චෙතොපරියඤාණ නිර්දේශයෙහි, සො එවං පජානාති යනු දැන් කිවයුතු විධානය පෙන්වයි. ඉදං රූපං සොමනස්සින්ද්රිය සමුට්ඨිතං ආදිය ආදිකර්මික ධ්යායීහු විසින් පිළිපැදිය යුතු විධානයයි. කෙසේද? එම ඤාණය උපදවනු කැමැති, ධ්යානලාභියා විසින් ප්රථමයෙන් දිව්ය චක්ෂු ඤාණය උපදවාගත යුතුය. එය දිව්ය චක්ෂු ඤාණ වශයෙන් සිද්ධ වේ. එය එයට පරිකර්මයි. එහෙයින් ඒ භික්ෂුව විසින් ආලෝකය වඩා දිවැසින් අන්යයාගේ හෘදය රූපය ඇසිරිකොට පවත්නා ලෝහිත වර්ණය දැක දැක සිත සෙවිය යුතුය. එම ලෝහිතය සෝමනස්ස සහගත කුසල් සිත පවත්නා කල්හි ඉදුණු නුගඵල වර්ණ රක්ත වර්ණ වේ. සෝමනස්ස සහගත අකුසල් සිත පවත්නා කල්හි එයම කැළඹුණේ වෙයි. දෝමනස්ස සහගත අකුසල් සිත් පවත්නා කල්හි, දඹපලවන් කැළැඹුණු කාල වර්ණ වේ. උපේක්ෂා සහගත කුසල් සිත් පවත්නා කල්හි තලතෙල් වර්ණ වූයේ ප්රසන්න වේ. අකුසල උපේක්ෂා සහගත සිත් පවත්නා කල්හි එයම කැළැඹුණේ වෙයි. එහෙයින් එය කරණකොට, මෙම රූපය සෝමනස්ස ඉන්ද්රියයෙන් හටගත්තේය. මෙම රූපය දෝමනස්ස ඉන්ද්රියයෙන් හටගත්තේය. මෙම රූපය උපේක්ෂා ඉන්ද්රියයෙන් හටගත්තේ යයි අන්යයාගේ හෘද ලෝහිත වර්ණය දැක සිත සොයන්නහු විසින් චෙතොපරියඤාණය ශක්තිමත් කළයුතුය. මෙසේ ශක්තිමත් වූ කල්හි එහි අනුක්රමයෙන් සියලුම කාමාවචරාදි භේදවූ සිත හෘදය රූප දර්ශනයෙන් තොරව සිතින් සිත සංක්රමණය වන්නේ දැනගනී. අටුවාවෙහි කියන ලදි –
අරූපතලයෙහි අන්යයාගේ සිත දැනගනු කැමැති තැනැත්තේ කවරෙකුගේ හෘදය රූපය දකීද? කවරෙකුගේ බලයිද? යම්කිසිතැනක සිත ආවර්ජනා කරන්නේ සොළොස් ආකාර සිත දැනගනී යන මෙය කිසි සෘද්ධිමතෙුකට විෂය නොවේ. නොකරන ලද බැඳී පැවතීම් වශයෙන් මෙම කථාවය.
පරසත්තානං තමා හැර සෙසු සත්ත්වයින්ගේ, පරපුග්ගලානං මෙයද මෙයින් එකසමානාර්ථයි. විනේයජනයන්ගේ වශයෙන්ද, දේශනා විලාස වශයෙන්ද, ව්යඤ්ජනාක්ෂරයෙන් නානත්වය කරන ලදි. චෙතසා චෙතො පරිච්ච පජානාති තමාගේ සිතින් ඔවුන්ගේ සිත පිරිසිඳ රාග සහිතාදි භාවයෙන්, ආදී නානාප්රකාර වශයෙන් දැනගනී. සරාගංවා ආදීන්හි වා ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. එහි අටවැදෑරුම් ලෝභසහගත සිත සරාගී සිත නමැ. ද්වි දොම්නස් සිත් ද්වි විචිකිච්ඡා, උද්ධච්ච සිත්ද යන මේ සිව් සිත් මෙම ද්විකයෙහි සංග්රහයට නොයෙත්. සමහර තෙරවරු ඒවාද වීතරාග පදයෙන් සංග්රහ කරත්. ද්විවිධ දොම්නස් සහගත සිත් සදොස සිත් නමැ. සියලුම චාතුර්භූමික කුසලාව්යාකෘත වීතදොස නමැ. සෙසු දස අකුසල සිත් මෙම ද්විකයෙහි සංග්රහයට නොයෙත්. සමහර තෙරවරු ඒවාද වීතදෝස පදයෙන් සංග්රහ කරත්. සමොහං වීතමොහං යන මෙහි මෝහය ඒකහේතුක වශයෙන් විචිකිච්ඡා උද්ධච්ච සහගත ද්වයයම සමොහංයි මෝහය වනාහි සියලු අකුසල්හි හටගන්නා හෙයින් දොළොස් ආකාර අකුසල් සිත් සමොහයි දතයුතුය. සෙසු කුසලා ව්යාකෘතයන් වීතමොහංයි. ථීනමිද්ධානුගත වූයේ සංඛිත්තංයි. උද්ධච්චානුගත වූයේ වික්ඛිත්තංයි. රූපාවචර අරූපාවචර මහග්ගතංයි. සෙස්ස අමහග්ගතංයි. සියලු ත්රෛභූමික චිත්තයන් සඋත්තරංයි ලෝකෝත්තර අනුත්තරංයි. උපචාර, අර්පණාප්රාප්ත වූයේ සමාහිතංයි. ඒ දෙඅයුරට නොපත් වූයේ අසමාහිතංයි තදංග, වික්ඛම්භන සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ, විමුක්තිප්රාප්ත වූයේ විමුත්තංයි ඒ පස්වැදෑරුම් විමුක්ති නොපත්වූයේ අවිමුත්තංයි දතයුතුයි. මෙසේ, චෙතොපරියඤාණලාභී භික්ෂුව සොළොස්ප්රභේද වූ සිත් දනියි. පෘථග්ජනයෝ ආර්යයන්ගේ මාර්ගඵල සිත් නොදනිත්. යට ආර්යයෝද, මතු අයගේ මාර්ගඵල සිත් නොදනිති. මත්තෙහි වූවෝ යට අයගේ සිත් දනිත්.