14. පොසාල සූත්‍ර නිර්දේශ වර්ණනාව
දහ හතරවන පොසිල සූත්‍රයයි. යො අතීතං ආදිසති යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු තමන්ගේ ද අනුන්ගේ ද ‘ඉපදී එක් වාරයක්’ ලෙසින් පෙර තතු දක්වත්ද?
එකම්පි ජාතිං එක් පිළිසිඳ ගැනීමකට හෙවත් උපතකට මුල් වූ චුති (සිත) අවසානයෙහි එක් භවයකට අයත් වූ (රූපාදී) සමූහය, ඉපදීම් දෙකක් ආදී ලෙසද මේ ආකාරයෙන් සැළකිය යුතුය. අනෙකෙපි සංවට්ට කප්පෙ මුල පටන් පිරිහී වැනසී යන කල්පය සංවට්ට කප්පයයි. එකල්හි සියළු බඹලෝද නැවතීමක් නැත. නැවත හටගැනීම විවට්ට කපයයි. එකල්හි බඹලොවින් ජීවීන්ගේ පැවැත්ම වේ. වැනසී යාම මූලික වන බැවින්, එසේ සළකන ලදී. ‘මහණෙනි, මේ අනුව අසංඛය වූ කප් සතරකි. ඒ සතර කවරේද? සංවට්ට - සංවට්ඨායී - විවට්ට - විවට්ඨායී ලෙසයි. එවිට මුළු කල්පයම ඇතුලත් වේ. (මෙහිදී) සංවට්ට කප්ප - විවට්ට කප්ප යැයි අඩක් ලෙස ගෙන කියන ලදී. සංවට්ට විවට්ට යැයි මුළු කල්පය සඳහාම කියන ලදී. ඒ ගැන කෙසේ සිහි කරන්නේද? ‘අසවල් තැන විසූයෙමි ආදී ලෙසිනි. අමුත්රාසිං ‘අසවල් වැනසෙන කල්පයෙහි මම අසවල් භවයෙහි හෝ අසවල් කෙනෙකු ලෙස හෝ අසවල් (මිනිස් ආදී) ගතියක හෝ, විඤ්ඤාණ පැවැත්මෙහි හෝ, සත්තාවාසයෙහි හෝ කිසියම් ජීවී සමූහයක සිටියෙමි. එවං නාමො තිස්ස හෝ ඵුස්ස හෝ (නමින්) එවං ගොත්තො කච්චායන හෝ කස්සප (ආදී ලෙසට) මෙය ඔහුගේ අතීත භවයෙහි (ජීවිතයෙහි) තමන්ගේ නම්ගොත් සිහිකිරීම් ලෙසින් කියන ලදී. ඒ කාලයෙහි තම පැහැපත් බව හෝ රළු හෝ සැපවත් ජීවිතය හෝ සැපදුක් බහුලතාව හෝ අඩු කලක් හෝ වැඩිකලක් ජීවත්ව සිටියේදැයි සිහිකරනු කැමති නම්, එයද සිහිකරයි. ‘මේ පැහැයෙන් යුතුවීමි. මෙසේ ආයුකාලය කෙළවර වී යැයි’ එහෙයින් කීය. එහි එවං වණ්ණෙ සුදු පැහැ හෝ තළෙළු හෝ එවමාහාරො ඇල් හාලේ බත් හා රසමසවුළු ආහාර හෝ (තමා අසලට) වැටුණු පලවැල හෝ එවං සුඛදුක්ඛ පටිසංවෙදී නොයෙක් ආකාර වූ කායික මානසික, වාසි අවාසිදායක දේවල් හෝ දුක් සැප විඳින ලද සැටි, එවමායුපරියන්තො මෙසේ අවුරුදු සියයක් තරම් හෝ, කල්ප අසූහාර දහසක කාලයක් (අතරතුර) ජීවත් වූ අයුරු.
සොතතො චුතො අමුත්ර උදපාදි ඒ මම ඒ භවයෙන්, එබඳු කෙනෙකු ලෙස හෝ ඒ (මිනිස් ආදී) ගතියෙන් හෝ පැවති විඤ්ඤාණයෙන් හෝ සත්තාවාසයෙන්, සිටියා වූ යම් ජීවී සමූහයකින් බඳු යම් තැනකින් චුතව, නැවත මේ නමින් හැඳින්වෙන භවයෙක - යෝනියක - ගතියක - විඤ්ඤාණ පැවැත්මක - සත්තාවාසයක - යම් ජීව සමූහයක (උපත) ලැබීමි. තත්රාපාසිං ඉක්බිතිව එම භවයෙහි, යෝනියෙහි, ගතියෙහි, විඤ්ඤාණ පැවැත්මෙහි, සත්තාවාසයෙහි, ජීව සමූහයක හෝ නැවත සිටියෙමි. මෙබඳු වූ නමකින් ආදී කී පරිදිය.
තවද (ඉහත කී) ‘අමුත්රාසාං’ යනුවෙන් මෙය තවදුරටත් දැන් සිටින ජීවිතය දක්වා අනුපිළිවෙලින් සිහිකිරීමයි. ‘සො තතො චුතො’ යනු ආපසු නැවතී සිහිනුවණින් බැලීමයි. එහෙයින් ‘ඉධූපපන්නො’ යනු මෙසේ සිහිකරන (ඒ ඒ උපන් තැන් අතරතුර (ලද) නම්ගොත් සිහිකිරීම ගැන කියන ලදී. යො තතො චුතො ඉධූපපන්නො ඒ මම එබඳු නොයෙක් ලෙසින් උපත ලද තැන්වලින් චුතව, මෙහි (දැන්) අසවල් නමින් කැත්කුල පවුලක හෝ බමුණු පවුලක උපත ලදිමි.
ඉති මෙසේ, සාකාරං සඋද්දෙසං නම්ගොත් ලෙසින් සවිස්තරව, පැහැය ආදී ආකාරයට අනුවය. නම්ගොත් ලෙස තිස්ස, කස්සප යැයි දක්වනු ලැබේ. පැහැය ආදියෙන් තලෙළු, සුදු සේ වෙනසක් පෙනී යයි. එහෙයින් නම්ගොත් විස්තර කෙරේ. අනෙක් කරුණ නම් ඒ ඒ ආකාරයයි. පුබ්බෙනිවාසං පෙර භවවල උපත ලද අයුරු, එහි සොබාවය, එහි විසූ ආකාරය, ඊට යොමුව සිටි ආකාරය, විඳින ලද දේ, තම සිත් පරම්පරාව ඉපිද නැති වූ අයුරු, සුදුසු පරිදි වාසය කළ අයුරු තම වැටහීමෙන් දැන, වෙනත් තැනැත්තන්ගේ වැටහීම් පිළිබඳවද වෙන්ව දැන (සසර) මග නසන ලද බව සිහිකරන කල්හී ඔව්හු අවබෝධය ලබති. ඒ පෙර විසූ අයුරු ආදී ලෙසින් පහදයි. පවසයි. පරෙසං අතීතං අනෙක් තැනැත්තන්ගේ, පෙර විසූ තැන් ‘එක් උපතක්’ ආදී ලෙසින් පහදා දෙයි.
මහාපදානිය සුත්තං උසස් තැනැත්තන්ගේ හෙවත් බුදුවරුන්ගේ චරිතය දැක්වෙයි. මහා සුදස්සනීයං මහා සුදස්සන (රජුගේ) උසස් සම්පත් ගැන දැක්වෙයි. මහා ගොවින්දියං මහා ගෝවින්ද බමුණාගේ චරිතය ගැන සඳහන් වෙයි. මඝදෙවියං මඝදේව රජුගේ චරිතය දැක්වෙන මඝදේව සූත්‍රයයි. සතානුසාරී ඤාණං හොති පෙර විසූ තැන්, උපත ලද තැන් සිහිකරන නුවණයි.