ආථබ්බනිකා අනුන් නසන මන්ත්‍ර සාදන්නෝ ආතබ්බණං පයොජෙන්ති ආථබ්බණිකයෝ (සූනියම් කරන්නෝ) සත්දිනක් ලුණු රහිත ආහාර වළදා, කුසතණ අතුරා පොළවෙහි නිදමින් තපස් රැක, සත්ත්වන දින සුසාන භූමිය සරසවා, සත්වන පදයෙහි (පිරිවරෙහි) සිට අත කරකවමින් මුවින් මන්ත්‍ර පිරුවහති. ඔවුන්ගේ අභිලාෂ සමෘද්ධිමත් වේ. මෙබඳු ස්වරූපයෙන් කරණ සූනියම් ආදියට “ආථබ්බණ කරති” යි කියන ලදී. එහි පයොජෙන්ත යනු කරති. සිදුකරති. නගරෙවා රුන්‍ධෙ නගරය හාත්පසින් අවුරා ආරක්‍ෂාව සලසා ගත් කල්හි සංගාමෙ වා පච්වුපට්ඨිතෙ යුද්ධයක් හෝ පැමිණ සිටි කල්හි පච්චත්‍ථිකෙසු පච්චමිත්තෙසු සතුරු සේනාවෙහි සතුරන් කෙරෙහි ඊතිං උප්පාදෙනෙති ශරීරබල චලනය, කම්පනය, උවදුරු උපදවති. උපද්දවං කය පෙළීම කරති. රොගං ව්‍යාධිය, රෝගය. පජ්ජරකං ජ්වරය (උණ) සූළං උද්ධුමාතකය (ඉදිමුම්). විසූචිකං විදීම (පාචන) පක්ඛන්‍දිකං ලෝහිත පක්ඛන්‍දිකාව කරොන්ති උපදවති.
සුපිනපාඨකා සිහින අර්ථ පවසන්නෝ ආදිසන්ති සිහින අර්ථ විවරණය කරති. යො පුබ්බඛණ්හ සමයං සූපිනං පස්සති ආදියෙහි අත්‍යන්ත වූ සංයෝගයේ දූතියා විභක්ති වචනයකි. පෙරවරු සමයෙහි යන අරුතයි. ඒවං විපාකො හොති ඉටු’නිටු වශයෙන් මෙබඳු විපාක ඇති වේ. අවකුජ්ජ නිපන්නො යටිකුරු වී හොන්තහු දකියි. මෙසේ සුපින පාඨකයෝ ද ඔහු දකිති. දකිමින් ද අර්ථ පවසති.
ඒ සිහින දකින්නා සතර කරුණකින් සිහින දකියි. ධාතු කැපීමෙන් (ධාතුක්‍ෂෝභයෙන්) හෝ අනුභූත පූර්වයෙන් පෙර විදි දේ වශයෙන් හෝ දෙවියන්ගේ ගෙනහැර දැක්වීමෙන් හෝ පූර්ව නිදිති වශයෙන් හෝ යන සිවු අයුරින් සිහින කැදවයි. එහි පිත් සෙම් ආදී ධාතු කිපීම, (තුන් දොස්) කැළඹීම හේතුවෙන් කැළඹුණු ධාතු ඇති තැනැත්තා ධාතු ක්‍ෂෝභනයෙන් සිහින දකියි. දකින්නේ ද නානාප්‍රකාර විවිධ රූප - සිහින දකියි. පෙර, අත්දුටු, ඇසු දුටු දෙයක් හේතුවෙන් සිහින දකින්නා පෙර ඇසු දුටු අරමුණක් දකී. දෙවියන්ගේ ගෙනහැර දැක්වීමෙන් සිහින දකින්නා, දෙවියන්ගේ ආනුභාවයෙන් අරමුණු දකියි. පූර්ව නිමිති වශයෙන් දකින්නා පින් පවු වශයෙන් උපදින කැමැති අර්ථයට හෝ අනර්ථයට පූර්ව නිමිති වූ සිහින දකී. මේ සිවු සිහින අතුරින් ධාතු කිපීමෙන් ද අනුභූත පූර්වයෙන් යම් සිහිනයකින් දකියි ද එය සත්‍ය සිහිනයක් නොවේ. දෙවියන් ගෙනහැර දක්වන සිහින විටෙක සත්‍ය වේ. විටෙක බොරු වේ. කිපුණු දෙවිවරු උපායෙන් පුද්ගලයා විනාශ කිරීමට විපරිත වූ සිහින දක්වති. යම් සිහිනයක් පූර්ව නිමිති වශයෙන් දකී ද එය ඒකාන්තයෙන් සත්‍ය වූම සිහිනය වේ. ඉහත දැක්වූ සතර මූලකාරණයන්ගේ සංසර්ග භේද වශයෙන් ද සිහින භේද වන්නේමය. එහිදී මේ සිවු වැදෑරුම් සිහින සේඛ, පුහුදුන් පුද්ගලයෝ දකිති. ඒ ප්‍රහීන නොකළ විපර්යාස ඇති බැවින් සිහින නොදකිති.
මෙය සිහින දැකීමේ කිම නිදාසිටිය දී දකී ද? නැතිනම් අවදි වී සිටිය දී දකී ද? නැතහොත් නිදිගත් තැනැත්තා නොදකීද? පිබිදි තැනැත්තා නොදකීද? මෙහිදී ඉදින් නිදා සිටියදී සිහින දකී නම් එය අභිධර්මයට අනුව විරුද්ධ කියමනකි. භවංග සිතින් නිදා සිටිය දී රූපාදී නිමිති අරමුණු වශයෙන් නොගනියි. රාග සම්ප්‍රයුක්ත වීම හෝ නොවේ. සිහින දකින්නාට රපාදී අරමුණු ද රාගාදී සිත් ද ඇතිවේ. ඉදින් අවදිව සිටියදී සිහින දකී නම් එය විනය විරෝධී වූවකි. ඉදින් අවදිව සිටියදී සිහින දකී නම් එය සම්බෝහාරික සිතින් දකියි. සබ්බෝහාරික සිතින් කළ කල්හි ශික්‍ෂාපද කැඩීමේ දී අනාපත්තියක් නම් නැත. සිහින දකින්නා විසින් ශික්‍ෂාපද කැඩීම කළ කල්හි ඒකාන්තයෙන් ආනාපත්තියක් ම වේ. එසේ නම් නිදා නොගත් අවදියෙන් ද නොසිටින්නා සිහින දකියි ද? කිසිවෙක් නම් නොදකියි. මෙසේ ඇති කල්හි සිහිනයේ අභාවයක්ම පැමිණේ. අභාවයක් නැත. කුමක් නිසා ද? වඳුරු නින්ද වැනි අවස්ථාවේ සිහින දකියි. එය කියන ලද්දේමය. “කපිමිද්ධ පරෙතො ඛො මහාරාජ සුපීනං පස්සත” (මහරජ, වඳුරු නින්දෙන් යුත් තැනැත්තා සිහින දකී) යනුයි.
කපිමිද්ධ පරතො යනු වඳුරු නින්දෙන් යුක්ත වීමයි. යම්සේ වඳුරාගේ නින්ද ඉක්මණින් වෙනස් වේද එමෙන්ම යම් නින්දකදී නැවත නැවත කුසලාදී සිත් පැතිරුණු බැවින් වහ වහා පෙරළේ ද යම් පැවැත්මක නැවත නැවත භවංගයෙන් නැගී සිටීමක් වේද මෙබඳු අවස්ථාවෙන් යුතු නින්දේදී සිහින දකියි. එනිසා මේ සිහින කුසල ද අකුසල ද අව්‍යක්ත ද වේ. එහිදී සිහිනෙන් සෑ වැඳුම්, බණ ඇසීම්, දහම් දෙසීම් කරයි ද එය කුසල වේ. ප්‍රාණඝාතාදිය සිහිනෙන් කිරීම අකුසලයකි. මේ අංග දෙකින් මිදී ආවර්ජන තදාරම්මණ ක්‍ෂණයේ දී අව්‍යක්ත වේ යැයි දතයුතුයි. ඒ සිත ඉතා දුර්වල වූවක් බැවින් ප්‍රතිසන්‍ධිය ඇදගැනීමට අසමත්ය. පවතින කල්හි අන්‍ය කුසලාකුසලයන්ගෙන් උපස්ථම්භන ලැබ විපාක දෙයි.
මණිඅක්ඛණ ආදියෙහි මෙබඳු වූ මැණික ප්‍රශස්තය. මෙබඳු මැණික මිල අඩුය. හිමියාගේ ආරෝග්‍ය, ඓශ්චර්ය ආදී ලාභයන්ට හේතු වේ. එබඳු ලාභයන්ට හේතු නොවේ. මෙසේ වර්ණ, පිහිටීම් ආදී වශයෙන් මැණික් ආදියේ ලක්‍ෂණ දක්වන්නේය යන අර්ථයයි. එහි ආවුධ ලක්ඛණං අපි (කඩු) ආදීහු ආයුධ හැර අනෙකුත් සියලු ආයුධ වර්ග ඉත්‍ථි ලක්ඛණං ආදියෙහි යම් කුලයක පුරුෂ ආදීහු වෙසෙත් ද ඒ කුලවල වෘද්ධි, හානි මෙසේ වේ යැයි පැවසීමයි. අජලක්ඛණං ආදියෙහි මෙබඳු වූ එළුවන්ගේ මස් කෑ යුතුයි. මෙවැනි එළුවන්ගේ මස් නොකෑ යුතුයි යනුවෙන් විශේෂ අර්ථ දතයුතුයි.
තවද මෙහි දී ගොධා ලක්ඛණං යන්නෙහි විසිතුරු කර්ම, පළඳනාවල මෙවැනි ගොයකු වේ නම් ඔහුට මේ දේ වේයැයි විශේෂ අර්ථ දතයුතුයි. කණ්ණිකා ලක්ඛණං පිලන්‍ධන (ආභරණ, පළදනා) කඩුක්කන් ද ගෘහ කර්ණිකාව හෙවත් ගෙයක මුදුන් කොත ද වශයෙන් අර්ථ දතයුතුයි. කච්ඡප ලක්ඛණං යන්න ගොයාගේ ලක්‍ෂණ මෙන් දතයුතුයි. මිග ලක්ඛණං යන්නෙහි මෘග යන්නට සියලු සිවුපා සතුන් සංග්‍රහ කර දක්වන ලදී. එවං ලක්ඛණ පාඨකා ලක්ඛණං ආදී සන්ති මෙසේ ලක්‍ෂණ ශාස්ත්‍ර පවසන්නෝ ඒ ඒ ලක්‍ෂණ පවසති. දක්වති.