3 - 3
එහි සීලවතානි යනු ප්‍රාතිමෝක්‍ෂාදී සීලයන් ද ආරඤ්ඤකාදී ධුතංග ධර්මයන් ද වේ. අනනුපුට්ඨො නොවිචාළේ. පාවදා කියයි. අනරියධම්මං කුසලාතමාහු යො ආතුමානං සයමෙව පාවා යනු ‘යමෙක් මෙසේ තමා පිළිබඳව තමන්ම කියයි ද ඔහුගේ ඒ වාදය අනාර්ය ධර්මයකි’යි කුසලයෝ මෙසේ කියති.
අත්‍ථි සීලං චෙව වතඤ්ච යනු සීලන අර්ථයෙන් සීලයක්ද ඇත. සමාදාන අර්ථයෙන් ව්‍රතයක් ද ඇත. ව්‍රතය සීලය නොවේ යැයි කී අර්ථයෙන් ව්‍රතයක් ඇත. එය සීලය නොවේ. කතමං යනු කථෙතුකම්‍යතා පුච්ඡාවයි. (කරුණු දක්වනු කැමති ප්‍රශ්න කිරීමයි.) ඉධ භික්ඛූ සීලවා යනාදිය කියූ පරිදිමය. සංවරත්‍ථෙන යනු සංවර කිරීම් අර්ථයෙන් වීතික්කම ද්වාරය වැසීම් අර්ථයෙන්. සමාදානත්‍ථෙන යනු ඒ ඒ ශික්‍ෂාපද මැනවින් ගන්නා වූ අර්ථයෙන්. ආරඤ්ඤකඞ්ගං යනු අරඤ්ඤයෙහි වාසය කිරීම මොහුට ඇත්තේනුයි ආරඤ්ඤක නමි. ඔහුගේ අංගය ආරඤ්ඤකංගයයි. පිණ්ඩපාතිකඞ්ග යනු භික්‍ෂා සංඛ්‍යාත ආමිස පිණ්ඩයන්ගේ පතනය පිණ්ඩපාතයයි. අනුන් විසින් දෙන ලද පිණ්ඩයන් පාත්‍රයේ වැටීම යැයි කියන ලදී. ඒ පිණ්ඩපාතය රැස්කරයි. ඒ ඒ කුලයට ගොස් සොයයි නුයි පිණ්ඩපාතික නමි. පිණ්ඩයන්ගේ වැටීමට හෝ ඒකාන්තයෙන් යන්නේනුයි පිණ්ඩපාතී නමි. වැටීමට යනු හැසිරීමටයි. පිණ්ඩපාතී පුද්ගලයා ම පිණ්ඩපාතිකො නමි. ඔහුගේ අංගය පිණ්ඩපාතිකඞ්ගයයි. අංගය යනු කාරණයයි. එහෙයින් යම් සමාදානයකින් ඔහු පිණ්ඩපාතිකයෙක් වේද ඔහුට මේ තවත් නමෙකියි දතයුතුයි. මේ නයින්ම මංමාවත් සොහොන් කසල ගොඩවල් පස්ගොඩවල් යනාදී යම්කිසි පාංශූන්ගේ මස්තකයේ සිටි බැවින්, ඒ පාංශූන්ගෙන් උඩට නැගුණු හෙයින් කුලයක් (ඉවුරක්) මෙන් වූයේනුයි පංසුකූලං පංසුකූල නමි. නැතහොත් පස් මෙන් නින්දිත බවට ගියේනුයි පංසුකූල නමි, පිළිකුල් බවට යන්නේ ය යන අර්ථයයි. මෙසේ ලැබූ නම් ඇති පංසුකූලය දැරීමද පංසුකූල නමි. පංසුකූලය දැරීම මොහුගේ ස්වභාවය වෙති යි පංසුකූලික නමි. පංසුකූලිකයාගේ අංගය පංසුකූලිකංග නමි. මෙසේම සඟල සිවුරය, පොරෝනා සිවුරය, අඳනකඩය යන තුන් සිවුරු පමණක් දැරීම මොහුගේ ස්වභාවය වෙතියි තෙචීවරික නමි. ඒ තෙචීවරිකයාගේ අංගය තෙචීවරිකඞ්ගං චීවරිකංයයි. දාන යනු සිඳීමයි. දානයෙන් ඉවත්වූයේ අපදානයයි. අපදාන සහිත වූයේ සපදානයයි. සිඳීම නැතිව, අතරක් නැතිව, ගෙපිළිවෙලින් යන අර්ථයයි. සපදානයෙහි හැසිරීම මොහුගේ ස්වභාවය වූයේනුයි සපදානචාරී නමි, සපදානචාරීයා ම සපදානචාරික නමි. ඔහුගේ අංගය සපදානචාරිකඞ්ගං සපදානචාරිකංග නමි. ඛලු යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි. අහර කිස නිමවීමෙන් පසු ලද අහර පච්ඡාභත්ත නමි. පච්ඡාභත්තය වැළඳීම පච්ඡාභන්ත භෝජන නමි. එම පච්ඡාභත්ත භෝජනය පච්ඡාභන්ත යයි ගෙන, පච්ඡාභත්තය මොහුගේ ස්වභාවය වෙති’යි පච්ඡාභත්තික නමි. පච්ඡාභත්තික නොවූයේ බලුපච්ඡාභත්තික නමි. සමාදන්වීමෙන් ප්‍රතික්‍ෂිප්ත අතිරේක භෝජනයට මේ නමෙකි. ඔහුගේ අංගය ඛලුපච්ඡාභත්තිකඞ්ගං ඛලු පච්ඡාභත්තිකංග නමි. වැදහෙවීම, පිළිකෙව් කොට හිඳීම් පමණක් විහරණය කොට ඇත්තා, එවැනි ස්වභාව ඇත්තා නේසජ්ජික නමි. ඔහුගේ අංගය නෙසජ්ජිකංගං නමි. යම් සෙනසුනක් පමුණුවන ලද්දේ ද එය යථාසන්‍ථත නමි. මෙය ඔබට පැවරේනුයි පළමුකොට පමුණුවන ලද සෙනසුනට මේ තවත් වචනයකි. එම යථා සන්‍ථත සෙනසුනෙහි විසීම මොහුගේ ස්වභාවය වෙතියි යථාසන්‍ථතික නමි. ඔහුගේ අංගය යථාසන්‍ථතිකංගං නමි. සියලු ම මේ ධුතංග ධර්ම සමාදන්වීම් වශයෙන් කෙලෙස් සොලවාලන හෙයින් ධුත නම් ඇති, භික්‍ෂුවගේ අංග වෙති යි, කෙලෙස් සොලවාලන හෙයින්, ධුත යැයි ව්‍යවහාරයට පත් ඥානය මොහුට අංග වීයැයි හෝ ධුතංග නම් වේ. නැතහොත් ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් කම්පා කරවන හෙයින් ධුත නම් ද වේ. ශීලාදී ප්‍රතිපත්තියට අංග වෙතියි ධුතංග නම් ද වේ. මෙසේ පළමුකොට වචනාර්ථ වශයෙන් මෙහි විනිශ්චය දතයුතුයි. මේ සියලු ධුතංගයෝ සමාදාන වේතනාව ලක්‍ෂණ කර ඇත. කියන ලද මැයි,