3 - 5
මෙසේ රහතන් වහන්සේගේ පිළිවෙත දක්වා දැන් දෘෂ්ටිගතික වූ තීර්ථකයන්ගේ පිළිවෙතද දක්වමින් (පස්වන ගාථාව) වදාළහ. ‘පකප්පිතා සංඛතා’ යනාදී ගාථාවෙහි පකප්පිතා යනු පරිකල්පනය කළ සංඛතා ප්‍රත්‍යයෙන් සකස් කරන ලද. යසස යම්කිසි දෘෂ්ටිගතිකයකුගේ. ධම්මා දෘෂ්ටීහු. පුරක්ඛතා පෙරටුව කරන ලද. සන්ති විද්‍යමාන වෙත්. අවෙවදාතා අපිරිසිදු වූ යදත්තනි පස්සති ආනිසංසං තං නිස්සිතො කුප්ප පටිච්චසත්තිං යනු යමෙකුගේ ඒ දෘෂ්ටි ධර්මයෝ පෙරටු කරගෙන අපිරිසිදුව සිටිත්ද ඔහු මෙපරිද්දෙන්, තමා කෙරෙහි ඒ දෘෂ්ටියේ ප්‍රත්‍ය සංස්කාරාදිය මේ ලෝක වශයෙන් ද ගති විශේෂාදීය පරලෝක වශයෙන් ද යම් ආනිසංසයක් දක්නේද, එහෙයින් ඒ ආනිසංසය ද ඒ කිපීමද ප්‍රතීත්‍ය සමුත්පන්න බව නිසා ද සම්මුති ශාන්ත බව නිසා ද කෝපී බව දැක්වීම සංඛ්‍යාත දෘෂ්ටිය ද ආශ්‍රය කරගත්තේ වේ. ඔහු ඒ දෘෂ්ටියෙන් වෙලීගත් බැවින් තමා හෝ උසස්කර දක්වන්නේය. අනුන් හෝ පහත්කර දක්වන්නේය. ගුණ දෝෂයන්ගෙන් මැඬලන්නේය.
සංඛාතා යනු මූලපදයයි. සංඛතා යනු ප්‍රත්‍යයන් එකතු වී කරන ලද. උපසර්ග යෙදීම් වශයෙන් පදය වැඩිකරන ලදී. අභිසංඛතා ප්‍රත්‍යයන්ගෙන් විශේෂයෙන් සකසන ලද. සණ්ඨාපිතා ප්‍රත්‍ය වශයෙන් ම මනාව තැබූ. අනිච්වා යනු ඇතිව නැතිවන බැවින් පටිච්ච සමුප්පන්නා යනු වස්තු අරමුණක් නිසා උපන් ඛය ධම්මා ක්‍රමයෙන් ක්‍ෂය ස්වභාවයට යන. වයධම්මා පැවතුම් වශයෙන් පිරිහී යන ස්වභාවය. විරාග ධම්මා නොනැවතීම ගමන්කරන ස්වභාවය. නිරෝධ ධම්මා නිරෝධවන (නැතිවන) ස්වභාවය. නූපදින ධර්මයක්ව නිරෝධ වන ස්වභාවය යන අර්ථයයි. දිට්ඨිගතිකස්ස දෙසැටක් මිසදිටු ගෙන සිටි පුද්ගලයාට.
පුරෙක්ඛා මුලින් කළ, තණ්හා ධජො ඔසවා තබන බැවින් තණ්හාව ධජයකි. තණ්හාව නම් කොඩියක් මොහුට ඇත්තේනුයි තණ්හා ධජ වූ, පෙරටු කරගෙන හැසිරෙන බැවින් තණ්හාවම මොහු කේතුවක් කරගත්තේනුයි තණ්හා කෙතු, තණ්හාධිපතෙය්‍ය යනු ඡන්‍දාධිපති වශයෙන්. තණ්හා අධිපතිභාවයට පැමිණියේනුයි තණ්හාධිපතෙය්‍ය නම් වේ. නැතහොත් තණ්හාධිපති බව මොහුට ඇත්තේනුයි තණ්හාධිපතෙය්‍ය වේ. දිට්ඨිධජා ආදියෙහි ද ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. අවොදාතා අපිරිසිදු වූ. සංකිලිට්ඨා තමාම කිලිටි වූ. සංකිලෙසකා පසුතැවිලි වන,
ද්වෙ ආනිසංසෙ පස්සති ගුණ දෙකක් දකියි. දිට්ඨධම්මිකං ච ආනිසංසං මේ ආත්මභාවයේදීම ප්‍රත්‍යක්‍ෂ කරගත් ධර්මය ඇති බව. සම්පරායිකං පරලොවදී පැමිණිය යුතු ආනිසංසද යංදිට්ඨිකො සත්‍ථා හොති ශාස්තෲන් වහන්සේ යම් පිළිගැනීමක් ඇත්තෙක් වේද, තං දිට්ඨිකා සාවකා හොන්ති උන්වහන්සේගේ වචන අසන ශ්‍රාවකයෝ ද ඒ පිළිගැනීම ම ඇතිව සිටිති. සක්කරොන්ති ඒ පිළිගැනීමට සත්කාර කරති. ගරුකරොන්ති ගරු වූ ස්වභාවයට පත් කරති. (ගරු කරති.) මානෙන්ති මනසින් (සිතින්) ප්‍රිය කරති. පූජෙන්ති සිවුපසයෙන් පුද පූජා කරති. අපචිතිං කරොන්ති අපචායනය (පිදීම) කරති. එහි යමෙකුට සිවුපසය සත්කාර කර, මනාව පිළියෙළ කරවා, ප්‍රණීතව ප්‍රණීතව දෙයි ද ඔහු සක්කතො වේ. යමෙකු කෙරේ ගරුභාවය පිහිටුවා දෙයි ද ඔහු ගරුකතො වේ. යමෙකුට මනුෂ්‍යයෝ ප්‍රිය කරත්ද ඔහු මානිතො වේ. යමෙකුට සියල්ල පූජා කරයි ද ඔහු පූජිතො වේ. යමෙකුට අභිවාදනය, සමීපයට එළඹීම්, ඇඳිලි බැඳීම් ආදියෙන් අතිශයින් යටහත් පැවතුම් දක්වයිද ඔහු අපචිතො වේ. ඇතැමෙක් කයින් සත්කාර කරති. වදනින් ගරු කරති. සිතින් බුහුමන් කරති. ලාභයෙන් පූජා කරතියි අර්ථ කියති. අලං නාගත්තාය වා යනු මේ දෘෂ්ටිය නාග බවට හෝ නාරජ බවට පත්වීමට ප්‍රමාණවත්ය. සුපණ්ණතාය වා ගුරුළු රජ බවට යක්ඛත්තාය වා යක්‍ෂ සේනාපති බවට අසුරත්තාය වා අසුර බවට ගන්‍ධබ්බත්තාය වා ගාන්ධර්ව දිව්‍ය සමූහයා අතර ඉපදීමට මහාරාජත්තාය වා සතරවරම් දෙව් රජවරුන්ගේ කෙනෙකු වීමට ඉන්‍දත්තාය වා ශක්‍ර බවට පත්වීමට බ්‍රහ්මත්තාය වා බ්‍රහ්මකායිකාදීන් අතර කෙනෙකු වීමට දෙවත්තායවා සම්මුති දෙවියන් අතරින් කෙනෙකු වීමට සුද්ධියා පිරිසිදු වීමට දෙවත්තායවා සම්මුති දෙවියන් අතරින් කෙනෙකු වීමට සුද්ධියා පිරිසිදු වීමට ප්‍රමාණවත්ය. සුදුසුය. පරිසුද්ධියා සර්ව ප්‍රකාරයෙන්ම පිරිසිදු වීම පිණිස.
එහි තිරිසන් යෝනියේ අධිපති බව ලැබීම ශුද්ධියෙන් මේ දෙලොව අධිපති බව ලැබීම විශුද්ධියේ වේ. බ්‍රහ්ම ලෝකයේ අධිපති බව ලැබීම පාරිශුද්ධියෙන් වේ. කල්ප අසූහාර දාහක් ඉක්මවා මිදීමට පත්වීම මුත්තියා අනතුරුවලින් මිදීම - නිරුපද්‍රිත වීම විමුත්තියා සර්ව ප්‍රකාරයෙන්ම මිදීම පරිමුත්තියා නම් වේ. සුජ්ඣන්ති ඒ සමයාන්තරයෙහි (ශාසනයේ) පැවිදි බව ලැබීමෙන් පිරිසිදු බවට පත්වෙති. විසුජ්ඣන්ති පැවිදි බව ලැබ පිළිවෙත් සම්පූර්ණ කිරීම් ආදියෙන් විශේෂයෙන් පිරිසිදු බව වෙති. පරිසුජ්ඣන්ති නිවනට හෝ මෝක්‍ෂයට) පැමිණ සර්වප්‍රකාරයෙන්ම පිරිසිදු වෙති. ඔවුන්ගේ සමයාන්තර ධර්මයෙන් මිදෙති. ඒ ශාස්තෲවරයාගේ අවවාදයෙන් මැනවින් මිදෙති. ඒ ශාස්තෲවරයාගේ අනුශාසනාවෙන් හාත්පසින් මිදෙති. ‘සුජ්ඣිස්සාමි’ යනාදිය අනාගත වශයෙන් කියන ලදී. ආයතිං ඵලපටිකංඛී යනු අනාගතයේ ඵලවිපාක කැමති වෙමින්, මේ දෘෂ්ටිගතිකයන්ගේ මනාව පුරුදු කළ දෘෂ්ටිය, පිළිගැනීම කමැත්තවුන්ට නිරය හෝ තිරිසන්යෝනිය හෝ උපදවයි.