3 - 7
යම් කෙනෙක් සියලු මිසදිටු පිළිගැනීම් ආදී දෝෂයන් සෝදාහැර ප්රඥාවෙන් යුක්ත වූ බැවින් ධොනො වේ. ‘තස්ස ධොනස්ස හි -පෙ- අනූපයො සො’ යන ගාථාවෙන් කුමක් කියන ලද ද? ධොන නම් ප්රඥා ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් ධොනයාට, කම්පා කරන ලද සියලු පාපධර්ම ඇති රහතන් වහන්සේට ලොව කිසිතැනෙක්හි ඒ ඒ භවයන්හි සංකල්පනාදී දෘෂ්ටීන් නැත. උන්වහන්සේ ඒ දෘෂ්ටීන්ගේ අභාවයෙන් යුක්ත බැවිනි. යම් ඒ තමා විසින් කළ පව්කම් වසමින් අන්ය තීර්ථකයෝ මායාවෙන් හා මානයෙන් මෙසේ අගතියට (නරකයට) යත් ද එම මායාවත් මානයත් දුරුකළ බැවින් රහතන් වහන්සේ, රාගාදී දෝෂයන්ගෙන් කුමකින් යුත් ද? මෙලොව හෝ පරලොව, නිරයාදී ගති විශේෂයකට කුමකින් යන්නේ ද? අනුපායො සො යනු තණ්හා දිට්ඨි උපායන් දෙක නැති බැවින් අනුපාය නම් වේ.
කිං කාරණා කවර කරුණකින්, ධොනා වුච්චති පඤ්ඤා ධොනා යනු කාරණා කාරණා දන්නා ප්රඥාව යැයි කියයි. තාය පඤ්ඤාය කාය දුච්චරිතං ඒ ඉහතින් කියූ ප්රඥාවෙන්. කයින් පැවති දුසිරිත, කුණු කෙලෙස් ඇතිකරන හැසිරීම හෝ දුච්චරිත නම් වේ. ධුතඤ්ච ධොතඤ්ච කම්පිත කළ බැවින් ද ධෝවනය කළ බැවින් ද සන්ධොතඤ්ච මනාව ධෝවනය කරන ලද බැවින්, නිද්ධොතඤ්ච විශේෂයෙන් මනාව සෝදන ලද. රාගො ධුතො වා යනාදිය සතර මාර්ග වශයෙන් යෙදිය යුතුයි.
සම්මා දිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා වා මාර්ග සම්ප්රයුක්ත වූ සම්මා දිට්ඨියෙන්, මිත්යා දෘෂ්ටිය කම්පිත කරන ලදී. සොළවන ලදී. ධෝවනය කරන ලදී. සම්මා සංකප්ප ආදියෙහි ද මේ ක්රමයම යෙදිය යුතුයි. මෙය කියන ලදී. ‘මහණෙනි, සම්මා දෘෂ්ටියෙන් මිත්යා දෘෂ්ටිය විනාශ කරනු ලබයි’ යන සූත්ර පාඨය විස්තර කළ යුතුයි. සම්මා ඤාණෙන යනු මාර්ග සම්ප්රයුක්ත ඤාණයෙන් හෝ ප්රත්යවේක්ෂණ ඤාණයෙන්. මිච්ඡා ඤාණං විපරීත වූ ඤාණය, අයථා ඤාණය, පාප ක්රියාවන්හි ඇලීම් වශයෙන් පාප ක්රියාවක් කොට ‘මවිසින් හොඳ දෙයක් කරන ලදී’යි සිහි කිරීම් වශයෙන් උපදින මෝහයයි. සම්මා විමුත්තියා මිච්ඡා විමුත්ති සමුච්ඡේද විමුක්තියෙන් විපරීත බවට, අයථා බවට, මිදීමට ගිය සිහි ඇතිව, විමුත්ති සංඥාවෙන් යුතු,
අරහා ඉමෙහි ධොනියෙහි ධම්මෙහි රාගාදී කෙලෙසුන්ගෙන් දුර සිටි බැවින්, රහතන් වහන්සේ, ඉහත කියූ පරිදි කෙලෙස් පිරිසිදු කරන ධර්මයන්ගෙන් යුක්ත වන සේක. ධොනො ප්රඥාවන්ත පුද්ගලයා. එහෙයින් ම ‘සො ධුතරාගො’ යනාදිය කියන ලදී.
මායා වුච්චති වංචනිකා චරියා යනු වංචන ක්රියාවන්, වංචා කිරීම් මොහුට ඇත්තේනුයි වංචනික චරියා නම් වේ. තප්පටිච්ඡාදන හෙතු දුශ්චරිතයන්ගේ අප්රකාශන හේතුව. වසාදමන කාරණය. පාපිකං ඉච්ඡං පණිදහති පවිටු ප්රාර්ථනාවක් පිහිටුවයි. මා මං ජඤ්ඤාති ඉච්ඡතී මවිසින් කළ පවු අන්යයෝ නොදැනගනිත්වායි ප්රාර්ථනා කරයි. සංකප්පෙති විතර්ක උපදවයි. වාචං භාසති දැනගෙනම ප්රඥප්තිය ඉක්මවන, කඩ කරන භික්ෂුව බැරෑරුම් වූවක් කරයි. අපගේ නම් ශික්ෂාපද ඉක්මවීමක් නැතැ’යි උපශාන්ත වූවෙක් මෙන් කියයි. කායෙන පරක්කමති මවිසින් කළ මේ පවුකම, කිසිවෙක් දැන නොගනිත්වා’යි විද්යමාන දෝෂ වසා දමමින් කයින් ඊට පිළියම් යොදයි. ඇස් වහන, මුවහ කරන මායාව මොහුට ඇත්තේනුයි මායාවී වේ. මායාවී පුද්ගලයාගේ ස්වභාවය මායාවිතා වේ. පවක් කර නැවත එය වසා දමමින්, ඇත්ත ඉක්මවා යන ස්වභාවය අච්චයා. කාය වාග් ක්රියාවන්ගෙන් එකක් දක්වා රවටන්නේ නුයි වංචනා. මෙයින් සත්ත්වයන් රවන්නේ නුයි නිකති වේ. මිථ්යා ක්රියා කරත් යන අර්ථයයි. නාහං එවං කරොමි මම මෙසේ නොකරමි යි යනුවෙන් පාපයන්ගේ අවුල් කිරීම නිකිරණා වේ. මම මෙසේ නොකරමි යි බැහැර කිරීම, ප්රතික්ෂේප කිරීම පරිහරණා වේ. කායාදීන්හි සංවර භාවයෙන් පව් වැසීම ගූහනා වේ. හාත්පසින් ම වැසීම පරිගූහනා නම් වේ. අශුචියක් තණකොළවලින් වසන්නාක් මෙන් කාය වාග් ක්රියාවන්ගෙන් පාපය වසන්නේ නුයි ඡාදනා වේ. සර්වප්රකාරයෙන් ම වැසීම පරිච්ඡාදනා. ප්රකට නොකිරීම අනුත්තානිකම්මං. පව්කම් කර නොදක්වන්නේ නුයි අනාවිකම්මං. මනාව වසා දැමීම වොච්ඡාදනා. කරන ලද වසා දැමීම් නිසා නැවත නැවත පව් කිරීම පාප කිරියා. මෙසේ කරනු ලබන, වසා දමන, අනුන් රවටන ලක්ෂණය මායා නම් වේ. අයං වුච්චති මායා. මේ මායාව නම් සිතුවිල්ලෙන් යුතු පුද්ගලයා අළුවලින් වැසී ගිය ගිනි අඟුරක් මෙන් ද, ජලයෙන් වැසීගිය හුලක් මෙන් ද, වස්ත්රවලින් වසා දැමූ ආයුධයක් මෙන් ද දතයුතුයි.
එකවිධෙන මානො යනු වෙන් කිරීමකින්, එක් කොටසකින් එක් අයුරකින් ‘මාන’ නම් වේ. යා චිත්තස්ස උනන්තී යනු යම් සිතේ පවත්නා අතිශයින් හුවා දැක්වීම, උස් කර දැක්වීම මානය වේ යන අදහසයි. මෙහිදී පුද්ගලයා ස්පර්ශ නොකර උපදින මානයම කියන ලදී.
අත්තුක්කංසන මානො යනු තමා උසස් කර දක්වන මානයයි. පරවම්භනමානො යනු අනුන් හෙළා දකින, ලඝුකර සිතන මානයයි. මේ මාන දෙක බොහෝ වශයෙන් ම එසේ පවත්නා ආකාරයෙන්ම කියන ලදී.