3 - 2
යම් ඒ අන්‍ය තීර්ථකයන්ගේ දෘෂ්ටියක් ‘සුන්දරිය මරා ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ගේ නුගුණ ප්‍රකාශ කරවා, මේ උපායෙන් ඔවුන්ට ලැබෙන සත්කාර ඉවත් කරවන්නෙමු’යි යනුවෙන් පැවතියේ ද ඒ දෘෂ්ටිය ඔහු කෙසේනම් ඉක්මවන්නේ ද? ඉක්බිති ඒ අයස (අපකීර්තිය) එය නිපදවූ තීර්ථක ජනයා පසුපසම ගියේය. ඒ වැරදි දෘෂ්ටිය ඉක්මවීමට නොහැක. යමෙක් ශාස්වතවාදී වේ ද හෙතෙමේ ද සක්කාය දිට්ඨිය කෙසේනම් ඉක්මවන්නේ ද? ඒ දිට්ඨිච්ඡන්‍දයෙන් පැමිණවූ ඒ දිට්ඨි රුචිකත්වයෙන් ඇලුණු ඔවුහු තමන්ම සමර්ථයන් යැයි සිතමින් තමන්ම පරිපූර්ණ වූවෝ යැයි සිතමින් ඒ දෘෂ්ටිගතිකයන් නිර්මාණය කරනුයේ යම්සේ දැනගන්නේ ද එසේම එය කියන්නේ ය.
අවණ්ණං පකාසයිත්‍වා අගුණ ප්‍රකට කර. සක්කාරං සිවුපසය සකසා දීම සම්මානනං සිතින් බුහුමන් කිරීම. පච්චා හරිස්සාම යනු මෙසේ ලාභාදිය උපදවන්නෙමු යි. එවං දිට්ඨිකා යනු මෙවැනි ලබ්ධි ඇති, ‘යම්හෙයකින් ඔවුන්ට ලාභාදී සත්කාර උපදවන්නෙමු’යි යන මේ අදහස ඔවුන්ට ඇත. එසේ ම මවිසින් කියු ආකාර ඇති ධර්මය ද ඇත. මොවුන්ට එය රුචි වේ. එමෙන්ම එය ඉවසයි. මෙසේ ඔවුන්ගේ සිත ස්වභාවයෙන් ම ඇත. මගේ සිත ද එකල්හි ඒ දෘෂ්ඨිය වේ. දිට්ඨියත් සමග කැමැත්ත හෝ දිට්ඨිඛන්ති සමග රුචිය හෝ දිට්ඨිඛන්තිරුචි යන ධර්ම සමග ලබ්ධිය හෝ දිට්ඨිඛන්තිරුචි ලබ්ධි යන ධර්ම සමග අජ්ඣාසය හෝ දිට්ඨිඛත්තිරුචිලබ්ධි අජ්ඣාසය යන ධර්ම සමග අධිප්පාය හෝ වේයැයි දක්වනුයේ ‘එවං දිට්ඨිකා -පෙ- එවං අධිප්පායො’ යනාදිය කියන ලදී. සකං දිට්ඨිං යනු තමාගේ දැක්මයි. දර්ශනයයි. සකං ඛන්තිං යනු තමාගේ දැරීමයි. සකං රුචිං යනු තමාගේ රුචියයි. සකං ලද්ධිං යනු තමාගේ ලබ්ධියයි. සකං අජ්ඣාසයං යනු තමාගේ අදහසයි. සකං අධිප්පායං යනු තමාගේ භාවයයි. අතික්කමිතුං මනාව ඉක්මවීමට. අථඛො සොයෙව අයසො ඒකාන්තයෙන් ම ඒ අයස තෙ පච්චාගතො ඔවුන්ගේ පසුපස ආවේය. තෙ යනු ඡට්ඨි විභක්ති අර්ථයේ දුතියා විභක්ති වචනයකි.
අථවා අර්ථයන්ගේ අතරක් දැක්වීමයි. (විකල්පාර්ථ දැක්වීමයි) සස්සතො නිත්‍ය ධුව ස්ථිර වූ. ලොකො ආත්මභාවය ඉදමෙව සච්චං මොඝමඤ්ඤං යනු මෙයම සත්‍ය වේ. අන් මත තුච්ඡ (හිස්) වේ. සමත්තා යනු සම්පූර්ණය. සමාදින්නා යනු මනාව ගන්නා ලද ගහිතා ලඟට පැමිණ ගන්නා ලද.
පරාමට්ඨා සර්වප්‍රකාරයෙන්ම පරාමර්ශනය කොට ගන්නා ලද. අභිනිවිට්ඨා විශේෂයෙන් ලබන ලද පිහිට ඇති. අසස්සතො කියන ලද්දෙහි විපර්යාසයෙන් දතයුතුයි.
අන්තවා යනු අන්තයක් සහිත වූ. අනන්තවා යනු අනන්තවත්ව වැඩෙන තං ජීවං යනු ඒ ජීවය ලිංග විපර්යාස කොට කියන ලද්දකි. ජීවය යනු ආත්මය මය. තථාගතො යනු සත්ත්වයා. ඇතැමෙක් රහතන් වහන්සේ යැයි කියති. පරං මරණා මරණයෙන් පසුව, පරලොවදී යන අර්ථයයි. න හොති තථාගතො පරම්මරණා යනු මරණයෙන් පසුව නොවේ. හොති ච න ච හොති තථාගතො පරම්මරණා මරණයෙන් පසුව වන්නේ ද නොවන්නේ ද වේ. නෙව හොති න නහොති තථාගතො පරම්මරණා යනු උච්ඡේද වශයෙන් නොවේ. තාර්කික වශයෙන් නොවන්නේ ද නොවේ.