3 - 1
දුට්ඨට්ඨක සූත්රයේ පළමු ගාථාවේ අර්ථ පළමුව කියනු ලැබේ. වදන්ති යනු භාග්යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද උපවාද කරති. දුට්ඨමනාපි එකෙ අථොපි චෙ සච්චමනා එකෙ යනු ඇතැම් දුෂ්ඨ සිත් ඇත්තෝ, ඇතැම් එසේ සංඥා ඇත්තෝ වී, දුෂ්ඨ සිතැති තීර්ථකයන්ගේ බස් අසා ඒවා අදහන්නෝ, එම දුෂ්ඨයන්ගේ ප්රකාශ සත්යයැයි සිතන්නෝ යන අර්ථයි. වාදං ච ජාතං මේ ආක්රෝශවාදය උපන්නේය. මුනි නො උපෙති කාරකයකු නැති බැවින් ද නොකිපෙන බැවින් ද බුද්ධ මුනි වෙත නො පැමිණෙයි. තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි මේ කාරණයෙන් බුද්ධ මුනිවරයාට රාගාදී ඛීලයන් නැත. ඛීලයන් කොයින් ද?යි දතයුතුයි.
දුට්ඨමනා යනු උපන්නා වූ දෝෂයන්ගෙන් දූෂිත වූ සිත් ඇති බැවින්. විරුද්ධමනා ඒ කෙලෙසුන් මගින් කුසල් දොර වසා කුසලින් සිත් වැලැක්වූ බැවින් පටිවිරුද්ධමනා උපසර්ග යොදා පදය වැඩිකරන ලදී. ආහතමනා පටිඝයෙන් එළවන ලද සිත මොවුන්ට ඇත්තේනුයි ආහතමනා නමි, පච්වාහතමනා උපසර්ග යෙදීමක් පමණි. ආඝාතිතමනා විහිංසා (හිංසා) කිරීම් වශයෙන් ආඝාත (තරහ) සිතක් මොවුන්ට ඇත්තේනුයි ආඝාතිත මනා නමි. පච්චා ඝාතිතමනා යනු උපසර්ග යොදා පදය වැඩිකිරීමකි. නැතහොත් ක්රෝධ වශයෙන් දුට්ඨමනා. වෛර කිරීම් වශයෙන් පදුට්ඨමනා. මකුවීම් වශයෙන් විරුද්ධමනා. අනුන්ගේ දොස් කීම් වශයෙන් පටිවිරුද්ධමනා. ද්වේෂ වශයෙන් ආහතපච්චාහතමනා. ව්යාපාද වශයෙන් ආඝාතිත පච්චාඝාතිතමනා. ප්රත්යයන්ගෙන් නොලැබීමෙන් දුට්ඨමනා පදුට්ඨමනා. අයස වශයෙන් විරුද්ධමනා පටිවිරුද්ධමනා ගැරහීම් වශයෙන් ආහතපච්වාහතමනා. දුක් වේදනාවෙන් යුක්ත වූ බැවින් ආඝාතිත පච්චාඝාතිත මනාති මෙසේ ද ඇතැමෙක් අර්ථ කියති. උපවදන්ති යනු ගර්හා (නින්දා) උපදවති. අභූතෙන යනු විද්යමාන නොවීමෙන්, අභූත වූ.
සද්දහන්තා යනු ප්රසාද වශයෙන් ශ්රද්ධාව උපදවමින්, ඔකප්පෙන්තා යනු සම්ප්රසාදන වශයෙන් සනිටුහන් කොට ඔවුන්ගේ කථාව ඉවසමින් සච්චමනා යනු සත්යයැයි සිතමින් සච්ච සඤ්ඤිනො යනු සත්යය යන සංඥා ඇතිව. තථමනා විපරීත නොවූවක්ය යන සිතින්, භූතමනා සිදුවූවක්ය යන සිතින්. යථාවමනා යනු නිශ්චල සිතින්. අවිපරීතමනා යනු නිශ්චය කරගනිමින්. එහි සච්චමනා සච්චසඤ්ඤිනො යනු සත්යවාදී ගුණයයි. තථමනා තථසඤ්ඤිනො යනු සත්යසඤ්ඤී ගුණයයි. භූතමනා භූතසඤ්ඤිනො යනු චෙතොභූත ගුණයයි. යථාවමනායථාවසඤ්ඤිනො යන්නෙන් සච්චායික ගුණය ද අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො යන්නෙන් අවිසංවාද ගුණය ද කියන ලදැයි දතයුතුයි.
පරතො ඝොසො අන්යයන්ගේ සමීපයේදී උපන් ශබ්දයයි. අක්කොසො යනු ජාති ආදී දශ අක්රෝශ වස්තුවෙන් එකකින් ආක්රෝශ කිරීමයි. යො වාදං උපෙති යම් පුද්ගලයෙක් උපවාදයට පැමිණෙයි ද කාරකොවා කරන ලද දොස් ඇත්තෙක් හෝ. කතකොධතාය තරහින් කරන ලද බැවින් වුච්චමානො කියනු ලබනුයේ උපවදීයමානො දෝෂ උපදවනු ලබන්නේ, කුප්පති කෝප කරයි.
ඛිලජාතතාපි නත්ථි සිතේ තද බව නැමති සිතේ කිළිටි නම් වූ පටිඝහුල මෙහි උපන්නේනුයි ඛිලජාතො නමි, එය ඇති බව ඛිල ජාතතා නමි, එය ද නැත. නසන්ති පඤ්චපි චෙතො ඛීලා කාමලෝකයන්හි අවීතරාගීව, රූපලෝකයන්හි අවීතරාගීව ඇතිතාක් බඩපිරෙනතාක් අනුභව කොට සෙය්යසුඛයෙහි, ඵස්ස සුඛයෙහි හා මිද්ධ සුඛයෙහි ඇලී ගැලී වසයි ද, එක්තරා දේව නිකායක් පතාගෙන බඹසර සුරකියි ද, ‘මම මේ සීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි, අන්යතර දෙවියෙක් හෝ වන්නෙමි’යි මෙබඳු වූ සිතුවිලි පහ ද සිතේ තද බව - කිළිටි බව නම් චෙතො ඛීලයන් ද නැත.
මේ ගාථාව දෙසූ භාග්යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් මෙසේ විචාළ සේක. ‘ආනන්දය! මෙසේ භික්ෂූන්ට පීඩා කරමින්, දොස් දක්වමින් නින්දා කරන කල්හි ඒ භික්ෂූහු කුමක් කියත් ද?’ යනුවෙනි. එවිට ආනන්ද තෙරහු ‘භාග්යවතුන් වහන්ස! භික්ෂූහු කිසිවක් නොකියති’යි වදාළහ. ‘ආනන්දය, මම සිල්වතෙක්මි’යි සැමතැනම නිශ්ශබ්දව නොසිටිය යුතුයි. ලෝකයෙහි කියන්නවුන්ගේ වචනයේ ඇති වැරදි නිවැරදි බව පණ්ඩිතයෝ දැනගනිති. අනුවණයෝ නොදනිතියි දෙසූ බුදුහු ‘ආනන්දය, ඒ මිනිස්සු චෝදනා කරන කල්හි ධර්මදේශනා වශයෙන් ‘අභූතවාදී නිරයං උපෙතී’ යන ගාථාව කිවයුතුයි’ වදාළහ. ආනන්ද තෙරණුවෝ එම ගාථාව ඉගෙන භික්ෂූන්ට ඇවැත්නි! නුඹලාට මිනිසුන් චෝදනා කරන කල්හි මේ ගාථාවෙන් ප්රතිචෝදනා කරවු’යි පවසා ගාථාව භික්ෂූන්ට ඉගැන්වූහ. භික්ෂූහු එසේ කළහ. නුවණැති මිනිස්සු නිශ්ශබ්ද වූහ. රජතුමා ද රාජපුරුෂයන් සැමතැනම යවා යම් ධූර්ත පිරිසක් තීර්ථකයන්ගෙන් අල්ලස් ගෙන ඇය මරන ලද්දේ ද ඒ සියලු ධූර්තයන් අල්වා නිග්රහ කරන ලදී. ඒ පුවත දැනගත් රජු තීර්ථකයන්ට දෝෂාරෝපණය කළේය. ජනයා ද තීර්ථකයන් දැක ‘මොවුහු භාග්යවතුන් වහන්සේට අපකීර්තියක් ඇතිකළහ’යි ගල්මුල්වලින් ගසති, පස්වලින් ගසති. ආනන්ද තෙරණුවෝ එය දැක බුදුරදුන්ට මෙය දැන්වූහ. භාග්යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට මේ ගාථාව වදාළ සේක. ‘සකං හි දිට්ඨිං -පෙ- වදෙය්ය’ යන ගාථාවේ අර්ථය.
3 - 2
යම් ඒ අන්ය තීර්ථකයන්ගේ දෘෂ්ටියක් ‘සුන්දරිය මරා ශ්රමණ ශාක්යපුත්රයන්ගේ නුගුණ ප්රකාශ කරවා, මේ උපායෙන් ඔවුන්ට ලැබෙන සත්කාර ඉවත් කරවන්නෙමු’යි යනුවෙන් පැවතියේ ද ඒ දෘෂ්ටිය ඔහු කෙසේනම් ඉක්මවන්නේ ද? ඉක්බිති ඒ අයස (අපකීර්තිය) එය නිපදවූ තීර්ථක ජනයා පසුපසම ගියේය. ඒ වැරදි දෘෂ්ටිය ඉක්මවීමට නොහැක. යමෙක් ශාස්වතවාදී වේ ද හෙතෙමේ ද සක්කාය දිට්ඨිය කෙසේනම් ඉක්මවන්නේ ද? ඒ දිට්ඨිච්ඡන්දයෙන් පැමිණවූ ඒ දිට්ඨි රුචිකත්වයෙන් ඇලුණු ඔවුහු තමන්ම සමර්ථයන් යැයි සිතමින් තමන්ම පරිපූර්ණ වූවෝ යැයි සිතමින් ඒ දෘෂ්ටිගතිකයන් නිර්මාණය කරනුයේ යම්සේ දැනගන්නේ ද එසේම එය කියන්නේ ය.