෂා කෙරේනුයි උප පරික්ඛායි. භූරි යනු පෘථුවියයි. මෙයද සියුම් අර්ථයෙන්ද, පැතිරීම් අර්ථයෙන්ද, පෘථුවිය මෙන් වූයේනුයි භූරියි. නොහොත් ප්‍රඥාවම සිදුවූ අර්ථයෙහි සිත් අලවානුයි භූරියයි යූ.සේයි. පර්වතයන්හි හෙණක් මෙන් කෙලෙස් සංසිඳවයි. පීඩා කෙරේනුයි මෙධායි. වහා ශිල්ප ශාස්ත්‍ර ග්‍රහණධාරණ අර්ථයෙන් හෝ මෙධායි. යමෙකුට එය උපදීද? සත්ත්ව හිත ප්‍රතිපත්තියෙහි යෙදුණේ, ඒ හා යෙදුණු ධර්මයන්හිද ස්වභාව ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි මෝරවයිනුයි පරිණායිකායි, ධර්මයන්හි අනිත්‍යාදී වශයෙන් විවිධාකාරව බලානුයි විපස්සනායි. මනා ආකාරයන්ගෙන් අනිත්‍යාදීන් දනීනුයි සම්පජානොයි. එහි ස්වභාවය සම්පජඤ්ඤංයි. නොමං පිළිපන් සෛන්ධව අසු නිසි මං පිළිපන්නහු, කරන කෙවිටක්හු ලෙසින් නොමං දුවන කුළු සිත මං එළැවීමට විදිනුයේ නුයි, කෙවිට මෙනැයි පතොදොයි.
දැකුම් ලකුණැ ඉඳටැ කැරේනුයි ඉන්‍ද්‍රියංයි. ප්‍රඥා සංඛ්‍යාත ඉන්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රියංයි. කුමක් යූ.සේයි. මෙය පුරුෂයාගේ ඉන්‍ද්‍රිය පුරිෂේන්‍ද්‍රිය මෙන් නොව ප්‍රඥාවගේ ඉන්‍ද්‍රිය ප්‍රඥෙන්‍ද්‍රියයි. තවද ප්‍රඥාවම ප්‍රඥෙන්‍ද්‍රිය යයි යූ.සේයි. අවිද්‍යාවෙන් නොසැලේනුයි පඤ්ඤාබලංයි. කෙලේස සිඳලන අර්ථයෙන් ප්‍රඥාවම අවියක් වූයේනුයි පඤ්ඤාසත්‍ථංයි. ඉතා උස්ව නැගි අර්ථයෙන් ප්‍රඥාවම ප්‍රාසාදයක් වූයේනුයි පඤ්ඤාපාසාදොයි. ආලෝකවත් කරන අර්ථයෙන් ප්‍රඥාවම ආලෝකයක් වූයේනුයි පඤ්ඤා ආලොකොයි. බැබලීම් අර්ථයෙන් ප්‍රඥාවම බැබලේනුයි දීප්තිමත්ව බබලන අර්ථයෙන් ප්‍රඥාවම දීප්තිමත්ව බැබලේනුයි පඤ්ඤා පජ්ජොතොයි. එක් පර්යංකයක හුන් නැණවතාට දස දහසක් ලෝදා ඒකාලෝක, ඒකෝභාෂ, එකප්‍රද්‍යොත වේ එහෙයින් එය යූ.සේයි. යම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම තෙපදයන් අතර එක් පදයකින්ද එකම අර්ථය ගෙනදේ, ‘මහණෙනි, මේ ආලෝක සතරෙකි. කවර සතරෙක්ද යත්? චන්ද්‍රාලෝකය, සූර්යාලෝකය, ශ්‍රේෂ්ඨාලෝකය, ප්‍රඥාලෝකය යන සතරයි. මහණෙනි, මේ සිව් ආලෝකය. මහණෙනි, මේ සිව් ආලෝකයන් අතර, යම් ඒ ප්‍රඥාලෝකයක් වේද, එයම ශ්‍රේෂ්ඨය. එසේම මහණෙනි, මේ බැබළීම් සතරෙකි. මහණෙනි, මේ දීප්තිමත් බැබළීම් සතරෙකියි සත්ත්වයින්ගේ අදහස් වශයෙන් සූත්‍ර දේශනා කරන ලදහ. එයට අනුරූපව මෙහිද තෙරුන් විසින් දේශනා කරන ලදහ. අර්ථය නොයෙක් ආකාරයන්ගෙන් බෙදනු ලබන්නේ මනාව බෙදන ලද්දේ වෙයි. අනෙක් ආකාරයකින් අනෙකක් අනෙක් ආකාරයකින් අනෙකෙක් අවබෝධ කරයි. ඇල්ම කරන, ඇල්ම දෙන, ඇල්ම හටගන්වන, සිතුවම් කළ, දුලබ පහළවීම්, අසමාන, උසස් සත්ත්වයින් පරිභෝග කළ යනාදී අර්ථයෙන්ද. ප්‍රඥාව රත්නයක් වූයේනුයි > පඤ්ඤාරතනංයි.
එයින් සත්ත්වයෝ මුළා නොවෙත්. තෙමේ හෝ අරමුණෙහි මුළා නොවේනුයි අමොහොයි. ධම්මවිචය පදය කියන ලද අර්ථමය. එය කවරහෙයින් නැවත කියන ලද්දේද යත්? අමෝහයාගේ මෝහයට ප්‍රතිපක්‍ෂ බව දැක්වීම සඳහා. එහෙයින් එය මෙසේ දක්වයි. යම් මේ අමෝහයක් වේද? හුදෙක් එය මෝහයෙන් අන්‍ය ස්වභාවයක් පමණෙක්ම නොවේ. මෝහයට ප්‍රතිපක්‍ෂ ධර්මවිචය සංඛ්‍යාත අමෝහය මෙහි අදහස් කරන ලදි. සම්මා දිට්ඨි යනු නෛර්යාණික කුසල් දෘෂ්ටියයි. එහි දුක්ඛ සමුදයෙහි ඤාණය කවරෙක්ද? එහි දුක්ඛ නිරෝධයෙහි ඤාණය කවරෙක්ද? එහි දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදා ඤාණය කවරෙක්දැයි විමසුම් වචන සංක්‍ෂෙප වශයෙන් යූ.සේයි.
සත්‍ය ඤාණ චතුෂ්ක ද්වය නිර්දේශ වර්ණනාව නිමි.