පරිවත්තන හාර සමපාත වර්ණනාව
පරිවර්තන හාරයෙහි, ආවර්තන හාරයෙහි කියන ලද ක්‍රමයෙන් සමථ විදර්ශනා දෙක වෙන් නොකොට සමථ විපස්සනාය භාවිතාය යි කියන ලදී. මෙහිදී සමථ විදර්ශනා දෙක ලෞකික යි දතයුතුය. පටිපක්ඛෙන යනු අරක්ඛිතෙන චිත්තෙන යන ගාථාව ප්‍රතිපක්‍ෂ වූ යන අදහසයි. එසේ නැතහොත් විභක්ති හාරයෙහි දක්වන ලද අකුසල පක්‍ෂයට ප්‍රතිපක්‍ෂ වූ යන අර්ථයයි.
වෙවචන හාර සමපාත වර්ණනාව
මානස, හදය, පණ්ඩර, විඤ්ඤාණ, විඤ්ඤාණස්කන්‍ධ, මනෝ විඤ්ඤාණ ධාතු යනු සිතට පර්යාය වචනයන්ය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පනා, බ්‍යප්පනා, චේතසො අභිනිරොපනා යනු සම්මා සංකප්පයට පර්යාය වචනයන් ය. පඤ්ඤා පජානන විචය පවිචය යනාදිය සම්මා දිට්ඨියට පර්යාය වචනයන් ය. ථීන, ථීයන, ථීයිකත්ත, චිත්ත අකල්ලතා, අකම්මඤ්ඤතා, ඔනාහ පරිනාහ අන්තොසංකොච යනු ථීනයට පර්යාය වචනයන් ය. අකල්ලතා, අකම්මඤ්ඤතා, කායාලසිය, සුප්ප, සුප්පනා, සුපිත යනු මිද්ධයට පර්යාය වචනයන් ය. භික්ඛකො, භික්ඛු යනාදිය භික්ඛු යන පදයට පර්යාය වදන් ය. දුග්ගති, අපාය, විනිපාත, වට්ටදුක්ඛ, සංසාර යනාදිය දුගතියට පර්යාය වදන් යැයි දතයුතුය.
පඤ්ඤත්ති හාර සමපාත වර්ණනාව
රකිනු ලබන සිහියෙන් අධිෂ්ඨානය කොට රකිනු ලබන සිත ඊට අධිෂ්ඨානයක් මෙන් වේයැයි සලකා රක්ඛිතචිත්තස්සාති පදට්ඨාන පඤ්ඤත්ති සතියා යි කියන ලදී. සෙස්ස මේ පඤ්ඤත්ති හාර සම්පාතයේ දී ඉන් මත්තෙහි ඔතරණ, සොධන හාර සම්පාතයන්හි දී ද නොවූ විරූ නොවේ. යට කියන ලද ක්‍රමය ම වේ.
අධිට්ඨාන හාර සමපාත වර්ණනාව
අධිට්ඨාන හාර සම්පාතයේ දී සම්මා දිට්ඨි නාම යං දුක්ඛෙ ඤාණං යනාදියෙන් චතුසත්‍ය හේතුව, හේතු සමුත්පන්න, ප්‍රත්‍ය, ප්‍රත්‍යුත්පන්න සංඛ්‍යාත විෂය වශයෙන් වෙනස දක්වා නැවත යං තත්‍ථ තත්‍ථ යථාභූතං ඤාණ දස්සනං යනුවෙන් පාලියේ ද පාලි අර්ථයන්ගේ ද ඉතිරි විෂය වශයෙන් ම වෙනස් බව දක්වයි. එහි යං සච්චාගමනං යනු සත්‍යයෙන් වෙනස් නොවූ යම් විෂයාගමනයක් වේ ද එයයි. අවබෝධය යන අර්ථයයි. යං පච්චාගමනං යනුවෙන් ද පාඨයක් වේ. ඒ විෂයයේ පිළිවෙලින් යම් ආගමනයක් වේ ද එයයි. ඒ ඒ විෂයාධිගමය යන අර්ථයයි. මෙහිදී පරික්ඛාර, සමාරොපන හාර සම්පාතයන්හිදී ඉතිරි වූ යමක් කිවයුතු ද එය පෙර කියන ලද බැවින් ප්‍රකට ම ය.
මිස්සක හාර සමපාත වර්ණනාව
එසේ වුවත් මෙහිදී හාර සම්පාත නිර්දේශය මේ ක්‍රමයෙන් ද දතයුතුය.
මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා,
මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා,
තතො නං සුඛමන්‍වෙති ඡායාව අනපායිනි – යනුවෙනි.
එහි දේශනාහාර සම්පාතය කවරේ ද? මනස පූර්වංගම ධර්මයයි. මනෝ යනුවෙන් (ස්කන්ධ නියම කිරීමේදී) ඛන්‍ධවවත්‍ථානයේ දී විඤ්ඤාණ ස්කන්ධය දේශනා කෙරෙයි. ආයතන වවත්‍ථානයේ දී මනායතනයයි. ධාතු වවත්‍ථානයේදී විඤ්ඤාණ ධාතුවයි. ඉන්‍ද්‍රිය වවත්‍ථානයේ දී මනින්‍ද්‍රියයි. කවර ධර්ම පූර්වංගම වේ ද? ධර්ම හයක් පූර්වංගම වේ. කුසලයන්ගේ කුසල මූල (තුන) හා අකුසලයන්ගේ අකුසල මූලයන් ය. (තුනයි.) ප්‍රධානීන් සහිත වූවන්ට අධිපති වේ. සියලු සිතිවිලිවලට ඉන්‍ද්‍රිය අධිපති වේ. එසේ වුවත් මේ සූත්‍රයේ දී මනස අදහස් කරන ලදී. යම්සේ බලසේනා ගණින තැනට රජතුමා පෙරටු වේ ද එසේම සියලු (චෛතසික) ධර්මවලට මනස ම පෙරටු වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දය, අව්‍යාපාද ඡන්‍දය, අවිහිංසා ඡන්‍දය යන තුන් ක්‍රමයෙන් මනස පූර්වංගම වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දයෙන් අලෝභයට මනස පූර්වංගම වේ. අව්‍යාපාද ඡන්‍දයෙන් අද්වේෂයට මනස පූර්වංගම වේ. අවිහිංසා ඡන්‍දයෙන් අමෝහයට මනස පූර්වංගම වේ.
මනොසෙට්ඨා යනු ඒ ධර්මයන් අතුරෙන් මනස ශ්‍රේෂ්ඨය. විශිෂ්ටය. උතුම්ය. ප්‍රවරය මූලයයි. ප්‍රමුඛයායි. වඩාත් ප්‍රමුඛයායි. එහෙයින් මනො සෙට්ඨො යයි කියනු ලැබේ. මනොමයා යනු මනසින් කරන ලද මනසින් නිමවන ලද මනසින් නිපන් බැවින් මනස් ඒවායේ හේතුව වේ. එහෙයින් මනෝමයා යි කියනු ලැබේ. ඒ ධර්මයෝ නම් ඡන්‍දයෙන් හටගත් නොකැළඹුණු සංකල්පවලින් ඇතිවූ ස්පර්ශ එකතුවෙන් යුත් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය යන මේවාය. මනසා චෙ පසන්නෙන යනු යම් ශ්‍රද්ධාවක් සද්දහන, ඔකප්පන, අභිප්‍රසාද යන මේ ප්‍රසාදයෙන් යුක්ත වූයේ මනාව යුක්ත වූයේ, ඊට එළඹියේ, මනාව එළඹියේ, එයින් යුක්ත වූයේ, සමන්නාගත වූයේ වෙයි ද එහෙයින් පසන්නෙන යැයි කියනු ලැබේ. එය මනෝ කර්මයයි. භාසති යනු වචීකර්මයයි. කරොති වා යනු කාය කර්මයයි. මෙසේ දස කුසල කර්මපථය දක්වන ලදී.
තතො යනු දශවිධ කුසල කර්ම කළ බැවිනි. රැස්කළ බැවිනි. නං යනු කරන ලද පින් ඇති කරන ලද කුසල් ඇති බියෙන් එතෙර වූ යම් ඒ පුද්ගලයෙක් වේ ද ඒ පුද්ගලයා ය. සුඛං යනු කායික, චෛතසික යන සැප දෙකයි. අන්‍වෙති යනු අනුව යයි යනුයි.
මේ ලෝකයේ ප්‍රහීණ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලයි. හෙතෙම සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලමින් දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරයි. මෙසේ ඔහුගේ අවිද්‍යාව ද භව තණ්හාව ද එකට බැඳී තිබේ. හෙතෙම දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරනුයේ පැහැදිය යුතු වස්තුවෙහි සිත පහදවයි. අදහයි. විශ්වාස කරයි. ප්‍රසන්න සිත් ඇති හෙතෙම කයින් වචනයෙන් මනසින් දානමය ශීලමය භාවනාමය ත්‍රිවිධ පුණ්‍ය වස්තුව අනුව සිටියි. හෙතෙම එහි විපාකය මෙලොවදී හෝ දෙවන භවයේදී හෝ ඉන් අන්‍ය වූ භවයක දී හෝ විඳියි. මෙසේ ඔහුට අවිද්‍යා හේතුවෙන් සංස්කාර වේ. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප වේ. නාමරූප හේතුවෙන් සළායතන වේ. සළායතන හේතුවෙන් සැපවේදනා ස්පර්ශය වේ. ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ. මෙසේ ඇත්තා වූ ඒ සැපය අනුව යයි. මෙසේ අන්‍ය අන්‍ය බවකට පෙරලෙන වේදනාව නිසා ඔහුට තණ්හාව ඇති වේ. තණ්හා හේතුවෙන් උපාදානය වේ. -පෙ- හටගැනීම වෙයි.