එහි අනිස (අනිච්ච) යනු ඛන්‍ධ පංචකයයි (සිරුරයි) කවර හෙයින්ද? හටගෙන, වෙනස් වෙමින් පැවතීම නම් ජරාවය. එසේ අනිස බවට පත්වී, නැතිවී යන ගතිය හෝ, තිබුණ අයුරෙන් වෙනස්වන බවට පත්වීම ‘යම් දෙයක් අනිස වේද එය දුකය’ යදනිච්චං තං දුක්ඛං’ වදනට අනුව ඒ ඛන්‍ධ පංචකය දුකකි. කවර හෙයින්ද? නිතර යළිත් පීඩාවට පත්වන බැවිනි. නිතර පෙළනු ලබන ආකාරය දුකෙහි හැටිය. ‘යං දුක්ඛං තදනත්තා’ කී පරිදි ඒ බන්‍ධ පංචකය තමාට අයත් නොවේ. කවර හෙයින්ද? වසඟයෙහි (තමාට අවනත පරිදි) නොපවත්නා බැවිනි. වසඟයෙහි නොපවත්නා ආකාරය අනත්ත ලකුණයි. මේ ගති තුනම හටගැනීම-වැනසීම තුළින් දකිත්ම, අරමුණු වෙයි.
නැවතද ඒ යෝගාවචරයා රූප අරූප පිළිබඳව මෙසේ අනිස ලෙසින් මැනවින් දකීද, ඔහුට සංඛාර වහ වහා වැටහෙනු ඇත. එවිට, හටගැනීම හෝ, පිහිටීම හෝ පැවැත්ම හෝ, නිමිත්ත හෝ අරමුණ හෝ නොගෙන, ‘ඒවායේ රඳාපැවැත්ම ඇතිවීමේදීම නැතිවී යමින් වැනසීම පවතී’ යැයි සිහිය පිහිටුවයි. මෙය භංග ඤාණයයි. මෙය උපදවා ගැනීමේ පටන්, මෙම භාවනානුයෝගියා ‘යම්සේ මේ සංඛාර බිඳෙයි, නැතිවෙයි, මෙලෙසම අතීතයෙහිද සංඛාර බවට පත් දේ බිඳුණි, අනාගතයෙහිද බිඳෙන්නේ යැයි නැතිවීමම දකිමින් සිටී. භංගානුපස්සනා නුවණ ඇසුරු කරන, බොහෝකොට වඩනා ඒ යෝගියාට සියළුම භව, ඉපදෙනා තැන් වැනි ජීවී කොටස් පිළිබඳ වූ සංඛාර, ගිනිගෙන දිලිසෙන අඟුරු වලවල් මෙන්, මහත් බය දැනේ. එය භයතුපට්ඨාන ඤාණයයි.
එම භයතුපට්ඨාන නුවණ ඇසුරු කරන ඒ යෝගියාට සියළුම භවයන් දැවෙන ගෙවල් මෙන්ද, (තමා ඉදිරියෙන්) කඩුවක් ඔසවාගෙන සතුරෙකු සිටින්නාක් මෙන්ද කිසි පිළිසරණක් නොමැති බව සළකයි. මෙය ආදීනවානුපස්සනා ඤාණයයි. මෙසේ සංඛාරයන්හි ආදීනව දකිනවිට, භවයන්හිද සංඛාර දැක, සියළු සංඛාර ගැන කලකිරිමෙන් මෙනෙහි කිරීමේදී නොඇලීම උපදී. මෙය නිබ්බිදානුපස්සනා ඤාණ නම් වේ.
සියළු සංඛාරයන්හි කලකිරුණුවිට ඒ සංඛාර බවින් මිදීමට කැමති වෙයි. මෙය මුඤ්චිතුකාමතා ඤාණයි. නැවත ඒ සංඛාරගත බවින් මිදීමට ඒ සංඛාර ගැන නුවණින් තිලකුණු නංවා තීරණය කිරීම පටිසංඛානුපස්සනා ඤාණයයි.
මෙසේ තිලකුණු නංවා සංඛාර පිරික්සීමෙන්, ඒවායෙහි අනාත්ම බව පැහැදිලිව දක්නා ලදින්, තමා හෝ තමාගේම යැයි හෝ නොසළකමින්, සංඛාරවල බියද, ඇල්මද හැරදමා සංඛාර කෙරෙහි මැදහත්ව උදාසීන වෙයි. මා හෝ මගේ හෝ නොගනී. තුන් භවයෙහිම මැදහත්ව සළකයි. මෙය සංඛාරුපෙක්ඛා ඤාණයයි.
එහිදී සාන්ත පදය වූ නිවන සන්සුන්ව දකී. සියළු සංඛාර පැවතුම් හැරදමා, නිවනට නැඹුරු වූ පැත්තෙහි වෙයි. නිවන සන්සුන්ව නොදක්නේ නම්, නැවත නැවතත් අනිස යැයි හෝ, දුකය හෝ අනාත්මයි හෝ තුන් ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් සංඛාර අරමුණෙහිම පවතිනු ඇත. මෙසේ ඒ සියළු දෙයින්ම මිදීමේ හමුවට පැමිණ සිටී. එසේ තුන් ආකාරයට අනුව දැකීම මිදීමේ දොරටු තුනක් සේ කියනු ලැබේ. මෙහිදී අනිස බව මෙනෙහි කරමින් සිතේ තහවුරු බව වැඩිවීමෙන් අනිමිත්ත විමොක්ඛය ලබයි. දුක පිළිබඳව මෙනෙහි කරමින් පැහැදීම බහුලකොට අප්පණිහිත විමොක්ඛය ලබයි. අනාත්ම යැයි මෙනෙහි කරමින් නුවණ බහුලව (වේද බහූලො) සුඤ්ඤත විමොක්ඛය ලැබගනී.