ලක්ඛණ හාර සමපාත වර්ණනාව
ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, සති සංවරය, සති බලය, නෙක්ඛම්ම විතර්ක බහුලකොට ඇත යන අර්ථයෙන් තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති ඉදං සතින්‍ද්‍රියං යි කියන ලදි. එහි අර්ථය මෙසේය. එහෙයින් රක්නා ලද සිත් ඇත්තාට සම්මා සංකප්පය ගෝචර වේ යන මෙහි රක්නා ලද සිත් ඇති බවට ද සම්මා සංකප්පයේ ගෝචරත්වයට ද හේතුවන හෙයින් මෙය සතින්‍ද්‍රිය වේ. පංච ඉන්‍ද්‍රියයෙන් ගන්නා ලද්දාහු වෙත්. ඉන්‍ද්‍රිය ලක්‍ෂණයෙන් හෝ විමුක්තිය මුහුකුරා යැවීම් ස්වභාවයෙන් හෝ එක සමාන ලක්‍ෂණ ඇති බැවින් යන අදහසයි. ගහිතො භවති යන මෙහි මාර්ග ලක්‍ෂණයෙන් ගැනීම ඉතා පහසු යැයි සලකා එය හැරදමා කරුණු වශයෙන් ගැනීම දක්වන්න සම්මා දිට්ඨිතො හි සම්මා සංකප්පො පභවති යනාදිය කියන ලදි. එහෙයින්ම ගහිතො භවති අරියො අට්ඨංගිකො මග්ගො යි කියා විමුක්තිය, විමුක්තිඥාන දර්ශනය ආදිය ද කියන ලදී.
චතුබ්‍යූහ හාර සමපාත වර්ණනාව
රකිනු ලැබේනුයි රක්ඛිතං නම් වේ. එය පද වශයෙන් වූ නිර්වචනයකි. යම්හෙයකින් අර්ථ වශයෙන් කී කල්හි පද වශයෙන් ද නිර්වචනය කියන ලද්දේ ම වෙයි ද එහෙයින් රක්ඛිතං පරිපාලියතීති එසා නිරුත්තී යි කියන ලදී. එහි ඉති ශබ්දය ආදී අර්ථයේ ය. ප්‍රකාරාර්ථයෙහි හෝ වේ. එයින් මේ නිරුක්තිය මෙබඳුය. මෙබඳු ආකාර ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. එහෙයින් සිතානුයි චිත්ත නම් වේ. චිත්‍රවිචිත්‍ර අර්ථයෙන් චිත්ත නම් වේ. විසිතුරු කිරීම් අර්ථයෙන් චිත්ත නම් වේ. මනාව කල්පනා කෙරේ යන අර්ථයෙන් සම්මා සංකප්ප නම් වේ. ආදියෙන් නිරුක්තිය දතයුතුය.
අයං එත්‍ථ භගවතො අධිප්පායො යනු රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යනාදියෙන් ඉන්‍ද්‍රිය සංවරාදිය ද දුර්ගත ප්‍රහාණය ද ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථාවේ අදහස වේ යනුයි. කොකාලිකො හි යනාදිය නිදානය දැක්වීමයි. එහි හි ශබ්දය හේතු අර්ථයේ ය. යම්හෙයකින් කෝකාලිකයා නොරක්නා ලද සිත් ඇති බැවින් අගසව්වන් කෙරෙහි සිත දූෂණය කොටගෙන පදුම නිරයෙහි උපන්නේ ද එහෙයින් දුගතීන් හරිනු කැමති පුද්ගලයා රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ද සිහියෙන් ආරක්ෂා වූ සිතින් යුක්ත වූයේ සියලු දුගති දුරු කෙරේ යන අර්ථයයි. සුත්තම්හි වුත්තං සතියා චිත්තං රක්ඛිතබ්බං යනු දේශනා අනුසන්‍ධි (ගැළපීම) දැක්වීමයි.
ආවට්ට හාර සමපාත වර්ණනාව
නෙක්ඛම්ම සංකල්ප බහුල පුද්ගලයා කසිණ වශයෙන් හෝ මෛත්‍රී ආදී වශයෙන් හෝ ලබන ලද චිත්ත ඒකාග්‍රතා සංඛ්‍යාත වූ සිත් නමැති මංජුසාවෙහි සිත තබා සමාධිය ම හෝ ලබන ලද පරිදි සංකිලේස වශයෙන් රක්නා ලද සිත් ඇත්තේ වනැයි තස්මා රක්ඛිතචිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති අයං සමථො යි කියන ලදී. විදර්ශනාව ප්‍රඥා ප්‍රධාන වේ යන්න සම්මාදිට්ඨි පුරෙක්ඛාරොති අයං විපස්සනා යනුවෙන් කියන ලදී. ආර්ය මාර්ගයෙන් දුක්ඛ සත්‍යය අවබෝධ කළ කල්හි උදයව්‍යය දර්ශනය මස්තකප්‍රාප්ත වේ යන්න ඤත්‍වාන උදයබ්බයන්ති දුක්ඛපරිඤ්ඤා යි කියන ලදී. හටගත් ස්වභාව ඇති යම්කිසිවක් වේ ද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යනු මාර්ග ඥානයේ පැවැත්ම දැක්වීමකි. ඉමානි චත්තාරි සච්චානි යනු චතුසත්‍ය ධර්ම වශයෙන් ආවර්තනය වීම නිමවයි යනුයි. එහිදී පළමු සත්‍ය දෙක තැබීමෙන් විෂභාග ධර්ම වශයෙන් ද අවසන් දෙකින් සභාග වශයෙන් ද ආවර්තනය දතයුතුය.
විභත්ති හාර සමපාත වර්ණනාව
කුසල පක්‍ෂය කුසල පක්‍ෂය සමග දැක්විය යුතුය. රක්නා ලද සිත් ඇත්තහුට යනු සති සංවරයයි. එය ද්වාර වශයෙන් ෂඩ්විධය. චක්‍ෂු ද්වාරයේ පටන් මනෝද්වාරය දක්වා ය. නෙක්ඛම්ම සංකප්පය අව්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය යැයි සම්මා සංකප්පය ත්‍රිවිධ ය. දුක්ඛෙ ඤාණය -පෙ- ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු ඤාණය යනුවෙන් සම්මා දිට්ඨිය අටවැදෑරුම් ය. උදය - ව්‍යය ඥානය පණස් වැදෑරුම් ය. අවිද්‍යාව හටගැනීමෙන් රූප සමුදය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණය දකින්නා වූ විඤ්ඤාණ ස්කන්ධයේ වැයවීම දකී (වශයෙනි) සතර මාර්ගවලට අනුව ථීනමිද්ධයෙන් මැඩීම චතුර්විධ ය. එහි සති සංවරය ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. ඒවා අතුරෙන් ලෞකික සති සංවරය කාමාවචරය ම ය. ලෝකෝත්තරය දර්ශන භාවනා භේදයෙන් දෙවැදෑරුම් ය. එකක් වූ මෙය සතර සතිපට්ඨාන භේදයෙන් සිව්වැදෑරුම් ය. සම්මා සංකප්ප ආදියේදී ද මේ ක්‍රමයමැයි.
මෙය වනාහි විශේෂයයි. සම්මා සංකප්පය ප්‍රථමධ්‍යාන වශයෙන් රූපාවචර වේ යයි බැහැර කළ යුතුය. පදට්ඨාන විභාගය පදට්ඨාන හාර සම්පාතයෙහි කියන ලද ක්‍රමයෙන් කිය යුතුය. අකුසල පක්‍ෂයෙහි අසංවරය චක්ඛු අසංවරය -පෙ- කාය අසංවරය, වාචා අසංවරය, මනෝ අසංවරය කියාද අටවැදෑරුම් ය. මිථ්‍යා සංකල්පය කාමවිතර්කාදී වශයෙන් ත්‍රිවිධය. අඥානත්වය දුක පිළිබඳ අඥානත්වය ආදී ලෙසින් අෂ්ටවිධව බෙදන ලදී. සම්‍යක් දෘෂ්ටි පක්‍ෂයෙන් මිථ්‍යාදෘෂ්ටිය සැට දෙවැදෑරුම්ව දතයුතුය. උත්පත්ති භූමි ලෙසින් ථීනමිද්ධය පස්වැදෑරුම් ය. මෙසේ අකුසල පක්‍ෂයෙහි බෙදීම දතයුතුය.