සෝධන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො සොධනො හාරො යනු සොධන හාර විභංගයයි. එහි භගවා පදං සොධෙති යනු අවිද්යාවෙන් ලෝකය වසන ලද්දේය යනාදිය ප්රකාශ කරමින් භාග්යවතුන් වහන්සේ ‘කවරකින් ලෝකය වසන ලද්දේ වේ ද? යනුවෙන් ආයුෂ්මත් අජිත විසින් ප්රශ්න වශයෙන් කියන ලද පදය ශෝධනය කෙරේ යනුයි. ඒ අර්ථය විසඳීම් වශයෙනි. නො ච ආරම්භං යනු පළමුව ආරම්භය ශෝධනය නො කෙරේ යනුයි. දැනගන්නට කැමති වූ අර්ථය ඇසුරු නොකළ බැවිනි. සුද්ධො ආරම්භො යනු දැනගන්නට කැමති වූ අර්ථය ප්රබෝධ කරන ලද බැවින් ශෝධනය කරන ලද ආරම්භය යන අර්ථයයි. අඥාන පක්ෂයෙහි වූවන්ගේ හෝ සැක ඇත්තවුන්ගේ හෝ විමසන වේලාවෙිහ විමසුවන්ගේ විමසීම් විෂය ගැට ඇති මහා වනගහණක් මෙන් මහා දුර්ගයක් මෙන් ද අන්ධකාරය නොනැසුනේ වෙයි. යම්විටෙක, පණ්ඩිතයන්ගෙන් හෝ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයන්ගෙන් හෝ නො පදයෙහි පදයැයි දක්වමින් එල්ල කළ ප්රශ්න භාග්යවතුන් වහන්සේ විසින් ගැට නැති සැඟවෙන තැන් නැති තත්ත්වයට පත්කොට විසඳූ කල්හි මහා ගඳැතෙකු විසින් මැඩගෙන, බිඳ පලා දැමූ මහා වනගහණ පෙදෙසක් මෙන් නසන ලද අඳුර ඇත්තේ ප්රකට වූයේ උපස්ථාන කරනුයේ විශෝධනය කරන ලද්දේ නම් වේ.
සෝධන හාර විභංග වර්ණනාව නිමි.
අධිට්ඨාන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො අධිට්ඨානො හාරො යනු අධිට්ඨාන හාර විභංගයයි. එහි තථා ධාරයිතබ්බා යනු එක් බව විවිධ බව සංඛ්යාත වූ සාමාන්ය විශේෂ මාත්රයෙන් දැරිය යුතුයි යනුයි. එහි කිසිවක් විකල්පනය නොකළ යුතුය යන අදහසයි. විකල්පනය නොකළ යුතු කරුණු නිද්දේසවාර වර්ණනාවෙහි කියන ලද ම ය. ඒ ඒ ඵලය සොයයි. ගවේෂණය කරයි නුයි මග්ග නම් වේ. එය කැමතියවුන් විසින් සොයනු ලැබේ. ගවේෂණය කරනු ලැබේ නුයි මග්ග නම් වේ. නොඇලීම් අර්ථයෙන් ද ආශ්වාද රහිත අර්ථයෙන් ද නිරය නම් වේ. උඩට ගොස් හරහට ඇදේනුයි තිරච්ඡාන නම් වේ. ඉවත් වූ බැවින් පෙත්ති නම් වේ. මෙයින් පරලොව ගිය බව යන අර්ථයයි. පෙත්තියම පෙත්තිවිසය නම් වේ. සුර නොවෙත්. නොබබළත්, නොහොබිත් යන අර්ථයෙන් අසුර නම් වේ. අසුරයෝ ම අසුරයොනි නම් වෙත්. දිව්යමය රූපයන්ගෙන් මනා වූ අග් ඇත්තේනුයි සග්ග නම් වේ. මනස උසස් බැවින් මනුස්සා නමි. වාණ යනුවෙන් තණ්හාව කියනු ලැබේ. එය එහි නැතැයි නිබ්බාණ නම් වේ. නිරයට යේනුයි නිරයගාමී නමි. සෙසු පදයෙහි ද මේ ක්රමයමැයි. අසුරයොනියො යනු අසුර යෝනියට හිත වූයේ යනුයි. අසුර ජාතියෙහි උපදින්නෙක් යන අර්ථයයි. ස්වර්ගයට පමුණුවානුයි සග්ගගාමියො නම් වේ. මනුස්සගාමී යනු මනුෂ්ය ලෝකයට යන්නාය. පටිසංඛා නිරොධො යනු නුවණින් බලා කෙරෙන ප්රතිපක්ෂ භාවනාවේ නිරෝධයයි. ප්රතිපක්ෂ දෙයෙහි හෝ එසේ නොපැවති දෙයෙහි හෝ ඉපදීමට සුදුසු දෙයෙහි ප්රතිපක්ෂ පැවැත්මේ නූපදවීමයි. අප්පටිසංඛා නිරොධො යනු සංඛත ධර්මයන්ගේ ස්වකීය නිරෝධයයි. ක්ෂණික නිරෝධය යන අර්ථයයි.
රූපං යනු ඒකත්වයයි. භූතානං උපාදාය යනු විවිධත්වයයි. උපාදාය රූපං යනු ඒකත්වයයි. චක්ඛායතනං -පෙ- කබලීකාරො ආහාරො යනු විවිධත්වයයි. පඨවි ධාතු යනු ඒකත්වයයි. විසි ආකාරය විවිධත්වයයි. ආපෝධාතු යනු ඒකත්වයයි. දොළොස් ආකාරය විවිධත්වයයි. තේජෝ ධාතු යනු ඒකත්වයයි. සතර ආකාරය විවිධත්වයයි. වායෝ ධාතු යනු ඒකත්වයයි. සය ආකාරය විවිධත්වයයි යනුවෙන් මේ අර්ථය දක්වමින් ද්වීහි ආකාරෙහි ධාතුයො පරිග්ගණ්හාති යනාදිය කීවේය.
එහි කෙසා යන තැන කෙස් නම් අල්ලා ගන්නා ලද ශරීරයෙහි ඇති කර්කශ ලක්ෂණයයි. මේ ශරීරයෙහි වෙන් වෙන් වූ පඨවි ධාතු කොටසයි. ලොමා නම් -පෙ- මත්ථලුංගං නම් ශරීරස්ථ කර්කශ ලක්ෂණයයි. මේ ශරීරයෙහි වෙන් වෙන් වූ කොටසක් යන මෙය විවිධත්වයයි. ආපො ධාතු ආදි කොටස්වල ද පිත්තාදියෙහි ද මේ ක්රමයමය. මේ විශේෂයයි. යෙන ච යනු කුපිත වූ යම් තේජෝ ධාතුවකින් යනුයි. සන්තප්පති යනු මේ කය තැවෙයි. එක දවසකට අයත් වූ ජරා ආදී ස්වභාවයෙන් උණුසුම් වූයේ වේ. යෙන ච ජීරති යනු මේ ශරීරය යමකින් දිරනු ලැබේ ද යනුයි. ඉන්ද්රිය විකලත්වයට බලරහිත බවට හම රැලි වැටීමට කෙස් ඉදීමට ද පැමිණෙයි. යෙන ච පරිඩය්හති යනු කිපුණු යමකින් මේ කය දැවේ ද යනුයි. ඒ පුද්ගලයා ද දැවෙමි දැවෙමි යි අඬමින් සියවරක් සෝදන ලද ගිතෙල් රන්වන් සඳුන්, සඳුන් ආදී තැවරීම් ද විජිනිපත් පවන ද පතයි. යෙන ච අසිතපීතඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යනු බත් ආදී කන ලද දේ හෝ පාන ආදි බොන ලද දේ හෝ පිටිකැවිලි ආදි කඩා කන ලද දේ හෝ ඉදුණු අඹ, මීපැණි ආදි දිවින් රසවිඳින ලද දේ හෝ මනාව දිරවයි. රස ආදී ස්වභාවයෙන් විවේකයට පැමිණේ යන අර්ථයයි. මෙහිදී ද පළමු තුන තේජෝ ධාතුවයි. පසුව වූ සතර සමුට්ඨාන කර්ම සමුට්ඨාන ම ය.
උද්ධංගමා වාතා යනු උගුරට ඒම, ඉක්කා වැටීම ආදියේ පැවති උඩට නැගෙන වායුවයි. අධොගමා වාතා යනු මළමුත්ර කිරීම් ආදියේදී බැහැර යන පහතට බසින වායුවයි. කුච්ඡිස්සා වාතා යනු අන්ත්රවලින් බැහැර ඇති වායුවයි. කොට්ඨාසයා වාතා යනු අන්ත්ර ඇතුළත ඇති වායුවයි. අංගමංගානුසාරිනො වාතා යනු ධමනි ජාලාවන් අනුසාරයෙන් සියලු ශරීරයේ අඟපසඟෙහි විසුරුවන ලද හැකිලීම් දිගහැරීම් ආදියෙන් ඇතිවන වායුවයි. අස්සාසො යනු ඇතුලට පිවිසෙන නාසික වාතයයි. පස්සාසො යනු පිටතට නික්මෙන නාසික වාතයයි. මෙහිදී ද පළමුව දැක්වූ චතු සමුට්ඨාන වේ. ආශ්වාස ප්රශ්වාස, චිත්ත සමුට්ඨානමය. මෙසේ විවිධත්වය දැක්වීම් වශයෙන් විභාග ලෙසින් ගෙනහැර දක්වන ලදි. ධාතු සතර පටික්කූල මනසිකාර වශයෙන් ගෙනහැර පානුයේ ඉමෙහි ද්වාචත්තාළීසාය ආකාරෙහි යි කියන ලදි. එහි න ගය්හූපගං යනු ගැනීමට නුසුදුසු යනුයි. සභාවභාවතො යනු ස්වභාව ලක්ෂණයෙනි.