සතර වැනි වර්‍ගය
සිවුවන වගෙහි පළමු ගාථාවයි.) රසෙසු ඇඹුල්, මිහිරි, තිත්ත, රළු, කර, කහට ආදී (දිවට) දැනෙන නොයෙක් රසයි. ගෙධං අකරං ගිජු බවෙන් තොර වීමයි. තණ්හාව නූපදනා බව කියන ලදී. අලොලො ‘මෙය රස බලන්නෙමි, මෙය රස බලන්නෙමි’යි නොයෙක් රසයෙහිම පැටලී නොසිටීමයි. අනඤ්ඤපොසී ආහාරපාන ආදිය ලබාදෙමින් හදාවඩා ගතයුතු, තමන් හා එක්ව වෙසෙන්නන් නොමැති බවයි. සිරුර දරාගැනීමට තරම් වූ දෙයකින් සෑහීමට පත්වේ යැයි කියන ලදී. පෙර උයනෙහිදී, යම්සේ රසයෙහි ගිජුව එහිම ආසාවෙන්, වෙනත් කෙනෙකුට නොදී සිටියෙම්ද, ඒ තණ්හාව හැරදමා, නැවතත් එය මුල්කොට වෙනත් ආසා නූපදනා බැවින් වෙනත් කෙනෙකු කවා පොවා ඇතිදැඩි නොකරන බව දක්වයි. නැතහොත් වෙනත් අරුතක් ලෙස කෙලෙස් (ගැන) කියනු ලැබේ. ඒවා (තවදුරටත්) හදාවඩා නොගන්නා ලෙසින් අනඤ්ඤපොසී නම් වෙයි. සපදානචාරී (පෙර බුදුවරුන්ගේ සිරිත නොඉක්මවමින්) අනුපිළිවෙළින් (පිඬු පිණිස) හැසිරෙයි. පොහොසත් පවුල්, දිළිඳු පවුල් යැයි ද අත් නොහැර, ගෙවල් පිළිවෙලින් පිඬු පිණිස පිවිසීම යනු තේරුමයි. කුලෙ අප්පටිබද්ධ චිත්තො කැත් කුල ආදී ලෙසින් යම්කිසි තැනක කෙලෙස්වලින් නොඇළුණු සිතින් සඳ උපමා කොට නිති අළුත (පැවිදි වූවකුට) නිති නවකයෙකුට යන තේරුමයි. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති අයුරිනි.
පළමු (ගාථාවයි.)
දෙවන (ගාථාවයි.) ආවරණානි නීවරණයි. ඒ ගැන උරග සූත්‍රයෙහි සඳහන් වේ. වලාකුළු ආදියෙන් සඳ හිරු වසන්නා සේ නීවරණ සිත අවුරයි. එහෙයින් ආවරණනි චෙතසො යැයි කියන ලදී. එය සිත එකඟ කිරීමේ මූලික හැඩගැසීමේදී හෝ දැහැන් ලැබීමෙන් හෝ (උපචාර හෝ අප්පණ ලෙස) පහාය උපක්කිලෙසෙ සිතට බාධා කරන අයහපත්, අකුසල කරුණුවලින් යුතු, වත්‍ථූපම සූත්‍රයෙහි දක්වා ඇති පරිදි දැඩි ලෝභය ආදී ලෙසිනි. ව්‍යපනුජ්ජා හටගැනීමට ඉඩ නොදී වනසා, විදසුන් මගින් දුරුකොට ඇතැයි තේරුමයි. සබ්බෙ ඉතිරි නොවී, මෙසේ සමථ විදසුන් වඩා, සෝවාන් මගෙන්, දැඩිව ගන්නා ලද දිට්ඨි හෙවත් වැරදි හැගීම් දුරුකරන ලද බැවින් අනිස්සිතො (සකදාගාමි ආදී) ඉතිරි මගපලවලින් පෙන්වා (තණ්හා-දිට්ඨි-දෝස) තුන් කොටසින් ඉවත්ව ගිය, සිනෙහදොසං තණ්හා රාගයැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.
දෙවන (ගාථාවයි.)
තුන්වන (ගාථාවයි.) විපිට්ඨිකත්‍වාන නොපිටට හරවා, හැරදමා, අත්හැර යන තේරුමයි. සුඛං දුඛංච කයෙහි සැප දුකය, සොමනස්ස දොමනස්සං සිතිවිලි නිසා ඇතිවන (සිතෙහි) යහපත හා අයහපතයි. උපෙක්ඛං සිවුවන දැහැනෙහි මැදිහත් බවයි. සමථං සිවුවන දැහැනෙහි එකඟ බවයි. විසුද්ධං නීවරණ පහෙන් ද, විතක්ක, විචාර, පීති, සුබ යැයි කියන ලද එකිනෙකට වෙනස් නවයෙන් ද මිදුණු හෙයින් ඉතා පිරිසිදුය. පිරිසිදු කරන ලද රත්රන් සේ කෙලෙස් හැරදමන ලදැයි යන තේරුමයි.
අදහස් වන්නේ මෙයයි. සැපද දුකද අත්හැර දැමීමේදී පුබ්බෙව පළමු දැහැන ලබාගැනීමේ මූලික අවදියම දුකය. තුන්වන දැහැන ලබාගැනීමට මූලික අවදිය සැපයකැයි අදහස් වේ. නැවත මුලින් කී ‘ච’ අකුර ඉදිරියට ගොස් සොම්නස - දොම්නස ද වෙන්කොට පුබ්බෙව යැයි උපකාරක ලෙස කීය. එයින් සොම්නස් බව සිවුවන දැහැන ලබාගැනීමට මූලික අවදියේ දී ද, දොම්නස දෙවන දැහැන ලබාගැනීමට මූලික අවදියේ දී දැයි පෙන්වයි. මෙය වෙනත් අයුරින් කිවහොත් දුරුකරන තැන්ය. වෙනස් නොකළ හැකි ආකාරයෙන් කිවහොත් දුක් සහිත පළමු දැහැනයි. දොම්නස සහිත දෙවැනි දැහැනයි. සැප ඇති තුන්වන දැහැනයි. සොම්නස ඇති සිවුවන දැහැන දුරුකරන තැනයි. එහෙයින් (භාවනා යෝගියා) පළමු දැහැනට පැමිණ වාසය කරයි. එහිම හටගත් දුක් සහගත බව (දුක්ඛින්‍ද්‍රියං) ඉතිරි නැතිවම නිරුද්ධ වෙයි ආදී ලෙසින් කීය. ඒ සියල්ල ඉහත කී අයුරින් ගත යුතුය. පුබ්බෙව යම් අයුරකින් පළමු දැහැන් ආදී කොට ඇති තුන් දැහැනෙහිම දුක් දොම්නස් සුව වෙන්කොට, එහිම සිවුවන දැහැන්හි සොම්නසද වෙන්කොට මේ පිළිවෙතින් ලද උපෙක්ඛා හා අති පිරිසිදු වූ සමථයද ලැබ තනිව හැසිරෙයි.