10. පුරාභෙදසූත්‍රනිර්දේශ වර්ණනාව
දසවන පුරාභේද සූත්‍ර නිද්දේසයේ ‘කථංදස්සී’ යන ගාථාවයි. මේ සූත්‍රයේත් ඉන්පසුව එන කලහවිවාද, චූලවියූහ, මහා වියූහ, තුවටක, අත්තදණ්ඩ සූත්‍රයන්ගේ සම්මා පරිබ්බාජනීය සූත්‍ර වර්ණනාවේ කියූ ක්‍රමයෙන්ම සාමාන්‍යයෙන් උත්පත්තිය දතයුතුයි. විශේෂයෙන් වනාහි යම්සේ ඒ මහා සමාගමයේදී රාග චරිතවත් දෙවියන්ගේ සත්පාය වශයෙන් (දෙවියන්ට ගැලපෙන පරිදි) ධර්මය දෙසීමට නිර්මිත බුදුරදුන් විසින් තමාගෙන් ප්‍රශ්න කරවා, සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කළ සේක්ද මෙසේ මේ මහා සමාගමයේදී ‘පූර්ව ශරීරය බිඳීයෑමෙන් කුමක් කළයුතුද?’ යැයි උපන් දෙවියන්ගේ සිත දැන, ඔවුන්ට අනුග්‍රහ පිණිස එක්දහස් දෙසිය පනසක් වූ භික්‍ෂු සමූහයා පිරිවරාගත් නිර්මිත බුදුවරයෙකු අහසින් වඩමවා ගෙනවුත්, උන්වහන්සේ ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවා මේ සූත්‍රය දේශනා කළ සේක.
කෙසේද? බුදුවරු නම් මේ සත්ත්වයන්ට වඩා මහත් වූ සත්ත්ව විශේෂයකි. තමන්වහන්සේම දෙවියන් සහිත ලෝකයේ දුටු, ඇසූ, විඳි, දැනගත්, පැමිණි, පර්යේෂිත අනුව හැසිරුණු මනසින් කිසියම් නීලාදී වශයෙන් බෙදූ රූපාරම්මණයන්හි එන රූපාරම්මණයක් හෝ බෙර ශබ්ද ආදී වශයෙන් බෙදු ශබ්දාරම්මණාදීන්හි ශබ්දාරම්මණයක් හෝ යන මේවා අතරින් උන්වහන්සේලාගේ ඤාණයට නොවැටහී සිටින්නක් නම් නැත. එනිසා කියන ලදී. ‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයේ දෙව්මිනිස් ප්‍රජාවගේ දුටු, ඇසූ, විඳි, දැනගත්, පැමිණි, පර්යේෂිත (සෙවූ), අනුව හැසිරුණු යමක් වීද මනසින් ඒ සියල්ල මම දැනගතිමි. මම ඒ සියල්ල අවබෝධ කළෙමි’ යනුයි. මෙසේ සැමතැන්හිම අප්‍රතිහත ඤාණයෙන් භාග්‍යවතුන් වහන්සේ සියලුම ඒ දේව සමූහයා භබ්බ හා අභබ්බ වශයෙන් දෙකොටසකට බෙදූහ. කර්මාවරණයෙන් හෝ යුක්ත වූයේයැයි ආදී ක්‍රමයෙන් දක්වන ලද සත්ත්වයෝ අභබ්බ නම් වෙති. ඔවුහු එකම විහාරයේ විසූවත් බුදුවරු නොදකිති. ඊට විපරීත වූ වෙනස් වූවෝ භබ්බ නම් වෙති. ඔවුහු ඉතා දුර විසූවත් බුදුන් වෙත පැමිණ දැකගනිති. ඒ දේව සන්නිපාතයේ යම් අභබ්බ දිව්‍ය සමූහයක් වීද, ඔවුන් හැරදමා, භබ්බයන් පමණක් ගෙන ඔවුන්ගෙන් මෙපමණ රාග චරිතයෝ ය. මෙපමණක් ද්වේෂ චරිතයෝ යැයි චරිත වශයෙන් සය කොටසකට බෙදූහ. ඉන්පසුව බුදුහු ඔවුන්ට ගැලපෙන ධර්ම දේශනාවක් විමසා බලන සේක්, රාග චරිත දෙවියන්ට සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කරන්නෙමි. ද්වේෂ චරිතයන්ට කලහවිවාද සූත්‍රය ද මෝහ චරිතයට මහාවියූහ සූත්‍රය ද විතර්ක චරිතයන්ට චුල්ලවියූහ සූත්‍රයද සද්ධා චරිතයන්ට තුවටක ප්‍රතිපදාවද බුද්ධ චරිතයන්ට පුරාභේද සූත්‍රය ද කියන්නෙමියි දේශනාව ව්‍යවස්ථාපනය කර, නැවත ඒ පිරිස් සිහිපත් කළ සේක. ඒ දෙවිවරු කෙසේ නම් දේශනාව දැන ගන්නෝද? අත්තජ්ඣාසය වශයෙන් ද? පරජ්ඣාසය වශයෙන්ද? අත්‍ථුප්පත්තික වශයෙන් ද? පුච්ඡාවසික වශයෙන්ද? මෙසේ විමසා බැලූ විට පුච්ඡාවසිත වශයෙන් දෙවිවරුන් දහම් අවබෝධ කරගන්නා බව දැන, ‘මේ භික්‍ෂු පිරිස අතර දෙවියන්ගේ අදහස ගෙන චරිත වශයෙන් ප්‍රශ්න විසඳීමට සමත් කිසි භික්‍ෂුවක් වේද?යි විමසා පන්සීයක් භික්‍ෂූන් අතුරින් එබඳු සමත් වූ එකදු භික්‍ෂුවක්වත් නුදුටුවහ. ඉන්පසු අසූමහා ශ්‍රාවකයන් ද දෑගසවුවන් ද විමසා බලා, ඔවුන් ද අසමත් බව දැක මෙසේ සිතූහ. ‘ඉදින් පසේ බුදුවරයෙක් වීනම් උන්වහන්සේට හැකියාවක් වේදැ’යි විමසා බැලූ සේක්, උන්වහන්සේ ද අසමත් වන බව දැන ශක්‍ර සුයාම ආදීන් අතුරින් කවරෙකු සමත් වන්නේදැයි විමසනුයේ, ඔවුන්ගෙන් කිසිවෙක් සමත් වන්නේ නම් ඉදීන් ඔහු ලවා ප්‍රශ්න කරවා තමන් වහන්සේ විසඳන්නේ යැයි විමසා බැලූවත් ඔවුන්ටද නොහැකි බව වටහාගත් සේක. ඉක්බිති උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘මා වැනි බුදුවරයෙක්ම ඊට සමත් වන්නේය. වෙනත් කිසියම් බුදුවරයෙක් ඇත්ද?’යි අනන්තාපරිමාණ ලෝකධාතූන්හි අනන්ත වූ ඤාණය පතුරුවා ලෝකය දෙස බලන සේක් එවැනි අන් බුදු කෙනෙකු නොදුටු සේක. දැන් තමා හා සම කෙනෙක් නොදැකීම යන මෙය අසිරිමත් දෙයක් නොවේ. සිදුහත් කුමරු උපන් දවසෙහි ද බ්‍රහ්මජාල වර්ණනාවේ පැවසූ පරිදිම තමා හා සමවූවෙකු නොදක්නේ ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ යනුවෙන් නොපෙරලිය හැකි සිංහනාද පැවැත්වූයේ නොවේද? මෙසේ තමන්වහන්සේට සමාන අන් කිසිවකු නොදැක, ‘ඉදින් මම ම ප්‍රශ්න අසා මම ම විසඳන්නෙම් නම්, එවිට ඒ දෙවිවරු අර්ථාවබෝධයට අසමත් වෙති’ ‘මා වැනි අනික් බුදු කෙනෙකුන්ම ප්‍රශ්න අසන කල්හි මවිසින් විසඳන විට ඉන් ආශ්චර්යයක්ද වන්නේය. දෙවිවරු පහසුවෙන් ධර්මාවබෝධය ලබන්නට හැකිවන්නෝය. එනිසා නිර්මිත බුදුරුවක් මවන්නෙමි’යි අභිඥාපාදක ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට, ‘පාසිවුරු ගැනීම, ඉදිරි බැලීම්, පසුපස බැලීම්, අත්පා හැකිලීම, දිගහැරීම සමානවම සිදුකරන බුදුවරයෙක් වේවායි කාමාවචර සිත්වලින් පරිකර්මකොට, පෙරදිග යුගන්ධර පරික්‍ෂේපයෙන් මතුවන සඳමඬල පලාගෙන නික්මෙන්නා මෙන් ඒවායි රූපාවචර සිතින් අධිෂ්ඨාන කළ සේක. දේව සමූහයා ඒ දැක අනික් සඳක් උදාවූයේදැයි කීහ. ඉන්පසු සඳින් නැගි මඳක් ළංවූ විට ‘සඳක් නොවේ. සූර්යයෙක් උදාවූයේය’යිද තවත් ආසන්න වූ කල්හි ‘දෙව් පුත්‍රයෙක් නොවේ. එක් මහා බ්‍රහ්මයෙක් යැ’යි ද තවත් ආසන්න වූ කල්හි ‘මහා බ්‍රහ්මයකු නොවේ. වෙනත් බුදුවරයෙක් පැමිණේ’ යැයි පැවසූහ.
එහි සිටි පුහුදුන් දෙවිවරු මෙසේ සිතූහ. ‘එක් බුදුවරයෙකු සඳහා මෙපමණ දේව සන්නිපාතයක් විය. බුදුවරු දෙදෙනෙක් වූ විට කෙතරම් මහත් දේව සන්නිපාතයක් වේද?’ ආර්ය දෙවිවරු මෙසේ සිතූහ. ‘එක ලෝකධාතුවක බුදුවරු දෙනමක් නම් නැත. ඒකාන්තයෙන් බුදුහු තමන්වහන්සේ හා සමාන බුදුරුවක් මවන ලදී’ යනුයි. නැතහොත් නිර්මිත බුදුරුවේ සිරුරින් නික්මුණු ෂඩ්වර්ණ රැස් දහරා නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරේ ගැටේ. නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගෙන් නික්මෙන රැස්දහරා නිර්මිත බුදුරුවේ සිරුරේ ගැටේ. ඒ දෙ බුදුවරුන්ගේ ශරීරයන්ගෙන් නික්මුණු රාශි ජාලා උඩට නැගී භවාග්‍රයේ ගැටී, ඉන් නැවත හැරී අවුත් දෙවියන්ගේ මස්තක පර්යන්තයෙන් බැස සක්වල මුවවිටෙහි පිහිටියේය. මුලු මහත් සක්වල ගැබම රන්මය වක් වූ ගොනැසි සහිත චේතිය ඝරයක් මෙන් බැබලුණේය. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලකට රැස් වූවාහු බුදුවරුන් දෙදෙනා වහන්සේගේ රශ්මි ජාලා ගර්භයට පිවිස සිටියහ. නිර්මිත බුදුරුව හිඳගනිමින්ම කථං දස්සී කථං සීලො උපසන්තොති වුච්චති යනාදී ක්‍රමයෙන් අධිප්‍රඥාදී ප්‍රශ්නය ගාථාවකින් විමසන ලදී.
ඒ ප්‍රශ්නයේ ඒ නිර්මිත බුදුරදුන්ගේ කථං දස්සී අධිප්‍රඥා ආදියයි. කථං සීලො අධිශීලයයි උපසන්තො අධි චිත්තයයි. සෙසු පදයන්හි අර්ථ ප්‍රකටය.
නිර්මිත බුදුරදුන් ප්‍රකට කර දක්වනු සඳහා පෙටකොපදේශයේ මෙසේ දක්වා ඇත.
උපෙති ධම්මං පරිපුච්ඡමානො කුසලං අත්‍ථ සංහිතං,
නච්වති න උප්පජ්ජති තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා
‘කුසල වූ අර්ථ සහිත වූ ධර්මානුකූල ප්‍රඥාවන්ත ප්‍රශ්න විමසීමට පැමිණෙන, චුත නොවන, (නොමැරෙන) නූපදින ඒ උතුම් පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.’
සංසාරො ඛීණො න ච වන්තරාගො, න චාපි සෙඛො නච දිට්ඨධම්මො,
ඛීණාසවො නාන්තිමදෙහධාරී, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා
සංසාරය ක්‍ෂය කරන ලදී. රාගය වමාරා දැමූයේ නොවේ. සේඛයෙක් ද නොවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙකු ද නොවේ. නමුත් ඔහු ක්‍ෂීණාස්‍රවයෙක් හා අන්තිම දේහය දරන්නෙක් වේ. ඒ පුද්ගලයා කවරකුදැයි බුදුවරු පවසති.
න දුක්ඛසච්චෙන සමංගිභූතො, න මග්ග සච්චෙ කුතො නිරොධො,
සමුදය සච්චතො සවිදූරෙ දූරෙ, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා
දුක්ඛ සත්‍යයෙන් යුක්ත නොවේ. මාර්ග සත්‍යය ද නැත. නිරෝධයක් ඔහුට කොයින්ද? හෙතෙම සමුදය සත්‍යයෙන් ද ඉතා දුරටම දුරුවූයේය. මේ පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.
සහෙතුකො තො පි ච රූප නිස්සිතො, සප්පච්චයො නොපි ච සො අසංඛතො,
අසංඛතාරම්මණො නොච රූපී, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා
සහේතුකයෙක් ද රූප නිශ්‍රිතයෙක් ද නොවේ. ප්‍රත්‍ය සහිත වූවෙක්ද අසංඛත වූවෙක් ද නොවේ. අසංඛතාරම්මණයක් මෙන්ම රූපාරම්මණයක්ද ඔහුට නැත. මේ පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.
මෙහි පළමු ගාථාව නියමිත බුදුවරු සඳහා කියන ලදී. දෙවන ගාථාව පශ්චිම භවික බෝධිසත්ත්වයන් සඳහාය. තෙවන ගාථාව අර්හත් ඵලස්ථ පුද්ගලයා සඳහා කියන ලදී. සිවුවන ගාථාව අරූපාවචර නිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන පුරේචාරිකාර්ථයෙන් චිත්තයෙන් යුක්ත වූවහු සඳහා කියන ලදැයි දතයුතුයි. කීදිසෙන දස්සනෙන කවරාකාර දර්ශනයකින් කිං සණ්ඨිතෙන කවර ගැලපීමකින් කිං පකාරෙන කවර විධියකින් කිං පටිභාගෙන කවර ආකාරයකින්.