දැන් තනි තනි වූද, ලෞකික ධර්ම ත්‍රිලක්‍ෂණයෙන් මඩනා ලද්දේ වේද, එහෙයින් ලක්‍ෂණත්‍රිකය එකට දක්වන ලදි. එය අනිච්චං ඛයට්ඨෙන යනු ඒ ඒ තැන්වලම ක්‍ෂය වන හෙයින් අනිත්‍යයි. ක්‍ෂය වන, විනාශවන, නොඇලෙන, නිරුද්ධවන ස්වභාවය නිසා අනිත්‍යයයි. ඇතැම්හු කියති. දුක්ඛං භයට්ඨෙන යනු භය සහිත බැවින් දුක්වේ. යමක් අනිත්‍යයද, එය භය එළවන්නේ වෙයි. සීහොපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ භයාර්ථයෙන් දුකයයි ඇතැම්හු කියති. අනත්තා අසාරකට්ඨෙන යනු තමාට තමා වසී කරගත හැකිය. තමාට අවශ්‍ය විඳීම් විඳිය හැකිය. යනාදී ආත්මය ස්වයංවසීතාවයෙන් පැවැත්විය හැකිය යනාදී වශයෙන් පරිකල්පනය කරන ලද ආත්මසාරයාගේ අභාවයෙන් අනාත්මය. යමක් අනිත්‍යද, දුකද, තමා කෙරෙහි අනිත්‍යතාවය හෝ උදයව්‍යය පීඩාවන් දරන්ට නොහැකිය. එයට කාරකාදී භාවයක් කොහිද? කියන ලද්දේද වේ. මහණෙනි, මේ රූපය ආත්මය වන්නේද? එසේ වේනම් මේ රූපය රෝගාබාධ සඳහා නොපවත්නේය. ආත්මසාර නිත්‍යසාර ආදියෙන් තොර හෙයින් අනාත්මයයි ඇතැම්හු කියති.
ලක්‍ෂණත්‍රික නිර්දේශ වර්ණනාව නිමි.
දුක්ඛසත්‍ය නිර්දේශ වර්ණනාව
ආර්ය සත්‍යය චතුෂ්කයෙහිද, සත්‍යාර්ථයෙන් සත්‍යයන්ගේ එකට සම්බන්ධ හෙයින් එකටම දක්වන ලදි. එහි තත්‍ථ යනු ඒ සිවු අරීසස්හි, කතමං යනු කියා දෙනු කැමැත්තෙන් කරන ප්‍රශ්න කිරීමයි. දුක්ඛං අරියසච්චං යනු විමසන ලද ධර්ම නිදර්ශනයයි. එහි ජාතිපි දුක්ඛා ආදීන්හි ජාති ශබ්දයෙහි නොයෙක් අර්ථ ප්‍රකාශිතය. දෙසූ පරිදි –
භවො කුලං නිකායොච - සීලං පඤ්ඤත්ති ලක්ඛණං,
පසූති සන්‍ධි චෙ වාති - ජාති අත්‍ථා පවෙදිතා
භවය, කුලය, නිකාය, සීලය, ප්‍රඥප්තිය, ලක්‍ෂණය ප්‍රසූතිය, ප්‍රතිසන්ධිය යන අර්ථයන්හි ජාති ශබ්දය දන්නා ලදහ.
එක් ජාතියක් ජාති දෙකක් ආදීන්හි භවයයි. ජාතිවාදයෙන් අපහාස නොලැබූ, නින්දිත නොවූ, මෙහි කුලයයි. විසාඛ නිඝණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත. මෙහි නිකායයි. නැගණිය යම්කලෙක පටන් මම ආර්ය ජාතියෙහි උපන්නේ, නොදනිමි. මෙහි ආර්ය සීලයයි. තිරියානම් තෘණ ජාතියක් නැබ පමණින් මතුවී අහසෙහි ගැටී සිටියේ විය. මෙහි ප්‍රඥප්තියයි. ජාතිය ස්කන්ධයන් දෙකකින් සංගෘහිතයි. මෙහි ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණයයි. ආනන්දය, උපන් කෙණෙහි බෝසත් තෙමේ මෙහි ප්‍රසූතියෙහි. භවය හේතුවෙන් ජාතිය, ජාතියද දුකය යන මෙහි සමානාර්ථ වශයෙන් ප්‍රතිසන්ධි ස්කන්ධයන්ය. අසමානාර්ථයෙන් වනාහි, ඒ ඒ තන්හි උපදින්නා වූ සත්ත්වයින්ගේ යම් යම් ස්කන්ධ පහළ වේද? ඒ ඒ ස්කන්ධයන්ගේ පළමු පහළවීමයි.
කවර හෙයින් උත්පත්තිය දුක්වේද යත්? නොයෙක් දුක්ඛයන්ගේ මූලාධාරක ස්ථානය බැවිනි. දුක් විවිධාකාරය. ඒ කෙසේද යත්? දුක්ඛ දුක, විපරිණාම දුක, සංස්කාර දුක, වැසුණු දුක, නොවැසුණු දුක, පර්යාය දුක, නිෂ්පර්යාය දුක වශයෙනි. මෙහි කායික චෛතසික දුක් වේදනා ස්වභාව වහයෙන්ද, චිත්ත චෛතසික වශයෙන්ද දුක් බැවින් දුක්ඛ දුක්ඛයයි කියනු ලැබේ. සැප වේදනාව වෙනසට පත්වීමෙන් දුක් ඉපදවීමට හේතුවන හෙයින් විපරිණාම දුකයි. උපේක්‍ෂා වේදනාවද, සෛු ත්‍රෛභූමික සංස්කාරයෝ, හටගැනීම්, විනාශවීම්වලින් පීඩිත හෙයින් සංස්කාර දුකයි. කන් කැක්කුම්, දත් කැක්කුම් රාගයෙන් හටගත් තැවීම් ද්වේෂයෙන් හටගත් තැවීම් ආදී, කායික චෛතසික ආබාධ විමසා දතයුතු හෙයින් හටගත් ක්‍රම අප්‍රකට හෙයින් වැසුණු දුකයි. දෙතිස් කර්ම කිරීම් ආදියෙන් හටගත් ආබාධ නොවිමසාම දැනගත හැකි හෙයින්ද, උපක්‍රමද ප්‍රකට හෙයින්, නොවැසුණු දුකයි. දුක්ඛදුක්ඛය හැර සෙස්සු දුක්ඛ සත්‍ය විභංගයෙහි ආයේය. ජාති ආදී සියල්ලම ඒ ඒ දුකට වස්තුභාවයෙන් පර්යාය දුකයි. දුක්ඛ දුක්ඛය නිප්පරියාය (වෙනස් කළ නෙහැකි) දුකයයි කියනු ලැබේ. ඒ මෙහි ජාතියයි. යම් ඒ බාල පණ්ඩිත සූත්‍රාදීන්හි භාග්‍යවතුන් වහන්සේ විසින්ද උපමා වශයෙන් ප්‍රකාශිත ආපායික දුකද, යම් ඒ සුගතියෙහිද, මිනිස් ලොව කුසෙහි පිළිසිඳ ගැනීම් මූලිකාදීභේද වූ දුක උපදී. ඒවාට හේතුවන බැවින් දුක්ය.
එහි ගැබෙහි පිළිසිඳ ගැනීම් මූලිකාදිභේද දුක මෙසේයි. මේ සත්ත්වයා මව්කුසෙහි උපදිනුයේ, මානෙල්, නෙලුම්, සුදුනෙලුම් ආදීන්හි නූපදියි. තවද ආමාශයට යටින් පක්වාශය මතුයෙහි උදරපටල පිටකටුවල මධ්‍යයෙහි ඉතාමත් සම්බාධ සහිත, තද අඳුරින් යුත්, නොයෙක් කුණප ගන්ධයන්ගෙන් ගැවසීගත් ඉතාම දුර්ගන්‍ධ සුළං හමන ඉතාමත් පිළිකුල් කුස් පෙදෙස්හි, කුණුමස්, කුණු පිට්ටු සහිත ගවර වළවල පණුවකු සේ උපදියි. ඔහු එහි උපන්නේ දසමසක් මව්කුසෙහි හටගන්නා උෂ්ණයෙන්, මුල්බැඳ තැම්බූ දෙයක් මෙන් පැසෙන්නේ, පිටි පිඩක් මෙන් හුමාලයෙන් තැම්බෙනුයේ, අත්පා වකුටු කිරීම් - දිගහැරීම් විරහිතව අධිමාත්‍ර දුකක් අනුභව කෙරෙයි. මෙය මව්කුසෙහි පිළිසිඳ ගැනීම් මූලික දුකයි.