5. පරමට්ඨකසූත්‍රනිර්දේශ වර්ණනාව
පස්වන පරමට්ඨක සූත්‍රයේ පරමන්ති දිට්ඨිසු පරිබ්බසානො, ‘මෙය උතුම්’යැයි ගෙන තම තම දෘෂ්ටියෙහි ඇතුලත්ව වසනුයේ. යදුත්තරිං කුරුතෙ යම්බඳු තම ශාස්තෲa ආදිය උතුම් යැයි කියයි. හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහාති ඒ තම ශාස්තෲවරයා හැර, ‘ඉන් අන්‍ය වූ සියලු දෙන හීනයෝයැ’යි කියයි. තස්මා විවාදානි අවීතිවත්තො ඒ කාරණයෙන්, ඒ හේතුවෙන් හෙතෙම දෘෂ්ටි කලහයන් නො ඉක්මවා සිටියි.
වසන්ති පළමුවෙන් උපන් දෘෂ්ටි වශයෙන් ගෙන වාසය කරති. සංවසන්ති ඊට පිවිස වෙසෙති. ආවසන්ති විශේෂයෙන් වෙසෙති. පරිවසන්ති සියලු ආකාරයෙන් වෙසෙති. එය උපමාවකින් පෙන්වාදෙනුයේ යථා අගාරිකා වා යනාදිය කියන ලදී. අගාරිකා වා ගිහිගේ වසන්නෝ ඝරෙසු වසන්ති තමාගේ ගෙවල්වල සැක රහිතව වෙසෙත් ද සාපත්තිකා වා ආපත්ති බහුල වූ. සකිලෙසා රාගාදී කෙළෙස් බහුල වූ. උත්තරිං කරොති අතිරේක වූවක් කරයි. අයං සත්‍ථා සබ්බඤ්ඤු මේ අපගේ ශාස්තෲන් වහන්සේ සියල්ල දනියි.
සබ්බෙ පරවාදෙ වික්ඛිපති සියලු අන්‍ය ලබ්ධීන් අත්හැරදමයි. උක්ඛිපති බැහැර කරයි. පරික්ඛිපති ඉවතට හරවා ගත් මුහුණු ඇතිවේ. දිට්ඨි මෙධගානී දෘෂ්ටි වෙහෙසීම්ය.
දෙවන ගාථාවේ අර්ථ මෙසේය. මෙසේ දෘෂ්ටි කලහාදිය නො ඉක්මවූ තැනැත්තා රූපාලම්බනයේ ද ශබ්දාලම්බනයේ ද ශීලව්‍රත දෙක්හි ද ගන්ධ රස ස්පර්ශාලම්බනයෙහි ද යන මේ සිවු වස්තූන්හි උපන් දෘෂ්ටි සංඛ්‍යාත තමා කෙරෙහි පෙර කියූ ආකාරයෙන් අනුසස් දකියි. එසේම ඔහු එහි සක්කාය දෘෂ්ටියේ ආනිසංස ශ්‍රේෂ්ඨයැයි තදින් පිළිගෙන, සියලු අන්‍ය ශාස්තෲවරුන් නිහීන යැයි දකියි.
ද්වෙ ආනිසංසෙ පස්සති ගුණ දෙකක් බලයි. දිට්ඨධම්මිකං ච ඇස්පනාපිට, ප්‍රත්‍යක්‍ෂයෙන් ආත්මභාවයෙහි විපාක දෙන ගුණය ද සම්පරායිකං ච පරලොව දී ලැබිය යුතු ගුණය ද යං දිට්ඨිකො සත්‍ථා යම් ලබ්ධික ශාස්තෲවරයෙක්, තීර්ථායතන ප්‍රධානියෙක් අලං නාගත්තාය වා ඇස්පනාපිට, ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි විපාක දෙන නාග බවට හෝ ඊට කුඩා බවට පත්කරන. සුපණ්ණත්තා ආදියෙහි ද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. දෙවත්තාය වා සම්මුති දේවාදි බවට. ආයතිඵල පාටිකංබී හොති අනාගතයේ විපාක ඵල ප්‍රාර්ථනා කරයි. දිට්ඨ සුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති චක්ඛු විඤ්ඤාණයෙන් දුටු රූපායතනයේ වශයෙන් ශුද්ධියට හේතු වූ ද තමා ග්‍රහණය කරගත් දෘෂ්ටිය නිසා ආනිසංස දෙකක් ලැබේ. සුතසුද්ධියා දියෙහි ද මේ ක්‍රමයමයි.
තෙවැනි ගාථාවේ අර්ථය මෙසේය. ‘මෙසේ දකින්නා තමාගේ යම් ශාස්තෲවරයෙකු ඇසුරු කරන ලද්දේ, එයින් අන්‍ය වූ වෙනත් ශාස්තෲවරුන් පහත්කර සිතයිද එසේ දැකීම (සිතීම) ද ග්‍රන්ථයක් (බැඳීමක්) ලෙසම දක්‍ෂ වූවෝ කියති. බන්ධනයකැයි ද කියන ලද්දේ වෙයි. එහෙයින්ම භික්‍ෂුව රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්ධ, රස, ස්පර්ශාලම්බනය හෝ ශීලව්‍රත නම් ධර්මාලම්බනයක් හෝ ඇසුරු නොකරන්නේය. සිත තුලට නොගන්නේ යැ’යි කියන ලදී.
කුසලා ස්කන්ධාදිය දැනගැනීමෙහි දක්‍ෂයෝ. ඛන්‍ධ කුසලා රූපාදී පංචස්කන්ධයෙහි දක්‍ෂයෝ. ධාතු, ආයතන, ප්‍රතීත්‍ය සමුත්පාද සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගඵල, නිවනෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථ ගතයුතුයි. එහි මග්ගකුසලා සතර මාර්ගයෙහි ඵල කුසලා සතර ඵලයෙහි නිබ්බාණ කුසලා දෙවැදෑරුම් නිවනෙහි දක්‍ෂයෝ. තෙ කුසලා මේ කියන ලද කරුණුවල දක්‍ෂයෝ. එවං වදන්ති මෙසේ කියති. ගන්‍ථො එසො දකින්නේ ද තමාගේ ශාස්තෲවර ආදිය දැඩිව ඇසුරුකොට ගනිමින් ද අන්‍ය ශාස්තෲවරුන් හීනවද පහත්කර ද දකින්නේ’ යන මෙය ග්‍රන්ථයකැයි ද බන්ධනයකැයි ද කියති. ලග්ගනං එතං මෙසේ කියන ලද පරිදිම, ඇත්දළෙහි එල්බුණු අයෙක් මෙන් යටිකුරුව එල්ලී. බන්‍ධනං එතං කැඩීමට දුෂ්කර අර්ථයෙන්, මාංචු බැඳීමක් වැනි බන්ධනය පළිබොධො එසො සංසාරයෙන් නික්මීමට නො දෙන්නේය යන අරුතින් මෙය පළිබෝධයකි.