නිගමනය
බුදුරජාණන් වහන්සේගේ පුතුන් සේ සැළකෙන පැවිදි සාවක හිමිවරුන්ගේ පරම්පරාවේ මුප්තැන දරමින්, හිතවත් බවින් හා නොසැලෙන ගුණයෙන් යුතු (සැරියුත් තෙරුන් වහන්සේ විසින් මහා නිද්දේසයෙහි මනාව (කරුණු) බෙදා දක්වන ලදී.
පෙර පැවති අටුවා නය හා ගැලපෙන ආකාරයට අනුව එහි අරුත් විවරණය පිණිස මා විසින් අරඹන ලද මෙය දැන් නිමාවට පත්විය.
පුර අතුරෙන් ඉතා උතුම් වූ අනුරාධපුරයෙහි දකුණු දෙසින් මහා විහාරය පිහිටියේය.
එහි තිලකයක් වන් මහා පව්වක් බඳු (උස් වූ) මහා සෑයට බටහිරින්, කථාවෙහි හරවත් බවින් යුතු, රාජ සම්මත වූ, මනා පැවතුම් ඇති, ලිවීමෙහිද සමත්කම් දැක්වූ භත්තිසේන නම් කෙනෙකු විසින්,
සිහිලැල් රුක්සෙවනින් යුතු, සිහිල් ජලයෙන් යුතු (පොකුණින්) මනහර පවුරකින් වට වූ පිරිවෙණක් කරවීය.
මහ පිරිවෙණෙහි වැසි, ලිවීමෙහි සමත්කම් ඇති උපසේන මහා තෙරුන් වහන්සේට පිරිවෙණ ලබාදීමෙන් (පසු)
නොසැලෙන සිල් ගුණයෙන් යුතු උපසේන තෙරුන් එහි වාසය කරමින් සද්ධම්මජොතිකා කරන ලදී.
සිරි සැපතට නිවහනක් වූ සිරිසඟබෝ රජුගේ විසිහය වන වසරෙහිදී නිද්දෙස වර්ණනාව අවසන් කරන ලදී.
ථේරවාදී පරපුරේ තෙරුන් වහන්සේලාගේ අදහස් නො ඉක්මවමින් ලෝවාසීනට හිතසුව සලසන මෙම අටුවාව නිමාවට පත් විය.
සදහමට පිටු නොපාමින්, ගරු කරමින්, තමාටත් අනුන්ටත් හිතසුව සලසමින් හැමදෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා !
සද්ධම්ම පජ්ජොතිකා නම් මෙම අටුවාවෙහි බණවර හතළිහකට මදක් වැඩියැයි ගණිතය පිළිබඳව නිපුණ වූවන් දක්වා ඇත.
ගණනය කිරීමේදී අනුට්ඨභ් ඡන්දසින් බැඳුණු ගාථා දස දහසට වැඩිය.
සසුනෙහි දිගුකල් පැවැත්ම පිණිසත්, ලෝවාසී යහපත පිණිසත් දයාවෙන් යුතුව මෙය රචනා කිරීමෙන් රැස්කර ගන්නා ලද අනල්ප වූ මහත් පිනෙන් මේ ලෝවාසීහු දසබලධාරී බුදුරදුන්ගේ සවන පිනන දහම් රසය විඳ සැපයෙන් සැපයට පැමිණෙත්වා !
සද්ධම්ම පජ්ජොතිකා නම්
චූළ නිද්දෙස අටුවාව නිමියේ ය.