14. තුවටකසූත්‍රනිර්දේශ වර්ණනාව
දාහතර වන තුවටක සූත්‍ර නිර්දේශයේ පුච්ඡාමිතං යන මේ ප්‍රශ්නයද ඉහතින් පැවසූ මහා සමාගමයේ දී අර්හත්වය ලැබීමේ පිළිවෙත (මාර්ගය) කවරේද?”යි උපන් සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට එම ප්‍රශ්නයට පිළිතුරු දීම සදහා පෙර පැවසූ පරිදිම නියමිත බුදුවරු ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවමින් මේ සූත්‍ර දේශීතය.
එහි මුල්ම ප්‍රශ්න කරන ගාථාවේ පළමුව පුච්ඡාමි යනු ප්‍රශ්න කරමි. එහි අදිට්ඨජොතනා ආදී වශයෙන් ප්‍රශ්න කරන ආකාර තුනක් බෙදා දක්වන ලදී. ආදිච්ව බන්‍ධූ සූර්යයාට ගෝත්‍රයෙන් ඥාති වූ විවෙකං සන්ති පදඤ්ච විවේකයද ශාන්ති පදය ද, කථං දිස්වා කුමන කරුණකින් දැක, කෙසේ පවතින දර්ශනයකින් සිදුවන්නේද? යි අසන ලදී.
තිස්සො පුච්ඡා සංඛ්‍යාව දැක්වීමයි. අදිට්ඨ ජොතනා යමක් පියවි ඇසින් නොදකින ලද්දේද එය ප්‍රකට කරුණු සදහා අසන ප්‍රශ්නයයි. දිට්ඨ සංසන්‍දතා යමක් ඤාණ චක්‍ෂුවෙන් (නුවණැසින්) දක්නා ලද්දේ ද එකරුණ සැසඳීම සඳහා කරන ප්‍රශ්න කිරිමයි. විමති ච්ඡෙදනා යම් සැකයක් වේද ඒ සැක දුරුකර ගැනීම සදහා ප්‍රශ්න කිරීමයි. පකතියා ලක්ඛණං අඤ්ඤාතං ධර්මයන්ගේ තථ ලක්‍ෂණය ස්වභාවයෙන්ම නොදන්නා වූ. අදිට්ඨං නොදුටු. න දිට්ඨං පාඨයද යෙදේ. අතුලිතං තරාදියෙන් තුලනය කළාක් මෙන් තුලින නොවූ (සමාන නොවූ) අතිරිතං තීරණයෙන්, තිරණය නොකළ, අවිභූතං ප්‍රකට නොවූ අවිභාවිතං ප්‍රඥාවෙන් නොවැඩුණු. තස්ස ඤාණාය ඒ ධර්මයේ ලක්‍ෂණ දැනගැනීම සඳහා. දස්සනාය දැකීම සදහා. තුලතාය තුලනය කිරීම සදහා. තීරණය තීරණය කිරීම සදහා. විභාවනාය විභාග කිරීම සඳහා. අඤ්ඤෙහි පණ්ඩිතෙහි අනෙක් බුද්ධාදී පඬිවරුන් සමඟ. සංසය පක්ඛන්තො සැකයට පත් වුයේ.
මනුස්ස පුච්ඡා මනුෂ්‍යයන්ගේ ප්‍රශ්න කිරීම. අමනුස්ස පුච්ඡා නාග සුපර්ණාදීන්ගේ ප්‍රශ්න කිරීම. ගහට්ඨා සෙසු ගිහියෝ. පබ්බ ජිතා ලිංග වශයෙන් කියන ලදී. නාගා සුඵස්ස ආදී නාගයෝ. සුපණ්ණා සුපර්ණයන්ගෙන් සමන්විත වශයෙන්. යක්‍ඛා යක්‍ෂයන්ගෙන් යුක්ත වශයෙන් දතයුතුයි. අසුරා පහාරාදී අසුරයෝ. ගන්‍ධබ්බා පංචසිඛ වැනි ගන්‍ධබ්බ පුත්‍රයෝ. මහාරාජානෝ සිවුවරම් රජ දරුවෝ. අභිනින්‍ද්‍රීයං පිහිටීම් වශයෙන් විකල නොවූ ඉන්‍ද්‍රීය ඇති. සොනිම්මිතො භාග්‍යවතුන් වහන්සේ විසින් නියමිත ඒ බුදුරුව.
වොදානක පුච්ඡා විශේෂ ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරීම. අතීත පුච්ඡා ඉක්මගිය ධර්ම අරබයා ප්‍රශ්න කිරිම. අනාගතා දියෙහිද මේ ක්‍රමයෙන් අථ දත යුතුයි. කුසල පුච්ඡා නිවැරදි ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරිම අකුසල පුච්ඡා වැරදි දහම් පිළිබඳව කරන ප්‍රශ්න කිරීම, අව්‍යාකත පුච්ඡා ඒ දෙකින්ම යුතු විපරීත ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරීම.
අජ්ඣෙසාමි තං නුඹට ආරාධනය කරමි. කථස්සු මෙ මාහට කියන්න. ගොත්ත ඤාතකො ගෝත්‍රයෙන් ඥාති වූ ගොත්තබන්‍ධු ගෝත්‍රයේ උපන්. එකෙනාකාරෙන එක් කොට්ඨාශයකින්.
සන්ති පදං ශාන්ති සංඛ්‍යාත නිර්වාණ පදය. යෙ ධම්මා සන්තාධිගමාය යම් සතිපට්ඨානාදී ධර්මයක් නිවන ලැබීම පිණිස පවතියිද. සන්ති ඵස්සනාය ඤාණ ස්පර්ශයෙන් නිවන ස්පර්ශ කිරිම සඳහා. සච්ඡිකිරියාය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස. මහන්තං සීලක්ඛන්‍ධං මහත් වු ශීල රාශිය. සමාධික්ඛන්‍ධා දියෙහිද මේ ක්‍රමයමයි. සීලස්කන්‍ධාදිය ලෞකික ලෝකෝත්තර වශයෙන් වේ. විමුක්ති ඤාණ දර්ශනය ලෞකිකමය.
තමෝ කායස්ස පදාලනං අවිද්‍යා රාශිය විධ්වංසනය කිරිමෙහි. විපල්ලාසස්ස භේදනං සිවු වැදෑරුම් විපල්ලාසයන්ගේ බිදීම, තණ්හාසල්ලස්ස අබ්බුළ්හං තණ්හා නම් හුල ලිහා දැමීම, ඉදිරිම. අභිසංඛාරස්ස වූපසමං පුණ්‍යාදී අභිසංස්කාරයන් නිවා දැමීම පිණිස. භාරස්ස නික්ඛෙපනං පංචස්කන්ධ භාරය බහා තැබීම. සංසාරවට්ටස්ස උපචේඡදනං සංසාර පැවැත්ම සිඳ දැමීම. සන්තාපස්ස නිබ්බාපනං කෙලෙස් සන්තාපයේ නිවා දැමීම. පරිලාභස්ස පටිප්පස්සද්ධි කෙලෙස් දැවීමෙහි සන්සිඳීමට පත්වීම, දෙවදෙවො දෙවියන්ට දෙවි වූ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් යම් සේ දකිමින් කෙලෙස් උදුරා දමයිද එසේ දැක, එසේ පැවති දර්ශන ඇත්තෙක්ව පිරිනිවන්පායිද සේක. එහෙයින් ඒ අර්ථය ප්‍රකට කරවමින්, නානාප්‍රකාරව ඒ දෙව් පිරිස කෙලෙස් ප්‍රහාණයේ යොදවමින් “මූලං පපඤ්ච සංඛාය”යැයි ආරම්භ කර, ගාථා පහක් දේශනා කළහ.
එහි මුල්ම ගාථාවේ සංක්‍ෂිප්තාර්ථය පපඤ්ච සංඛ්‍යා පපංච සංඛ්‍යාත, තෘෂ්ණා ප්‍රපංචයෝම “පපංච සංඛ්‍යා” නම් වේ. එයට අවිද්‍යාදි කෙලෙස් මුල් වේ. ප්‍රපංච නම් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ මූලය මම වෙමි”යි පැවති මානය ද සියලු මානය ද නුවණින්, ප්‍රඥාවෙන් සිඳදමන ලදී. කිසියම් අධ්‍යාත්මික තණ්හාවක් උපදින්නේ නම්, ඒවා දුරු කිරීමට ප්‍රහාණයට සැමදා සිහි නැතිව හික්මෙන්නේය. එළඹි සිහි ඇතිව හික්මෙන්නේය.
අජ්ඣත්ත සමුට්ඨානා වා සිතේ උපන් හෝ. පුරෙ භත්තං දවල් බතට පෙර කාලය. අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්ති වචනයකි. එහි අර්ථ වශයෙන් උදේ වරුවේ යනුවෙන් සත්තමී අර්ථයම වේ. පච්චාභත්ත ආදියෙහි ද මේ ක්‍රමයමයි. පච්ඡාභත්තං දවල් බතට පද කාලයයි. පුරිමයාමං රාත්‍රියේ ප්‍රථම යාමය, මජ්ඣිම යාමං රාත්‍රියේ දෙවන කොටස පච්ජිම යාමං යනු රාත්‍රියේ තුන්වන කොටසයි. කාලෙ අවපක්‍ෂයේ පුණ්හෙ පුර පක්‍ෂයේ වස්සෙ වැසි වසිනා සාර මාසයේ හේමන්තෙ හේමන්ත සාර මාසයේ ගිම්හෙ ගැන සාර මාසයේ පුරිමෙ වයොඛන්‍ධෙ පළමු වයස් කාණ්ඩයේ, පළමු වයසේ යන අර්ථයයි. වර්ෂ සීයක් ජීවත්වන පුරුෂයාගේ අවුරුදු තිස්තුනක් හා මාස හතරක් බැගින් වයස් කාණ්ඩ තුනකි. ඒ අතුරින් පළමු අවුරුදු තිස්තුනයි මාස හතරක කාලය පඨම වයසයි.