ප්‍රථම වර්‍ගය
මෙයින් පසු ඛග්ගවිසාණ සූත්‍ර විස්තර සඳහා ඉඩ ලැබී ඇත. එහි ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං’ යන (ගාථාවෙහි) අතිරේක වචන පමණක්ම විස්තර කරන්නෙමි. සබ්බෙසු වෙන්කර දැක්වීමක් නැතිව, භූතෙසු හැම ජීවීන් කෙරෙහි, මෙහි භූතෙසු යන වචනයෙහි (යෙදෙන අයුරු) කිසියම් දෙයක් සිදුවූ විට, ඇති වූ විට, මෙසේ වූ විට, පචිති ඇවැත් වේ ‘භූතස්මිං පාචිත්තියං’ (විනයෙහි) යෙදී ඇත. ‘සාරිපුත්ත, මෙය ඇති තතු පරිද්දෙන් සළකා බලව’ ‘භූතමිදන්ති සාරිපුත්ත, සමනුපස්සී’ යනුවෙන් ඛන්‍ධ පංචකය හෙවත් සිරුර පිළිබඳවද, ‘මහණ, සතරාකාර වූ මහාභූත හේතුකොට ගෙන, ‘චත්තාරො ඛො භික්ඛු මහාභූතා හෙතු’ මේ තැන්වල පඨවි ආදී සතරාකාර ධාතු කොටස් සඳහාද, යමෙක් (ජීවිත) කාලය නසා ඇත්ද ‘යො ච කාලඝසො භූතො’ මෙබඳු තැන කෙලෙස් නසන ලද අරුතින්ද, ‘ලොව හටගත් සියල්ලම හැර දමති’ ‘සබ්බෙව නික්ඛිපිස්සන්ති භුතා ලොකෙ සමුස්සයං’ යන තැන සියළු සතුන් (ජීවීන්) අරුතෙහිද ‘භූතගාම පාතව්‍යතාය’ යන තැන ගස් ආදියටද, හටගත් ජීවීන් ඒ ඒ පරිදි හඳුනාගනිති’ ‘භූතං භූතතො පජානාති’ මේ ආදී තන්හි චාතුම්මහාරාජික දෙව්ලොවෙන් පහළ සජිවීන්, සජීවී සිරුරු ඇත්තවුන් දැක්වීමට යෙදේ. පොදුවේ මෙහි පොළව, ගිරිකුළු ආදියෙහි වෙසෙන - හටගත් ජීවීන් භූත යන්නෙන් දතයුතුය. ඒ ජීවීන් අතර, නිධාය බැහැර කොට.
දණ්ඩං කය, වචන, සිතින් කරන වැරදි දේ, කයෙහි දුසිරිත් ආදියට සමාන වචනයකි. කයෙහි ආදී දුසිරිත් නිසා ලබන දුක්ගැහැටවලින් වන විපාක දඬුවමක් මෙන් සළකා, දණ්ඩ යැයි දැක්වේ. වචනයෙන් හා සිතෙන් දුසිරිතට යොමුවීමද මෙසේම දතයුතුය. පහරදීමද මෙහිලා ගැනේ. එයද බැහැර කිරීම ගැනද කියන ලදී. අවිහෙඨයං හිංසා නොකරන බවයි. අඤ්ඤතරංපි කිසියම් තැනැත්තෙක්, තෙසං ඒ සියළු දෙනාට න පුත්තමිච්ඡෙය්‍ය තමන්ට දාව උපන් පුතු, කැත් කුල කතකගෙන් උපන් පුතු, හදාවඩා ගත් පුතකු, අතවැසි යන සිවුආකාර වූ පුතුන් අතර, කිසිම පුතකුට කැමති නොවන්නේය. කුතො සහායං (එසේ නම්) තවත් කෙනෙක් සහායකයෙකු ලෙස කෙසේ කැමති වෙත්ද?
එකො එකම දෙය පැවිදිවීම යයි කියන ලද පරිදි, තවත් කෙනෙකු - දෙවැන්නෙකු නොමැති වීමෙන්, තනිවම තණ්හාව නැති කිරිමෙන් තනිවම පසේ බුදු බවට අවබෝධය ලැබීමෙන්, පැවිදි වූවන් දහසක් මැද වුවද පවන්නා වූ ගිහියන් හා ගිහි ජීවිතයට අදාල බැඳීම් සිඳ බිඳ දමන ලද බැවින්ද එකො යැයි අදහස් වේ. එයින් පැවිදිව තනිවම සිටින බව දැක්වේ. තනිවම යයි. තනිවම හිඳී. තනිවම නිදාගනී. තනිවම ඉරියව් පවත්වයි. මේ අනුව දෙවැන්නෙකු නොමැති බැවින් එකො යනුවෙන් දැක්වේ.
තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තා මේ ආකාර වූ මිනිසත් බව හෝ වෙනත් ආකාර උපත් ලබමින්, දිගු කලක් සසර සැරිසරමින් සසර ගමන නොඉක්මවයි. තණ්හාව දුකට හේතුවන බැවින් එහි විපාක දැන, කිසිම දෙයක නොඇලෙමින්, තණ්හාව දුරුකරන, සිහියෙන් යුතු වූ පැවිද්දා සසර ද දුරුකරයි.’
තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං,
ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාති වත්තති
එතමාදීනවං ඤත්‍වා තණ්හං දුක්ඛස්ස සම්භවං,
වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ
තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙමේ දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්ම භාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
අතීතාදී ස්කන්ධයන්හි මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණයයි දැන පහ වූ තෘෂ්ණා ඇති ආදාන රහිත වූ මහත් සිහියෙන් යුතුව රහතන් වහන්සේ හැසිරෙන්නාහ.
මෙසේ තණ්හාව දුරුකරන අරුතින් එකො නම් වේ. මුලින්ම කපා දමන ලද තල්ගසක් නැවත හටනොගන්නාක් මෙන් සියළු කෙලෙස් සිඳ දමන ලදැයි ‘සබ්බකිලෙසස්ස පහීනා, උච්ඡින්නමූලා, තාලාවත්‍ථූකතා, ආයතිං අනුප්පාද ධම්මා’ මෙසේ නිසැකවම කෙලෙසුන් දුරුකළ බැවින් ‘එකො’ වේ. ගුරුවරයකු නොමැතිව, තමාම තම දැනුම මෙහෙයා නුවණින් පසේබුදු බව අවබෝධ කරන ලද බැවින්ද ‘එකො’ යනුවෙන් ගැනේ.
චරෙ මෙම අටවැදෑරුම් හැසිරීමයි. ඒ කෙසේද? කෙලෙස් දුරුකොට, බලාපොරොත්තු අරමුණ ඉටුකර ගැනීමේ සිවුආකාර වූ ඉරියවු පැවැත්වීම නම් වූ ඉරියාපථ චරියාව, තම ඉඳුරන් නැමති දොරටු වසා සංවර කරගැනීම නම් වූ ආයතන චරියාව, හැමවිටම, නොපමාව, කය පිළිබඳව මෙනෙහි කිරීම ආදී සිවු වැදෑරුම්ව සිහිය පිහිටුවා ගැනීම නම් වූ සති චරියාව, පවත්නා සිත අබිබවා යන සිවුදැහැන් ලබා එකඟ බවට පත්කරන සමාධි චරියාව, බුද්ධි සම්පන්න වූ සිවුසස් පිළිබඳ වූ ඤාණ චරියාව, උතුම් සිවුමගෙහි මනාව පිළිපන් පරිදි වූ මග්ගචරියාව, මහණකමෙහි පල ලැබීම වන සිවුමග පලවලට පත්වීම නම් වූ පත්ති චරියාව, තුන් බුදුවරුන්, සියළු සත්වග කෙරෙහි හිතසුව සැලසීම නම් වූ ලොකත්‍ථ චරියාවයි. එහි කොටස් ලෙසින් පසේබුදු සව්වනටද අදාල වේ. ඒ අනුව ‘අට වැදෑරුම් හැසිරීම ගැන කියන ලදී. එය ඉරියාපථ චරියා - ඉරියව් හැසිරවීම ආදී ලෙස විස්තර වෙයි. ‘එබඳු හැසිරීම්වලින් යුතු වන්නේය යන අදහසයි. නැතහොත් ඒවා මැනවින් සිත දරා හැසිරෙයි. දැඩි උත්සාහවත්ව හැසිරෙයි. එළඹ සිටි සිහියෙන් යුතුව හැසිරෙයි. නොසැලෙන එකඟතාවෙන් සිත පිහිටුවා හැසිරෙයි. එය මනාව දැන තියුණු නුවණින් හැසිරෙයි. මෙසේ, අනුගමනය කරමින්, ඉඳුරන් මනා සංවර කරගනිමින්, ‘ආයතන චරියාවේ’ හැසිරෙයි. මෙසේ පිළිපදින්නා වූ තැනැත්තාගේ සිත උසස් බවත්, වෙසෙස් බවක් ලැබ ගනී. මෙසේ ‘විසෙස චරියාවේ හැසිරෙයි. වෙනත් ලෙසකින්ද හැසිරීම් අට ගැන කියන ලදී. ඒවායින් යුතු වන්නේ යැයි තේරුමයි. ඛග්ගවිසාණකප්පො යනු කඩුවක් බඳු දිග අඟක් නළලේ ඇති සතෙකි. (කඟවේණාය)
‘කප්ප’ යන වචනය අභිසද්දහන, වොහාර, කාලපඤ්ඤත්ති, ඡෙදන, විකප්ප, ලෙස, සමන්තභාව, සදිස ආදී නොයෙක් තේරුම් ඇත. පින්වත් ගෞතමයන්ගේ අරහත් සම්මා සම්බුදු බව විශ්වාස කටයුතුය. ‘ඔකප්පතියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස’ - මෙහි විශ්වාසය, තහවුරු කරගැනීම යන අරුතින් ‘කප්ප’ යෙදී ඇත. ‘මහණෙනි, පස් ආකාරයකින් සමණ දිවියට කැප වූ ගෙඩි අනුභවය අනුදනිමි’ - අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ මෙහි පාවිච්චිය, පරිහරණය අරුතිනි. ‘නිරතුරුවම කාලයක් යනක වසමි’ ‘යෙන සුදං නිච්චකප්පං විහරාමි’ මෙහි කාලය දැනවීමටයි. ‘ගරු කටයුතු කප්ප හිමි මෙසේ කීය. ‘ඉච්චායස්මා කප්පො’ මේ ආදී තැන (නමින්) පැනවීමක් අදහසයි. කෙස් රැවුල් කපා, අලංකාරවත් කරන ලදී ‘අලංකතො කප්පිත කේසමස්සූ’ මෙහි කැපීම අදහසිනි. ‘දෑඟුලක් තරමට සුදුසුය’ - ‘කප්පති ද්වංගුල කප්පො’ මෙහි කල්පනා අරුතිනි. ‘වැතිර සිටීමට තරම් ඉඩක් ඇත’ ‘කප්පො නිපජ්ජිතුං’ මෙහි ඉතා මදක් (යම්තමින්) යන අරුතිනි. ‘හාත්පස වේළුවන වටපිටාව බබුළුවා’ ‘කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්‍වා’ මෙහි අදාල වටපිටාව අරුතිනි. ‘පින්වත, බුදුරදුන් හෝ සව්වකු සමග සාකච්ඡා කළද සමබවක් නොදනිමු’ ‘සත්‍ථූ කප්පෙන කිර භො සාවකෙන සද්ධිං මන්තයමානා නජානිම්භ’ මෙහි සමාන බවක් යන අරුතිනි. මෙම සූත්‍රයෙහි යෙදුනේ සමාන අරුතින් බව දතයුතුය. කඟවේනකු සමාන යැයි කියන ලදී. මේ එහි වචනයේ අරුත පමණි.