චූලනිද්දෙස අටුවාව
1. අජිත සූත්‍ර නිර්දේශ වර්ණනාව
පාරායන වග්ගයෙහි මුලින්ම සඳහන් වන අජිත සූත්‍රයෙහි
‘කෙනස්සු නිවුතො ලොකො, (ඉච්චායස්මා අජිතො)
කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්‍රෑසි,
කිංසු තස්ස මහබ්භයන්ති
කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්‍රෑසි,
කිංසු තස්ස මහබ්භයන්ති
‘ලෝකයා කිනම් දෙයකින් වැසී තිබේද? කුමක් නිසා නො පෙනෙන්නේ ද? ඔහු ඇලුණේ කුමකින්ද? ඔහුට ඇති මහත් බිය කුමක්දැ’යි ගරු අජිත විමසීය.
අජිත තරුණයා විචාළ මුල් පැනයෙහි පටන් ඉතිරි පැන පිළිබඳව නිද්දේසයෙහි සඳහන් වූ පැහැදිළි කිරීම් හැර, එහි වැදගත් යැයි (හැඟෙන තැන්) දක්වමු.
එහි නිවුතො යනු වසන ලද (හෙවත්) අවුරන ලද්දේ, කිස්සාභිලෙපනං බ්‍රෑසි ඒ ලෝකයට ඇලෙන්නේ කුමකින්දැයි කියනු මැනව.
ආවටො අවුරන ලද්දේ, නිවුතො වසන ලද්දේ, ඔවුතො යටින් වසන ලද්දේ, පිහිතො මතුපිටින් ආවරණය කරන ලද්දේ, පටිච්ඡන්නො සඟවන ලද්දේ, පටිකුජ්ජිතො යටිකුරු කොට වසන ලද්දේ,
නප්පකාසති නොපෙනෙන්නේ (හෙළිදරව් නොවන්නේ) වේ. නප්පභාසති නුවණ නැමති ආලෝකය නැත. න තපති නුවණ නැමති බලය නොපෙන්වයි. න විරොචති නුවණින් බැබලීමක් නොකරයි. න ඤායති නොදනී, න පඤ්ඤායති (එයින්) පසිඳුවන්නේ නැත.
කෙනලිත්තො කුමකින් තවරන ලදද සංලිත්තො උපලිත්තො (සං, උප වැනි) උපසග්ග පදවලින් වචන අරුත වඩාත් තහවුරු කරන ලදී. ආචික්ඛසි යනු (කරුණු) පහදා දෙන අයුරින් දෙසෙසි දේසනා කරන අයුරින්, පඤ්ඤාපෙසි ඒ ඒ ආකාරයෙන්, තේරුම අවබෝධ වන අයුරින් පට්ඨපෙසි, ඒ ඒ කරුණු දක්වමින් විචරසි පද අකුරු විභාගයෙන් (ගැලපෙන අරුතින්) විභජසි, යටිකුරු කරන ලද බව, ගැඹුරු බව ඉවතලා අසන්නන්ගේ නුවණ පිහිටන අයුරු දනවමින්, උත්තානීකරොසි මේ සියළු ආකාරයෙන් අසන්නන්ගේ අනුවණ අඳුර දුරුකරමින් පකාසෙසි යැයි මෙසේ අරුත් දතයුතුය.
වෙවිච්ඡා පමාදා නප්පකාසති මසුරුබව හේතුකොටද (යහපත් දෙයකට) පමාවීම හේතුකොටද නොපෙනේ. මසුරු තැනැත්තා දානය ආදී (යහපත්) ගුණ නොදකී. සිල් රැකීම් ආදියෙහි පමාවෙයි. ජප්පාභිලෙපනං වඳුරා (ආසාවෙන්) ආලේපයට ඇලෙන්නා සේ, ලෝකයා තණ්හාවෙහි ඇලෙයි. දුක්ඛං ඉපදීම ආදී කොට ඇති දුක්,
යෙසං ධම්මානං ඒ රූප ආදියෙහි සොබාවය. ආදිතො සමුදාගමනං පඤ්ඤායති මුලින්ම හටගැන්ම (පැහැදිලිව) පෙනේ. අත්‍ථංගමතො නිරොධො (රූපාදී අරමුණක් නොගන්නා විට) නැතිවීම පෙනේ. කම්මසන්නිස්සිතො විපාකො යහපත් අයහපත් කටයුතුවල පලදීම නොසිඳී පැවතීමෙන්, එම කටයුතු අනුව ලබන විපාක යැයි කියනු ලැබේ. විපාක සන්නිස්සිතං කම්මං යහපත් අයහපත් කටයුතුවල විපාකයට ඉඩ ලබාදී ඇති බැවින් පලය ඇසුරුකොට ඇති කටයුතු හෙවත් කම්ම යැයි කියනු ලබයි. නාමසන්නිස්සිතං රූපං කොටස් පහකින් සැදි රූපය නොසිඳී පැවැත්මෙන් නාමය ඇසුරුකොට පවත්නා රූපය යැයි කියනු ලබයි. රූප සන්නිස්සිතං නාමං කොටස් පහකින් වූ නාමරූපය නොමිදී පැවැත්මෙන් රූපය ඇසුරුකොට ඇති නාමයැයි කියනු ලැබේ.
සවන්ති සබ්බධී සොතා රූප ආදී සියළු තන්හි තණ්හාව මුල් වූ දියදහරා ගලයි. කිං නිවාරණං ඒවා වැළැක්වීම කවරේද? රැකවරණය කුමක්ද? සංවරං බ්‍රෑහි ඒවා වැළැක්වීමට අදාළවන හික්මීම ගැන පැවසුව මැනවි. එයින් ඉතිරි සියළු දෙයෙහිම නැතිකිරීම විමසයි. කෙන සොතා පිථියරෙ කිනම් ආකාරයකින් ඒ දියදහරා (නොගලන ලෙස) අවුරා වසනු ලබයිද, සිඳ දමනු ලබයි. එයින් මුළුමනින්ම (ඉතිරි නොකොට) නැතිකරන අයුරු විමසයි.
සවන්ති උපදිති. ආසවන්ති යටිගම් බලා ගලති. සන්‍දන්ති ගලාබසිමින් පවතී. නැවත නැවතත් පවතී.
සති තෙසං නිවාරණං මනා අවබෝධයෙන් යුතුව, (විදසුන් ලෙසින්) යහපත් අයහපත් දෙයෙහි සොබාවය විමසා බලන සිහිය ඒ දියපහරවල වැළැක්වීම වේ. සොතානං සංවරං බ්‍රෑමී. එහෙයින් මම සිහිය, ඒ දියපහරවල වැළැක්වීම යයි කියමි යන අදහසයි. පඤ්ඤායතෙ පිථියරෙ රූප ආදියෙහි සදා පැවැත්මක් නැතැයි වැටහීමෙන් පැතිර යන මගපල නුවණින් ඒ දියපහරවල් හැම අයුරින්ම (ගලායාම) වළකනු ලබති.
පච්ඡිජ්ජන්ති මැනවින් සිඳ දමනු ලබති. සමදුයංච හටගැනීමට හේතුවද, අත්‍ථංගමංච හටගත් දෙයෙහි විනාසයට පත්වීම හෙවත් නැතිවීමද (නැතහොත්) හටනොගත් දෙයෙහි හටනොගැනීම හෝ (නූපන් දෙයෙහි නූපන් බව) අස්සාදංච ඇතිවන පලවිපාක ද, ආදීනවංච (එහි ඇති) දෝස හෙවත් වැරදි ද නිස්සරණං ච (එයින්) නිදහස් වීමද,
පඤ්ඤාචෙවා පැන ඇසූ ගාථාවෙන් ඔබ විසින් (බුදුරදුන් විසින්) කී පරිදි යම් නුවණක් ද සිහියද ඉතිරිව ඇති නාමරූපද යන මේ සියල්ල කෙසේ නැතිවේදැයි (අජිත නම් වූ) මා විසින් විමසන ලද පැනයට පිළිතුරු) දෙනු මැනවැයි කෙටියෙන් මෙසේ අරුත් දතයුතුය.
කත්‍ථෙතං නිරුජ්ඣති ඒ නාමරූපය නැත්තේ කොතැන්හි ද? වූපසම්මති නිවේ, අත්‍ථංගච්ඡති අභාවයට යයි. පටිප්පස්සම්භති සංසිඳේ.
පිළිතුරු ගාථාවෙහි යම් ආකාරයකින් පඤ්ඤාසති හෙවත් සිහිනුවණ නමින්ම සඳහන් වන හෙයින් ඒ ගැන වෙනම නොකියන ලදී. මේ එහි කෙටි අරුතයි. ‘අජිත, ඔබ නාමයද රූපයද මුළුමනින්ම නැතිවන්නේ කොතැනදී දැයි, යම් පැනයක් මගෙන් ඇසුවෙහිද? ඒ ගැන ඔබට කියමි. ඒ ඒ තැන්හි විඤ්ඤාණය නැති කිරීම සමගම (ඉන් එහාට) නොපවතී. එත්‍ථෙතං උපරුජ්ඣති එහි සිත නැතිකිරීමෙන් ඒ පැවතියා වූ සොබාවයද නැතිවේ.
එය අභිසංඛාර විඤ්ඤාණස්ස නිරෝධෙන සෝවාන් මගපල නුවණ හා එක්ව යෙදුණු කුසල අකුසල සිතිවිලිවලින් යුතු සිතෙහි (නැවත) හටගැනීමක් නොවන පරිදි නැති කිරීමෙන්, එහි තමාගේ යයි සිතා නොගත් (අනුපාදින්නක) හා තමාගේ යැයි සිතාගත් (උපාදින්නක) යනුවෙන් ඒ නැතිකිරීම දෙආකාරය. සෝවාන් මගින් සිවුවැදෑරුම් දැකීම් යුතු සැකය සහිත වූ සිත් පහ නැතිවේ. ඒවා රූප උපදවති. එය තමාගේ යැයි සිතා නොගත් රූප සමූහයයි. ඉදින් (තණ්හාදී) දිය පහරට පත් (තැනැත්තා) සෝවාන් මග නොවඩනා ලද්දේ නම්, ඒ සිත් පහ අරමුණු හයෙහි මතුව නැගී සිටින්නේ ය. සෝවාන් මග වූ කලී එබඳු සිත් මතුව නැගී සිටීම වළකාලමින්, සහමුලින් ඉවත් කරමින්, හට නොගන්නා බවට පත් කරන්නේ අනුපාදින්නක නිරෝධ නම් වේ. සකදාගාමි මගින් දැකීම් හතරකින් යුතු, සොම්නස් සහගත ලෙස දෙයාකාර වූ දළ ගතියෙන් යුතු කාමයෙහි ඇලීම හෙවත් කාමරාගය, නපුරු තරහ සිත් හෙවත් ව්‍යාපාද ලෙසින් වූ සිත් හය නැති වේ. අනාගාමි මගෙන් ඉතා මඳව හෝ ඉතිරිව ඇති කාමරාග ව්‍යාපාද ලෙස වූ ඒ සිත් හය නැති වේ. අරහත් මගෙන් දැකීම් හැර දැමූ, උඩඟු බව සහිත අකුසල් සිත් පහ නැතිවේ. එහි ඒ උතුමන් එම (සෝවාන් ආදී) මග නොවඩනා ලද නම්, ඒ සිත් අරමුණු හයෙහි මතුව නැගී සිටීමට පත්වන්නේය. ඒවා ඒ මග මතුව නැගී සිටීම වළකාලමින්, සහමුලින් ඉවත් කරමින්, හටනොගන්නා බවට පත් කරන්නේ අනුපාදින්නක නිරෝධ නම් වේ. මෙසේ අනුපාදින්නක නිරෝධය දතයුතුය. සෝතාපන්නව (එහෙත්) සෝවාන් මග නොවඩනා ලද විට, භවයෙහි ඉපදීම් (වාර) සතක් කෙළවර නොදක්නා සසර පැවැත්මෙහි උපදනා හේතු (තවදුරටත්) පවත්නේය. කවරහෙයින්ද? සසර බැඳීම් තුනක්, දැඩිව ගත් හැඟීම්, සැකය වැනි මේ කෙලෙස් පහ ඒ මග පල උපදවා ගැනීමෙන් ඉවතලනු ලැබේ.