10. කප්ප සූත්ර නිර්දේශ වර්ණනාව
දසවන කප්ප සූත්ර විස්තරයෙහි මජ්ඣෙ සරස්මිං යනු මුල, අවසන් කෙළවර නොපෙනෙන, මැද කොටසක් ලෙස ගැනෙන සංසාරය ගැන කියන ලදී. තිට්ඨිතං සිටිනු ලබන, යථයිදං නාපරං සියා යම්සේ මේ දුක නැවත ඇති නොවන්නේය.
ආගමනං පෙර කෙළවරක සිට මෙහි පැමිණීම (උපත ලැබීම), ගමනං මේ ජීවිතයෙන් පරලොව ගමන, ගමනාගමනං මේ කරුණු දෙක (උපත-විපත සළකා) කියා ඇත. කාලං මරණය, ගති උපදනා භව, භවාභවො භවයෙන් භවය, චුතිච ඒ භවයෙන් චුතවීම, උප්පත්තිච චුතියෙන් පසු උපතද, නිබ්බති ච පහළවීම ද භෙදොච (රූපාදී) සමූහයේ බිඳීමද ජාතිච ඉපදීමද, ජරාච හානි ද, මරණංච ජීවිතය (ජීවිතින්ද්රිය) හැර දැමීමද පුරිමාපි කොටි න පඤ්ඤායති මුල් කෙළවරක් නැත. නොපෙනේ. එසේම අවසන් කෙළවරක්ද නොපෙන්නේ.
එත්තතා ජාතියො ඒ ඉපදීම උතුම් සේ සළකා, වට්ටං වට්ටති සසර පැවැත්ම පවත්වයි. තතො පරං න වත්තති එයින් එහාට නොපවතී. එවං නත්ථි මෙසේ නොමැත. නොපෙනේ ‘හි’ යනු නිපාතයකි. අනමතග්ගොයං මේ සසර කෙළවර නොදැන.
අවිජ්ජානීවරණානං අවිජ්ජාවෙන් ආවරණය කරන ලද, තණ්හා සඤ්ඤොජනානං කාමරාග යැයි කියන ලද තණ්හා බැඳුමෙන් බැඳ ඇති, සන්ධාවතං නැවත නැවත කාමලෝකයෙහි දුවන්නන්ට, සංසරං රූප අරූප ලෝකවල සැරිසරන්නන්ට, දුක්ඛං පච්චනුභූතං කායික මානසික දුක අත්විඳිනා ලද, තිබ්බං බලවත්, බ්යසනං අවැඩදායී වැනසීම, කටසි වඩ්ඪිතා සොහොන වඩනා ලද (මරණින් පසු සුසානයට) අලමෙව සුදුසුය. සබ්බ සංඛාරෙසු කාමාවචරාදී ත්රෛභූමක සංඛාර කෙරෙහි, නිබ්බින්දිතුං කලකිරිමට, විරජ්ජිතුං ආසාව හැර දැමීමට, විමුච්චිතුං මිදීමට, වට්ටං පවත්තිංසති කාමාවචරාදී තුන් භූමියෙහි අනාගතයෙහි සසර පැවැත්ම පවත්නේය. තතො පරං න වත්තිස්සති එයින් එහා අනාගතයෙහි සසර පැවැත්මක් නො පවත්නේ ය. ජාති භයෙ ඉපදීම නිසා ඇතිවන බිය, ජරාවට පත්වීමේ බියද මේ අයුරිනි.
එවිට භාග්යවතුන් වහන්සේ ඒ කරුණ පැහැදිලි කරමින් තවත් ගාථා වදාළහ. දෙවන ගාථාවෙහි අරුත කියා ඇති පරිදිය. තුන්වන ගාථාවෙහි අකිඤ්චනං සතුරුවන කිසිවක් නැති, අනාදානං අල්ලාගැනීම හෙවත් තණ්හාවෙන් ඉවත්වුනු, තණ්හාවෙන් කිසිවක් නොගැනීමෙන් සැනසුණු බව කියන ලදී. අනාපරං මීට සමාන රැකවරණ සහිත වෙනත් තැනක් (දිවයිනක්) නැත. (එය) උසස් යැයි ද කියන ලදී.
සිවුවන ගාථාවෙහි න තෙ මාරස්ස පංගූ ඔව්හු මාරයාගේ පා සෙවනෙහි හැසිරෙන, මාරයා පිරිවරා සිටින සිසුවෝ නොවෙති. (මාර වසගයට පත් වූවෝ නොවෙති.)
මහජනතාව පාපයෙහි යොදවා මරයි යන අදහසින් මාරො අකුසල කටයුතුවල නියුතු බැවින් කණ්හො දෙව්ලෝ සයට නායක බැවින් අධිපති අකුසල කටයුතුවල කෙළවරටම ගිය බැවින් අන්තගූ පාපී ජනතාව මුදා නොහරි යැයි නමුචි සිහිය මැනවින් පවත්වා නොගනිමින් යහපත් කටයුතුවල පමාවන තැනැත්තන්ට නෑදැයෙකු බැවින් පමත්ත බන්ධු, ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේ මෙම සූත්රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනාව අවසන පෙර පරිදි පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
කප්ප සූත්ර වර්ණනාව නිමියේ ය.
11. ජතුකණ්ණි සූත්ර නිර්දේශ වර්ණනාව
එකොළොස්වන ජතුකණ්ණි සූත්රයයි. සුත්වානහං වීර අකාමකාමී ඒ භාග්යවතුන් වහන්සේ වීරවත් වූ, කාමයන් නොකැමති, කාමයන් අත්හළ මේ මේ ගුණයෙන් යුතු (උතුමකු) බව අසා මම, අකාමමාගමං කාම රහිත වූ භාග්යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජානෙත්තා නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්රෑහිමෙ නැවත කියා දෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම්, (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද?
මේ මේ කරුණින් ඒ භාග්යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (සමන්විත යැයි) මේ පදවල අරුත මතු විස්තර කරනු ඇත. විජ්ජා හා චරණ ගුණවලින් යුතු හෙයින් විජ්ජාචරණ සම්පන්නො, එහි විජ්ජා යනු තුන් ආකාරයෙන් සහ අට ආකාරයෙනි. විජ්ජා නුවණ පිළිබඳව භයභෙරව සූත්රයෙහි සඳහන් අයුරු දතයුතුය. අම්බට්ඨ සූත්රයෙහි විජ්ජා නුවණ අට දැක්වේ. එහි විදසුන් නුවණ සමග, මනෝමය ඉඳු බලයද අභිඤ්ඤා සයද ඇතුලත්කොට විජ්ජා අට ගැන කියන ලදී. චරණං සීල සංවරය, ඉඳුරන් දොරටු වසා රැකගැනීම හෙවත් සංවර වූ ඉඳුරන් ඇති බව පමණ දැන ආහාර ගැනීම, සිහි නුවණ පෙරදැරිව නොනිදා සිටීම, යථාවබෝධයෙහි කරුණු හතකින් (බොජ්ඣංග) රූපාවචර දැහැන් හතරින් යන මෙම යහපත් කරුණු පහළොව දතයුතුය. මෙම පසළොස් චරණ දහම්හි අරිය සාවකයා සමන්විත වන්නේ නම්, (දරා සිටින්නේ නම්) අමත නම් වූ දෙසට (හෙවත් නිවනට) යයි. එහෙයින් චරණ යැයි කියන ලදී. ‘මහානාම, අරිය සාවකයා යම් ලෙසකින් මෙම සසුනෙහි සිල්වත් වේදැ’යි (වදාරා ඇති පරිදි) ඒ සියළු කරුණු මජ්ඣිම පණ්ණාසකයෙහි කියා ඇති පරිදි දතයුතුය. භාග්යවතුන් වහන්සේ මේ විදු (නැණින් ද) මේ චරණ ගුණවලින් ද යුතු සේක. එහෙයින් විජ්ජාචරණ සම්පන්නො නම් වේ. එහි විදුනැණ සමූහය භාග්යවතුන් වහන්සේ සියල්ල දන්නා බව පැතිර සිටියේය. චරණ ගුණ සමූහය මහා කාරුණික බව පැතිර සිටියේය. උන්වහන්සේ සියල්ල දන්නා නුවණින් සියළු ජීවීන්ගේ නිවැරදි දේ වැරදි දේ දැන, විජ්ජාචරණ ගුණ පරිදි වැරැද්ද හැර දමා නිවැරදි දෙයෙහි යොදවති. එහෙයින් උන්වහන්සේගේ සාවකයෝ මනා පිළිවෙත් මගට පිළිපන්නෝ වෙති. වැරදි පිළිවෙතෙහි නොයෙදෙති. විජ්ජාචරණයෙන් ඈත් වූවන්ගේ සාවකයෝ තමන්ටත් හිරිහැර පමුණුවාගෙන තැවෙති. අනුන්ටත් හිරිහැර පමුණුවති. දෙකොටසටම හිරිහැර පමුණුවා තැවෙති.