6. උපසීව සූත්ර නිර්දේශ වර්ණනාව
හයවන උපසීව සූත්රයයි. මහන්ත මොඝං මහත් වූ (කාමාදී) සැඩපහර, අනිස්සිතො පුද්ගලයකු හෝ දහමක් හෝ ඇසුරු නොකොට, නො විසහාමි නොහැකි වෙමි. ආරම්මණං හේතු වූ කරුණ යං නිස්සිතො යම් පුද්ගලයෙකු හෝ දහමක් හෝ ඇසුරු කොට.
නිද්දෙසයෙහි (දැක්වෙන පරිදි) කාමොඝං අනාගාමී මගෙන්, භවොඝං අරහත් මගෙන්, දිට්ඨොඝං සෝවාන් මගෙන්, අරහත් මගෙන් අවිජ්ජොඝං තරණය කරන්නේය. සක්යකුලා පබ්බජිතො භාග්යවතුන් වහන්සේගේ උසස් කුලය දක්වන අදහසින් කියන ලදී. ආලම්බනං වසා මැඩගෙන සිටිනා තැන, නිස්සයං නොඇලුණු බව, උපනිස්සයං හේතුව.
ඒ බමුණා ආකිඤ්චඤ්ඤායතනය ලබා, එයින් එහා (ඉදිරියට) යාමක් නොදනී. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ ඇසුරු කොට පවන්නා දෙයින් එහා මතු ලද හැකි පියවර ‘ආකිඤ්චඤ්ඤං’ යන ගාථාවෙන් වදාළහ. එහි පෙක්ඛමානො ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතට සිහියෙන් යුතුව සමවැදී, නැගිට - එය අනිසය ලෙස දකිමින්, නත්ථිති නිස්සාය ‘කිසිවක් නැතැ’යි පවත්නා සමවත අරමුණු කොට, තරස්සු ඔඝං එතැන් පටන් පවත්නා විදසුන් මගට සුදුසු වන පරිදි සිවුආකාර වූ සැඩපහර තරණය කරව. කථාහි සැක සහගත දේවලින්, තණ්හක්ඛයංනන්ත මහාභිපස්ස දිවා රෑ නිවන අරමුණු කොට බලව. මෙයින් ඔහුට මේ ජීවිතයෙහිදීම සැප විහරණය පවසති.
නිද්දේසයෙහි (දැක්වෙන පරිදි) තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙති එය අනන්ත වූ ආකාසය අරමුණු කොට පවත්නා උසස් බවට පත් විඤ්ඤාණය නැතිවන බවට පමුණුවයි. ව්යාභාවෙති නොයෙක් ලෙසට නැතිවී යන බවට පමුණුවයි. අන්තරධාපෙති නොදක්නා බවට පමුණුවයි. නත්ථි කිඤ්චීති පස්සති යටත් පිරිසෙයින් බිඳීම් පමණකුදු නැතැයි දකී.
දැන් ‘කාමය හැර දමා’ යන (වචන) අසා, මැඩ පැවැත්වීමෙන් දුරුකරන ලද තම කාමයන් දකිමින් සබ්බෙසු යන ගාථාව කීය. හිත්වා මඤ්ඤං සයාකාර වූ අනෙක් සමවත් හැර, සඤ්ඤා විමොක්ඛෙ පරමෙ සඤ්ඤා මිදීම් සතෙන් උසස් වූ ආකිඤ්චඤ්ඤායතනයෙහි, තිට්ඨෙ නූ සො තත්ථ අනානුවායී ‘එම තැනැත්තා ආකිඤ්චඤ්ඤායතන බඹලොවෙහි ඉවත් නොවී සිටින්නේදැ’යි විමසයි.
නිද්දේසයෙහි - අවිච්චමානො නොයෙදුණේ, අවිගච්ඡමානො වෙන්වීමට නොයනුයේ, අනන්තරධායමානො අතුරුදහන් නොවනුයේ, අපරිහීයමානො අතරතුර පිරිහීමකට පත් නොවනුයේ.
එවිට භාග්යවතුන් වහන්සේ, කප් සැටදහසක් පමණ එහි සිටින බව අනුදැන වදාරමින් තුන්වන ගාථාව කීහ. මෙසේ උපසීව ඔහුගේ ඒ (උපදනා) තැන අසා, මීළඟට ‘තිට්ඨෙ චෙ..... යන ගාථාවෙන් සදාකාලික පැවැත්ම (සස්සත) හා වැනසීම (උච්ඡේද) ගැන කීය. එහි පූගම්පි වස්සානං බොහෝ අවුරුදු ගණනක් එකතුව, පූගම්පි වස්සානි යනුවෙන්ද දැක්වේ. එහි විබත් දැක්වීමේදී ආධාර විබත් අරුතෙහි පළමු විබතින් යෙදිය යුතුය. ‘පූගං’ සමූහය හෝ ‘බහූනි’ බොහෝ යනුවෙන් අරුත් කිවයුතුය. පූගානි යනුවෙන්ද කියති. මුල් වචනය හැම අයුරින්ම සුදුසුය. තත්ථෙව සොසීති සියා විමුත්තො ඒ තැනැත්තා එම ආකිඤ්චඤ්ඤායතනයෙහිම නොයෙක් දුක්වලින් මිදී (කෙලෙස් දැවීම් තැවීම් රහිතව) සිසිල් බවට පත්වන්නේය. නිවනට යොමුව සිටින්නේ යැයි අදහස් වේ. චචෙථ විඤ්ඤාණං තථාවිධස්ස නැතහොත් එබඳු විඤ්ඤාණයම (සිත) නැවත නූපදනා ලෙස (මරණයට) පත්වන්නේ දැ’යි වැනසීම යන අදහසින් විමසයි.
තස්ස විඤ්ඤාණං චවෙය්ය ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් තැනැත්තාගේ විඤ්ඤාණයේ ගිලිහී යාමට (චුති) පැමිණෙන්නේය. උච්ඡිජ්ජෙය්ය වැනසී යන්නේය. විනස්සෙය්ය විනාසයට පැමිණෙන්නේය. න භවෙය්ය අභාවයට යන්නේය. උප්පන්නස්ස පිළිසිඳ ගැනීමක් ලෙස උපන් සත්ත්වයාට.