11. ජතුකණ්ණි සූත්ර නිර්දේශ වර්ණනාව
එකොළොස්වන ජතුකණ්ණි සූත්රයයි. සුත්වානහං වීර අකාමකාමී ඒ භාග්යවතුන් වහන්සේ වීරවත් වූ, කාමයන් නොකැමති, කාමයන් අත්හළ මේ මේ ගුණයෙන් යුතු (උතුමකු) බව අසා මම, අකාමමාගමං කාම රහිත වූ භාග්යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජානෙත්තා නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්රෑහිමෙ නැවත කියා දෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම්, (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද?
මේ මේ කරුණින් ඒ භාග්යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (සමන්විත යැයි) මේ පදවල අරුත මතු විස්තර කරනු ඇත. විජ්ජා හා චරණ ගුණවලින් යුතු හෙයින් විජ්ජාචරණ සම්පන්නො, එහි විජ්ජා යනු තුන් ආකාරයෙන් සහ අට ආකාරයෙනි. විජ්ජා නුවණ පිළිබඳව භයභෙරව සූත්රයෙහි සඳහන් අයුරු දතයුතුය. අම්බට්ඨ සූත්රයෙහි විජ්ජා නුවණ අට දැක්වේ. එහි විදසුන් නුවණ සමග, මනෝමය ඉඳු බලයද අභිඤ්ඤා සයද ඇතුලත්කොට විජ්ජා අට ගැන කියන ලදී. චරණං සීල සංවරය, ඉඳුරන් දොරටු වසා රැකගැනීම හෙවත් සංවර වූ ඉඳුරන් ඇති බව පමණ දැන ආහාර ගැනීම, සිහි නුවණ පෙරදැරිව නොනිදා සිටීම, යථාවබෝධයෙහි කරුණු හතකින් (බොජ්ඣංග) රූපාවචර දැහැන් හතරින් යන මෙම යහපත් කරුණු පහළොව දතයුතුය. මෙම පසළොස් චරණ දහම්හි අරිය සාවකයා සමන්විත වන්නේ නම්, (දරා සිටින්නේ නම්) අමත නම් වූ දෙසට (හෙවත් නිවනට) යයි. එහෙයින් චරණ යැයි කියන ලදී. ‘මහානාම, අරිය සාවකයා යම් ලෙසකින් මෙම සසුනෙහි සිල්වත් වේදැ’යි (වදාරා ඇති පරිදි) ඒ සියළු කරුණු මජ්ඣිම පණ්ණාසකයෙහි කියා ඇති පරිදි දතයුතුය. භාග්යවතුන් වහන්සේ මේ විදු (නැණින් ද) මේ චරණ ගුණවලින් ද යුතු සේක. එහෙයින් විජ්ජාචරණ සම්පන්නො නම් වේ. එහි විදුනැණ සමූහය භාග්යවතුන් වහන්සේ සියල්ල දන්නා බව පැතිර සිටියේය. චරණ ගුණ සමූහය මහා කාරුණික බව පැතිර සිටියේය. උන්වහන්සේ සියල්ල දන්නා නුවණින් සියළු ජීවීන්ගේ නිවැරදි දේ වැරදි දේ දැන, විජ්ජාචරණ ගුණ පරිදි වැරැද්ද හැර දමා නිවැරදි දෙයෙහි යොදවති. එහෙයින් උන්වහන්සේගේ සාවකයෝ මනා පිළිවෙත් මගට පිළිපන්නෝ වෙති. වැරදි පිළිවෙතෙහි නොයෙදෙති. විජ්ජාචරණයෙන් ඈත් වූවන්ගේ සාවකයෝ තමන්ටත් හිරිහැර පමුණුවාගෙන තැවෙති. අනුන්ටත් හිරිහැර පමුණුවති. දෙකොටසටම හිරිහැර පමුණුවා තැවෙති.
සුන්දරව ගමන් කරන බැවින්ද, සොඳුරු තැනකට ගිය බැවින්ද, යහපත් වචන කතා කරන බැවින්ද සුගතො ගමනටද ගතං යැයි කියනු ලැබේ. භාග්යවතුන් වහන්සේගේ ඒ ගමනද සෝභනය, පිරිසිදුය, නිවරදය. ඒ ගිය ගමන කුමක්ද? අරිය මගයි. ඒ සෝභන ගමනින් බිය නැති දෙයකට නොසැලී ගියේ යැයි සුගතො වේ. ඒ ගිය සොඳුරු තැන අමා නිවනයි. සොඳුරු තැනකට ගිය බැවින් සුගතො, ඒ ඒ මගින් මැනවින් ගොස් කෙලෙස් නැතිකොට නැවත, ආපසු හැරුනේ නැත.
සෝවාන් මගින් නැසු කෙලෙස් නැවත හටනොගනී. ඒ කෙලෙස් ආපසු නොඑයි. ආපසු එතැයි බලාපොරොත්තු නොවෙතැයි සුගතො.
මැනවින් ගියේ දීපංකර බුදුරදුන් පාමුල පටන් (විවරණ ලැබ) බෝමැඩ දක්වාම, සමතිසක් පාරමී පිරූ මනා පිළිවෙතින්, සියළු ලෝකයාගේ හිතසුවම කැමතිව, සදාකල් පැවැත්ම-විනාසය-කම්සුව-දැඩිව දුක්වීම යන මේවායෙහි කෙළවරට නොගොස්, මැනවින් ගිය බැවින් සුගතො යහපත්ව කතා කරයි. සුදුසු තැන සුදුසු වචනම කියතැයිද, මැනවින් කතා කරන බැවින් සුගතො වේ.
මේ එහිලා සාධක වන සූත්ර පාඨයකි –
‘තථාගතයන් යම් වචනයක් සිදු නොවූ දෙයක් යයිද මුසාවක් යැයි ද අවැඩ පිණිස වේ යැයිද අනුන්ට එය අකමැති අමනාප වේයැයි දනිත්ද ඒ ඇත්තක් වුවද - වැඩදායක නොවීනම්, අනුන්ට අකමැති අමනාප වේ යැයි දනිත් නම් එයද නොකියයි. යම් වචනයක් සිදුවූ දෙයට අදාල වූත්, ඇත්තක් වූත්, වැඩදායක වේද, අනුන්ට එය අකමැති අමනාප වුවද සුදුසු කල්හි එය පැවසීමට තථාගතයන් දැනගනී. යම් වචනයක් සිදු නොවූ දෙයකට මුසාවක් ලෙස, වැඩදායක නොවූ, අනුන් කැමති මනාප වුවත් තථාගතයන් නොකියයි. යම් වචනයක් සිදු වූ දෙයකට අදාල ඇත්තක් වුවත්, වැඩදායක නොවන්නේ නම්, අනුන් කැමති මනාප වුවත් එයද තථාගතයන් නොකියයි. යම් වචනයක් සිදුවූ දෙයකට අදාල ඇත්තක් වූත්, වැඩදායක වූත්, අනුන්ට කැමති මනාප වේ නම්, සුදුසු කල් දැන එය තථාගතයන් පවසයි. ‘මෙසේ නොකොට වචන කතා කරන බැවින් සුගතො යැයි දතයුතුය.
හැම අයුරින්ම ලෝකය පිළිබඳව දන්නා බැවින් ලොකවිදු ය. ඒ භාග්යවතුන් වහන්සේ ඇති සැටියෙන් ද - හේතු ලෙසින් ද - ඒ හේතු නැතිකිරීම සහ එයට පාදක මග අනුවද මුළු ලෝකයම අවබෝධයෙන්ම දැනගත්හ. මැනවින් දත්හ. විනිවිද දත්හ.