දැන් කියන ලද ධර්මයේ විසභාග ධර්ම වූ තණ්හා අවිද්‍යා ආදී සභාග ධර්මයන්ගේ ද සමථ විදර්ශනා ආදියේ ද වෙන්කොට දැක්වීම් වශයෙන් ආවර්තන හාරය යොදා දක්වන්නට තත්‍ථ දුග්ගති හෙතු තණ්හා ච අවිජ්ජා ච යනාදිය කියන ලදි. එය පෙර කියන ලද ක්‍රම ඇති බැවින් මනාව දතහැකිය. ඉදං වුච්චති බ්‍රහ්මචරියං යනු මේ ආර්ය වූ සමථ විදර්ශනා සංඛ්‍යාත මාර්ග බ්‍රහ්ම චර්යාව යැයි කියනු ලැබේ. යං රක්ඛති යනු සියලු දුගතීන්ගෙන් රකින්නා වූ ආර්ය මාර්ගයේ අරමුණ වූ නිරෝධය රකින්නාක් මෙන් කියන ලද නිමිත්තේ කර්තෘභාවයෙන්ම සේවනය කරන ලද බැවිනි. මේ චතුරාර්ය සත්‍ය විසභාග සභාග ධර්මයන් පරිවර්තනය කිරීම් වශයෙන් වෙන්කරන ලදැයි යන අදහසයි.
ආවට්ට හාර විභංග වර්ණනාව නිමි.
විභත්ති හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො විභත්ති හාරො යනු විභත්තිහාර විභංගයයි. එහිදී ධම්ම විභත්ති භූමි විභත්ති පදට්ඨාන විභත්ති යැයි විභත්ති ත්‍රිවිධ වේ. යම්හෙයකින් ඒවා අතරින් ධර්මයන් විභාග වශයෙන් දැක්වූ කල්හි එහිදී ලැබෙන භූමි විභාගය ද පදට්ඨාන විභාගය ද දක්වනු ලබන්නේ මනාව දතහැකි වෙයි. එහෙයින් පළමුව ධම්ම විභත්තිය දක්වනුයේ සොළොස් වැදෑරුම් පට්ඨාන යම් සූත්‍රයක් ලෙසින් විශේෂ වශයෙන් බෙදිය යුතු ද ඒ සූත්‍ර දක්වන්නට ද්වෙ සුත්තානි වාසනාභාගියඤ්ච නිබ්බෙධ භාගියඤ්ච යන්න ප්‍රකාශ කරන ලදි. එහි වාසනාව නම් පුණ්‍ය වර්ධනයයි. එයින් භාගයක් කොටසක් වාසනා භාගයයි. එයට හිත වූයේ වාසනාභාගිය නම් වේ. සූත්‍රයයි. ලෝභ ස්කන්ධ ආදියේ විනිවිදයාම, පළා දැමීම නිබ්බේධයයි. එයින් කොටසක් වූයේ නිබ්බේධ භාගියයි. සෙස්ස පූර්වය හා සමාන ම ය. යම් සූත්‍රයක ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දෙසන ලද ද ඒ සූත්‍රය වාසනා භාගිය සූත්‍රයකි. මේ අර්ථය ද පාළියේම එන්නේය.
පුඤ්ඤභාගියා යනු පුණ්‍ය කොටසෙහි වන යනුයි. එසේම ඵලභාගිය දේ ද දතයුතුය. ඵලය යනු මහණකමේ ප්‍රතිඵලයයි. සංවරසීලං යනු ප්‍රාතිමෝක්‍ෂ සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන සංවර පස සංවර ශීලය යනුයි. පහාණ සීලං යනු තදංග ප්‍රහාණය, වික්ඛම්භන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිප්පස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය යන පස්වැදෑරුම් ප්‍රහාණයන්ය. ඒවායින් නිස්සරණ ප්‍රහාණය හැරුණු ප්‍රහාණයන්ගේ ස්වභාවයෙන් ප්‍රහාණ ශීලය දතයුතුය. සො යනු යමෙක් වාසනාභාගිය සූත්‍රය පිළිගන්නෙක් වේ ද ඔහුය. තෙන බ්‍රහ්මචරියෙන යනු ඒ සංවරශීල සංඛ්‍යාත වූ ශ්‍රේෂ්ඨ චර්යාවෙන් යුක්ත වූ බ්‍රහ්මචාරියෙක් වෙයි යනුයි. මෙහිදී ද අෂ්ට සමාපත්ති බ්‍රහ්මචර්යාවේ ප්‍රතික්‍ෂේපයක් නොමැත. ඇතැමෙක් තෙනෙව බ්‍රහ්මචරියෙන යනුවෙන් ද කියවත්. ඔවුන්ගේ මතය අනුව එහි ප්‍රතික්‍ෂේපයක් වන්නේය.
පහාණසීලෙ ඨිතො යනු සමුච්ඡේද පටිප්පස්සද්ධි ප්‍රහාණ වශයෙන් ප්‍රහාණශීලයේ සිටියේ යනුයි. තෙන බ්‍රහ්මචරියෙන යනු ඒ ප්‍රහාණ ශීලයෙන් විශේෂිත වූ මාර්ග බ්‍රහ්මචර්යාවෙනි. යමෙක් වනාහි තෙනෙව බ්‍රහ්මචරියෙන යනුවෙන් කියවත් ද ඔවුන් සතුව වාසනා භාගියං නාම සුත්තං දාන කථා සීල කථා සග්ග කථා පුඤ්ඤවිපාක කථා යන මේ පාඨයක් වේ. යමෙක් වනාහි තෙන බ්‍රහ්මචරියෙන යනුවෙන් කියවත් ද ඔවුන් සතුව ද වාසනා භාගියං නාම සුත්තං දානකථා සීලකථා සග්ග කථා කාමානං ආදීනවො නෙක්ඛම්මෙ ආනිසංසො’ යන මේ පාඨයක් වේ. එහි කවර පාඨය වඩාත් යුක්ති සහගත වේ ද? අවසන් පාඨය යැයි නිගමනය කළ යුතුය. යම්හෙයකින් නිබ්බෙධභාගිය සූත්‍රය චතුසත්‍ය ප්‍රකාශ කරන්නේ යැයි කියනු ලැබේ ද එහෙයිනි. මහතෙරුන් වහන්සේ ඉතිරිකොට ධර්මදේශනා කරන්නේ නොවේ.
නත්‍ථි පජානාති යනාදියෙන් සූත්‍ර දෙකේම අමිශ්‍ර හේතුව දක්වයි. එහි පජානාති යනු ආර්ය මාර්ගයේ ආසන්න කරුණ වූ නැගීසිටින සුළු විදර්ශනා ප්‍රඥාවයි. ඉමානි චත්තාරි සුත්තානි යනු මේ සූත්‍ර හතරේ වාසනාභාගිය නිබ්බෙධභාගිය වශයෙන් ද සංකිලෙසභාගිය අසෙක්ඛභාගිය වශයෙන් ද කියනු ලබන සූත්‍ර සතරයි. දෙසනාය යනු දේශනා න්‍යායෙනි. සබ්බතො විචයෙන හාරෙන විචිනිත්‍වා යනු සියලු කොටසින් එකොළොස් තැනක් අතහැර විචය හාරයෙන් පිරික්සා යනුයි. යුත්තිහාරෙන යොජෙතබ්බානි යන මෙයින් විචය හාරය යුත්ති හාරය යන දෙක විභත්තිහාරයේ පරිකර්ම ස්ථානය දක්වයි. යාවතිකා ඤාණස්ස භූමි යන මෙයින් විභත්ති හාරයේ මහා විෂයත්වය දක්වයි.
මෙසේ වාසනාභාගිය, නිබ්බෙධ භාගිය ස්වරූපයන්ගෙන් ධර්මයන් එක් අයුරකින් බෙදා දක්වා දැන් ඒවා සංකිලෙස භාගිය අසෙක්ඛභාගිය ස්වභාවයන්ගෙන් සාධාරණ අසාධාරණ ස්වභාවයන්ගෙන් බෙදා දක්වන්නට තත්‍ථ කතමෙ ධම්මා සාධාරණා යනාදිය අරඹන ලදි. එහි කතමෙ ධම්මා යනු කවර ස්වභාව ඇති ධර්මයෝ ද යනුයි. සාධාරණා යනු පොදු වූ යනුයි. සමාන යන අර්ථයයි. දුවෙ ධම්මා යනු ප්‍රකෘති දෙකයි. මේ ධර්ම ශබ්දය ප්‍රකෘති යන අර්ථය ඇත්තකි. ජානි ධම්මානං සත්තානං යනාදියේ මෙනි. නාම සාධාරණා යනු නාමයෙන් සාධාරණ වූ යනුයි. කුසල අකුසල යනු සමාන නම් ඇති යන අර්ථයයි. වත්‍ථු සාධාරණා යනු ආශ්‍රිත වස්තුවෙන් සමාන වූ යනුයි. එක පරපුරකට වැටුණු සමාන වස්තු යන අර්ථයයි. විශේෂයෙන් සංකිලෙස පක්‍ෂයෙහි ප්‍රහාණ වූ අර්ථ නම් සාධාරණය. එක්ව ඇති වූ වස්තු සාධාරණය. අඤ්ඤම්පි එවං ජාතියං යනු කටයුතු හේතු ප්‍රතිපක්‍ෂ ආදියෙන් සමාන වූ දේ ගනිනු ලැබේ. මිච්ඡත්තනියතානං අනියතානං යන මෙය පෘථග්ජනයන්ගේ සලකා බැලීමකි. එහෙයින් ශාස්වතවාදය උච්ඡේදවාදය යනාදි සියල්ල පෘථග්ජන භේදය ගෙනවුත් ප්‍රකාශ කළ යුතුය. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් සාධාරණ වන්නේ අසත්‍ය වූ ද අනියත වූ ද දේ ලැබෙන බැවින්ද සත්‍ය වූ නියත වූ දේ නොලැබෙන බැවින් දැයි මේ ක්‍රමයෙන් සෙසු පදවල ද අර්ථය දතයුතුය.