9. මාගණ්ඩියසූත්රනිර්දේශ වර්ණනාව
නවවන මාගන්දිය සූත්‍ර නිද්දේසයේ පළමු ගාථාවේ අර්ථ පළමුව දැක්වේ. අජපාල නුගරුක මුලදී නානාවිධ රූප මවාගෙන දැඩි කාමුකව පැමිණි මාර දූවරු වන තණ්හා, අරති, රඟා දැකීමෙන් මෙවුන්දම් සෙවීමෙහි ස්වල්ප වූද කැමැත්තක් වත් ඇති නොවිණි. කිම දැරියගේ මේ මලමුත්රාවලින් පිරි සිරුර දැක කවර කරුණකින් රාගයක් ඇතිවේද? මැය සර්වප්‍රකාරයෙන්ම පයිනුදු කරන්නට නොකැමැත්තෙමි. කෙසේනම් ඇය සමග සංවාස කෙරෙම්දැයි වදාළහ.
මුත්තපුණ්ණං ඍතුවීම් වශයෙන් මුත්රාසය පිරී සිටි මුත්රවලින් යුක්ත වූ. කරීස පුණ්ණං පක්වාශය නම් වූ යටින් නාභියේ සිට පිට කටු මුල අතර වූ අතුණු කෙළවර පිහිටි උසින් අඟල් අටක් පමණ වූ (හුණ බටයක් බඳු වූ) චර්මසින් පිරුණු සෙම්හ පුණ්ණං උදර පටලයේ පිහිටි එක් පාත්‍රයක් පිරෙන තරමේ සෙමින් පිරුණු. රුහිර පුණ්ණං යකනය (අක්මාව) පිහිටි තැන යට කොටස පුරා පාත්‍රයක් පිරෙන තරම්ව, හදවත පපුව යන මේවා මතුයෙහි ටික ටික වැසෙමින් වකුගඩු - හදවත - අක්මා - පපුමස තෙමමින් පවතින සන්නිචිත ලෝධාතුව සහ කෙස්-ලොම්-නිය-දත්හි මස් නැති තැන් හා තද වියලුණු සම හැර සෙසු ධමනිජාල අනුසාරයෙන් සියලු උපාදින්නක ශරීරය පතුරුවා සිටි, සංසරණ ලේ ධාතුව යනුවෙන් දෙවැදෑරුම් ලේ ධාතුවෙන් පිරුණු.
අට්ඨිසංඝාටං මුලු සිරුරෙහි ම යට පසැඟිලි ඇටයේ සිට හිස්කබල දක්වා තුන්සියයකට වැඩි වශයෙන් ඇති ඇටවලින් යුක්ත. නහාරු සම්බන්ධං සිරුරේම ඇට සම්බන්ධ කරමින් සිටි නවසීයක් පමණ නහරවැලින් යුතු. ඒ නහරවලින් සම්බන්ධ වූ වෙළාගත්. රුහිර මංසාලෙපනං සංසරණ ලේ ධාතුවෙන් ද තුන්සීයකට වැඩි ඇට වසාගෙන පිහිටි මාංශපේශි නවසීයකින් යුක්ත වූ ශරීරය. චම්මවිනද්ධං මුලු සිරුරම වෙළාගෙන, පණුවෙකුගේ මෙන් ප්‍රකට වූ, මතුපිට සිවියෙන් යට පිහිටි සම. ඒ සමින් වෙළාගත්, එතුණු ‘චම්මාවනද්ධං’ යන පාඨයද යෙදේ. ඡවියා පටිච්ඡන්නං ඉතා සියුම් සිවියෙන් වැසුණු, වසාගෙන සිටි. ජීද්දාවඡිද්දං නානාප්‍රකාර සිදුරු. උග්ඝරං ඇස් මුව ආදියෙන් ඉතිරෙන පග්ඝරං යටභාගයෙන් වැගිරෙන. කිමිසංඝ නිසෙවිතං සුචිමුබාදී නානාප්‍රකාර පණු සමූහයාගෙන් යුක්ත වූ. නානාකලිමල පරිපූරං අනේකවිධ අශුචි කොටස්වලින් පිරුණු.
ඉක්බිති මාගන්දිය බමුණා ‘පැවිද්දේ නම් මානුෂීය කාමයන් හැරදමා දිව්‍යමය කාමයන් ප්‍රාර්ථනා කරමින් පැවිදි වෙති. මෙතෙම ස්ත්‍රීරත්නය වැනි දිව්‍යමය කාමයන් ද කැමති නොවේ. මොහුගේ දෘෂ්ටිය කෙසේද?’යි අසනු කැමතිව දෙවන ගාථාව කියන ලදී. එහි එතාදිසං චෙ රතනං යනුවෙන් දිව්‍ය ස්ත්‍රී රත්නය සඳහා කියයි. නාරී තම දුවණිය සඳහා. දිට්ඨිගතං සීලබ්බතානුජීවිතං දෘෂ්ටිය ද සීලව්රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද කියන්න. කීදිසං කෙබඳුද? තමාගේ භවෝත්පත්තිය හෝ කෙබඳුදැ’යි කියන්න.
ඉන් අනතුරුව එන ගාථා දෙක පැණ විසඳුම් න්‍යායෙන් (නයින්) පවත්වන ලද බැවින් ප්‍රකට සම්බන්ධය ඇත්තේමය. ඒ ගාථා දෙකින් පළමු ගාථාවේ සංක්ෂිප්තාර්ථය මෙසේය. මාගන්දිය බමුණ, දෙසැට මිසදිටු දහම් මනාව විමසා බැලූ ඒ මට ‘මෙයම සත්‍යය. සෙස්ස බොරුය’යි පැවසීමට සුදුසු. දැඩිව ගතයුතු එකදු දෘෂ්ටියක් නැත. විද්‍යමාන නොවේ. කවර හෙයින්ද? මම වනාහි දෘෂ්ඨින්හි ආදීනව දක්නෙම්, කිසිදු දෘෂ්ටියක් දැඩිව නොගෙන චතුරාර්ය සත්‍යය සොයනුයෙම්, අධ්‍යාත්මයේ වූ රාගාදී කෙලෙස් සන්සිඳුවන හෙයින් ‘අජ්ඣත්ත සන්ති’ නම් වූ නිවන ම දුටුවෙමි.
ආදීනවං යනු උපද්‍රව. සබ්බදුක්ඛං කායික දුකින් ඇතිවන සියලු දුක්. සවිඝාතං චෛතසික දුකින්. සඋපායාසං දැඩි ආයාස සහිත සපරිලාහං පරිදාහ සහිත ය. න නිබ්බිදාය සංසාර නම් වර්තයෙහි නොපැවැත්ම, නිර්වේදය පිණිස නොවේ. න විරාගාය සංසාර වර්තයෙහි විරාගය පිණිස නොවේ. න නිරොධාය සංසාර වර්තයෙහි නිරෝධය පිණිස නොවේ. න උපසමාය සසර වර්තයේ ඇතිවන කෙලෙස් සන්සිඳවීම සඳහා නොවේ. න අභිඤ්ඤාය සංසාර වර්තයේ නැවැත්ම අභිජානනය සඳහා නොවෙයි. න සම්බොධාය කෙලෙස් නිද්‍රාවට පත්වීමෙන් සංසාර වර්තයෙන් (මිදීමට) මනා අවබෝධය පිණිස නොවේ. න නිබ්බාණාය අමෘත මහා නිර්වාණය පිණිස නොවේ. මෙහිදී ‘න නිබ්බිදාය’ යනු විදර්ශනාවයි. විරාගාය මාර්ගයයි. නිරොධාය උපසමාය යනු නිවනයි. ‘අභිඤ්ඤාය සම්බොධාය’ යනු මාර්ගයයි. නිබ්බාණාය’ යනු නිවනමය. මෙසේ එකම තැනකදී (වදනකින්) විදර්ශනාව, ත්‍රිවිධ මාර්ගය, ත්‍රිවිධ නිර්වාණය කියන ලදී යයි මෙසේ ව්‍යවස්ථා කථාව දතයුතුයි. පර්යාය වශයෙන් මේ සියලුම වදන් මාර්ගයට ද නිවනට ද යෙදු සමාන වචන වේ.
අජ්ඣත්තං රාගස්ස සන්තිං අධ්‍යාත්මයේ රාගය ශාන්ත වූ නිවුණු බැවින් ‘අජ්ඣත්ත සන්ති’ නම් වූ නිවනම බැලීය. දොසස්ස සන්ති යනාදියෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථ දතයුතුයි. පවිචිනන්තො නිද්දේසයේ උදෙසන පදයයි. වීචිනන්තො සත්‍යයන් සොයමින් විභා වෙන්තො පවිචිනන්තො ඒ සත්‍යයන් වෙන වෙනම දක්වමින් ඇතැමෙක් ගවේෂණය කරමින් යැයි වර්ණනා කරති. අද්දසං බැලුවෙමි. අද්දක්ඛිං විනිවිද දුටුවෙමි. අඵස්සිං ප්‍රඥාවෙන් දුටුවෙමි. පටිවිජ්ඣිං ඤාණයෙන් ප්රත්යක්ෂ කළෙමි.