38. වීරියාරම්භ ඤාණ නිර්දේශ වර්ණනාව
විරියාරම්භ ඤාණ නිර්දේශයෙහි, අනුප්පන්නානං යනු එක් ආත්ම භාවයක, එක් අරමුණක හෝ නූපන්නා වූ, අනවරාග්‍ර සසරෙහි නූපන්නා වූ අකුසල නම් නැත. කුසල් වනාහි ඇත. පාපකානං යනු ලාමක වූ. අකුසලානං ධම්මානං යන අදක්‍ෂතායෙන් හටගත් ධර්මයන්ගේ; අනුප්පාදාය යනු නොඉපදවීම සඳහා. උප්පන්නානං යනු මෙ අත්බැව්හි නිපන්; පහානාය යනු දුරැලීම පිණිස, අනුප්පන්නානං කුසලානං ධම්මානං යනු මේ අත්බැව්හි, නොනිපන් විරූ, දක්‍ෂතායෙන් හටගත් ධර්මයන්හි, ඨිතියා යනු පැවතීම සඳහා අසම්මොසාය යනු විනාශනොවීම සඳහා, භීය්‍යොභාවාය යනු නැවත නැවත වීම (අභිවෘද්ධිය) සඳහා, වෙපුල්ලාය යනු මහත්භාවය සඳහා. භාවනාය යනු අභිවෘද්ධිය සඳහා. පාරිපූරියා සම්පූර්ණත්වය සඳහා.
දැන් අකුසලයන්හි කාමච්ඡන්‍දයද, කුසලයන්හි නෛෂ්ක්‍රම්‍යයද, විසේසකොට දක්වන්ට, අනුප්පන්නස්ස කාමච්ඡන්‍දස්ස ආදිය වදාළහ. එහි කාමච්ඡන්‍දො යනු සමාධි ප්‍රතිපක්‍ෂ කාමරාගයයි නෙක්ඛම්මං ප්‍රථම ධ්‍යාන සමාධිය. ප්‍රථම ධ්‍යානය හෝ, සියලුම කුසල්දම් හෝ නෛෂ්ක්‍රම්‍යයයි.
සියලු කෙලෙසුන්ගේ, සියලු කෙලෙස් ප්‍රතිපක්‍ෂ, අර්හත් මාර්ගයාගේද, වශයෙන් යොදා දක්වන්ට අනුප්පන්නානං සබ්බ කිලෙසානං ආදිය වදාළහ. එහි උප්පන්නස්ස අරහත්ත මග්ගස්ස ඨිතියා ආදීන්හි උත්පාද ක්‍ෂණයෙහි උපන්නා වූ අර්හත් මාර්ගයාගේද, ස්ථිතික්‍ෂණ, භංග ක්‍ෂණ වශයෙන්, ස්ථිතිය යැයි ආදී යෙදුම් දතයුත්තාහ. විභංග අට්ඨකථායෙහිද, යම් පැවැත්මක් වන්නීද, එය ස්ථිති නමැයි යූ.සේයි. සමහරු වනාහි අර්හත් මාර්ගයෙහි පූර්වභාග මාර්ගය දතයුතුයැයි කියති.
වීරියාරම්භ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
39. අර්ථ සංදර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව
අර්ථ සන්‍දර්ශන ඤාණ නිර්දේශයෙහි, පඤ්චක්ඛන්‍ධායන ආදිය කියන ලද අර්ථයමය. පකාසෙති ප්‍රකට කරයි. අසන්නන්ගේ නැණැසින් දැක්ම සැපයේයයි අර්ථයි. නානාධම්මා ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම යූ.සේයි. කුමක් හෙයිාන් ප්‍රකාශන නිර්දේශයෙහි ලෞකික ඒවාම කියන ලද්දේ නොවේද? අනිත්‍යාදී වශයෙන් ප්‍රකාශනය අරඹන ලද හෙයිනි. ලෝකෝත්තරයන් අසම්මශ්‍රණ යුක්ත හෙයින්, ලෝකෝත්තරයන් නොකියන ලදි. නා නා ධර්ම නිර්දේශයෙන් හා අර්ථ සංදර්ශන නිර්දේශයෙන්ද, ඒවා සංගෘහිත හෙයින්, යම්සේ ඒවා ප්‍රකාශ කළ යුතුද, එසේ ප්‍රකාශිතය. පජහන්තො යනු අසන්නා දුරුකරවනුයේ යන අර්ථයි. සන්‍දස්සෙති යනු අසන්නන්ට මනාව දක්වයි. සමහරු වනාහි කාමච්ඡන්‍දයාගේ ප්‍රහීණ හෙයින් නෛෂ්ක්‍රම්‍යාර්ථය මනාව පෙන්වත් ආදී ක්‍රමයෙන් කියවති. ඒවාහි සෘජුවම ශ්‍රෝත්‍රෑන්ගේ දොස් ප්‍රහාණයෙන්ද ගුණ ප්‍රතිලාභයන්ද කළ කල්හි දේශනා ඥානය මස්තකප්‍රාප්ත වේයයි දැක්වීම සඳහා මේ ක්‍රමය කියන ලදැයි දතයුතුය.
අර්ථ සංදර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
40. දර්ශන විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව
දර්ශන විසුද්ධි ඤාණ නිර්දේශයෙහි, සබ්බෙ ධම්මා එකසංගහිතා යනු සියලු සංඛත අසංඛත ධර්මයෝ එක් සංඛ්‍යායෙන් සංග්‍රහ කරන ලද්දාහ. පිරිසිඳින ලද්දාහ. තථට්ඨෙන යනු විද්‍යමානාර්ථයෙන්, තම තමාගේ ස්වභාව වශයෙන් විද්‍යමානාර්ථයෙනැයි අර්ථයි. අනත්තට්ඨෙන කරන්නා, විඳින්නා යන සංඛ්‍යාත වූ ආත්ම රහිතාර්ථයෙන්, සච්චට්ඨෙන යනු සත්‍යාර්ථයෙන්, තමාගේ ස්වභාවය දැන ආත්මීය වශයෙන් ව්‍යවස්ථාපන අභාවයෙන් යන අර්ථයි. පටිවෙධට්ඨෙන යනු ස්වභාව වශයෙන් ඤාණයෙන් ප්‍රතිවේධ කළයුතු අර්ථයෙන්, මෙහි ලෝකෝත්තර ඤාණයෙන්, මුළානොවීම් වශයෙන්, අරමුණු වශයෙන් ප්‍රතිවේධය දතයුතුය. අභිජානනට්ඨෙන යනු ලෞකික ඤාණයෙන්, අරමුණු වශයෙන්ද, ලෝකෝත්තර ඤාණයෙන් මුළානොවීම් වශයෙන්ද, අරමුණු වශයෙන්ද, ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් විශේෂයෙන් දැනීම් අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශිෂ්ට සේ දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. පරිජානට්ඨෙන යනු කියන ලද ක්‍රමයෙන්ම ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් ස්වභාව වශයෙන් විශිෂ්ට ලෙස දත් ධර්මයන්ගේ, අනිත්‍යාදී වශයෙන්ද සසරින් නිදහස්වීම් වශයෙන්ද, පිරිසිඳ දතයුතු අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශේෂයෙන් දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. ධම්මට්ඨෙන යනු ස්වභාව දැරීම් ආදී ධර්මාර්ථයෙන්, ධාතට්ඨෙන යනු ජීව රහිතාදී ධාත්‍වර්ථයෙන්, ඤාතට්ඨෙන ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් දැනගන්ට හැකිවන්නේය යන අර්ථයෙන්, යම්සේ දක්නට හැකිවන්නේය යනාදී අර්ථයෙන් දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූපං යයි යූ.සේයි. මෙසේ මෙහිද දැනගන්ට හැකිවන්නේය යන අර්ථය ඤාතාර්ථයයි දතයුතුය. සච්ඡිකිරියට්ඨෙන යනු අරමුණු වශයෙන් ප්‍රතිපක්‍ෂ කළයුතු අර්ථයෙන්, ඵුසනට්ඨෙන යනු ප්‍රත්‍යවේක්‍ෂා කරන ලද අරමුණු වශයෙන් නැවත නැවත ස්පර්ශ කිරීම් අර්ථයෙන්, අභිසමයට්ඨෙන යනු ලෞකික ඤාණයෙන් විශේෂයෙන් අවබෝධ කළයුතු අර්ථයෙන්, කිසිසේත් චතුස්සත්‍යයාගේ අවිපරීත භාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍ය විවර්ත ඤාණයයි. අභිඥා ප්‍රඥාව ඤාතාර්ථයෙහි ඤාණයයි. සාක්‍ෂාත් කිරීමේ ප්‍රඥාව ස්පර්ශකිරීම් අර්ථයෙහි ඤාණය යයි එකිනෙකම වූ ඤාණ යූ.සේයි. අටුවායෙහිද,
සමවායෙ ඛණෙ කාලෙ - සමූහෙ හෙතු දිට්ඨිසු,
පටිලාභෙ පහානෙච - පටිවෙධෙච දිස්සති
රැස්වීමෙහි, ක්‍ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුයෙහි දෘෂ්ටීන්හි - ප්‍රතිලාභයෙහි, ප්‍රහාණයෙහි, ප්‍රතිවේධයෙහිද පෙනේ.
ගාථා වර්ණනාවෙහි අභිසමය ශබ්දයාගේ ප්‍රතිවේධාර්ථය යූ.සේයි. මෙහි වනාහි කියන ලද අර්ථයෙන් ඒවාහි නානත්‍වය දතයුතුයි. අට්ඨකථායෙහිම ලෞකික ඤාණ වශයෙන් ඒ ධර්මාභිසමය යූ.සේයි.
කාමච්ඡන්‍දොනානත්තං වික්‍ෂෙප ස්වභාව හෙයින්, නානාරම්මණ හෙයින් නොයෙක් ආකාර ස්වභාවයැයි අර්ථයි. මෙසේ සියලු කෙලෙස් දතයුත්තාහ. නෙක්ඛම්මං එකත්තං චිත්තෙකාග්‍රතා ස්වභාව හෙයින්, නානාරම්මණ වික්‍ෂෙප අභාව හෙයින්ද, එක් ස්වභාවය යැයි අර්ථයි. මෙසේ සියලු කුසල් දතයුත්තාහ. මෙහි පෙය්‍යාලයෙන් සංක්‍ෂෙප කරන ලද, ව්‍යාපාදාදී අකුසලයන්ගේ කියන ලද ආකාර අර්ථයෙන් නානාත්‍වය දතයුතුය. විතර්ක විචාරාදීන්ගේ වනාහි යට යට ඒවාට මත්තෙහි දළ අර්ථයෙන් නානාත්‍වය දතයුතුය. ඒක සංගෘහිත නානත්‍ව ඒකත්‍වයන්ගේ ප්‍රතිවේධය මාර්ග ක්‍ෂණයෙහි සත්‍යය ප්‍රතිවේධයෙන් සිදුවෙයි. එහෙයින් ප්‍රතිවේධයයි පදය උදුරා දක්වා සත්‍යාවබෝධය දැක්වීය.