පඤ්චමගාථාවණ්ණනා
මෙසේ තික තුනෙන් අනවශේෂයෙන් සත්ත්වයන් දක්වා දැන් “දිට්ඨා වා යෙව” “අද්දිට්ඨා” යනාදියෙන් දුක තුනකින් ද ඔවුන් සංග්‍රහ කොට දක්වයි.
එහි “දිට්ඨ” යනු තමාගේ ඇසට අරමුණු වීම් වශයෙන් දුටු විරූ සත්ත්වයෝය. “අද්දිට්ඨා” යනු යමෙක් මුහුදෙන්, පර්වතයෙන්, සක්වළින් එහා ආදී තන්හි සිටිත්ද ඒ සත්ත්වයෝය. “යෙච දුරෙ වසන්ති අවිදුරෙ” යන මේ දෙකේ කොටසින් තම ආත්ම භාවයට දුරින් ද නුදුරින් ද වසන සත්ත්වයන් දක්වයි. ඔවුන් පා නැති, දෙපා ආදී වශයෙන් දත යුතුය. එසේම තමාගේ ශරීරයේ වසන සත්ත්වයෝ “අවිදුරෙ” වේ. ශරීරයෙන් පිටත වසන සත්ත්වයෝ “දුරෙ” වේ. එසේම සීමාව ඇතුළත වසන සත්ත්වයෝ “අවිදුරෙ” වේ. සීමාවෙන් පිටත වසන සත්ත්වයෝ “දුරෙ” වේ. තමාගේ විහාරයෙහි, ගමෙහි, ජනපදයෙහි දිවයිනෙහි, සක්වළෙහි වසන්නෝ “අවිදුරෙ” වේ. පර සක්වළ වසන්නෝ දුර වසතියි කියනු ලැබේ.
“භූතා” යනු හටගත්, උපන්, සත්ත්වයෝය. යමෙක් “භූත” වූවාහු ද ඔවුහු නැවත නොවන්නාහ’යි නිගමනය කෙරෙති. ඒ ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේලාට නාමයකි. නැවත භවයක් සොයත්නුයි. සම්භවෙසී වේ. ප්‍රහීණ නොකළ භව සංයෝජන ඇති හෙයින් නැවත භවයක් සොයන සේඛ පුථුජ්ජනයන්ට මෙය නමකි. නැතහොත් සතර යෝනීන් අතුරෙන් අණ්ඩජ, ජලාබුජ සත්ත්වයෝ අණ්ඩ කෝෂය (බිත්තරය) හෝ වස්ති කෝෂය (වැදෑමහ) යම්තාක් නොබිඳිත් ද ඒ තාක් “සම්භවෙසී” වේ. අණ්ඩ කෝෂය හෝ වස්ති කෝෂය බිඳ පිටතට නික්මෙන්නෝ “භූතා” නම් වෙති. සංසේදජ හා ඕපපාතික සත්ත්වයෝ පළමු චිත්තක්ෂණයෙහි “සම්භවෙසී” නම් වේ. දෙවෙනි චිත්තක්ෂණයේ පටන් “භූතා” නම් වේ. නැතහොත් යම් ඉරියව්වකින් උපදිත් ද එයින් වෙනත් ඉරියව්වකට යම්තාක් නොපැමිණෙත් ද ඒ තාක් “සම්භවෙසී” වේ. එයින් පසුව “භූතා” වේ.
ඡට්ඨගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “සුඛිනො වා” ආදී ගාථා දෙක හමාරෙන් නොයෙක් ආකාරයෙන් ඒ භික්ෂූන්ට හිත සුවයට පැමිණීම ප්‍රාර්ථනා කිරීම් වශයෙන් සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩීම දක්වා දැන් අහිත, දුක නොපැමිණීම ප්‍රාර්ථනා කිරීම් වශයෙන් ද එය දක්වන්නාහු. “න පරො පරං නිකුබ්බෙථ” යයි වදාළහ. මේ පැරණි පාඨයයි. දැන් වනාහී “පරංහි” යයි ද ශබ්ද කරති. එය ශෝභන නොවේ.
එහි “පරො” යනු අන්‍ය ජනයාය. (කර්‍තෘ) “පරං” යනු අන්‍ය ජනයාය (කර්‍ම) “න නිකුබ්බෙථ” යනු වංචා නොකරන්නේය. “නාතිමඤ්ඤෙථ” යනු තමා ඉක්මවා නොසිතන්නේය. “කත්‍ථචි” යනු කිසියම් අවකාශයෙක්හි; ගමේ හෝ කුඹුරේ හෝ ඥාතීන් මැද හෝ සමූහය මැද හෝ ආදී වශයෙනි. “නං” යනු ඔහුය. “කඤ්චි” යනු යම්කිසි ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ සැපවත් කෙනෙක් හෝ දුකට පත් කෙනෙක් හෝ ආදී වශයෙනි. “ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤ” යනු කයින් හා වචනයෙන් කෙරෙන වෙනස්කම්වලින් හෙවත් ඛ්‍යාරෝසනයෙන් ද මනසින් කෙරෙන වෙනස් කමින් හෙවත් පටිඝසංඥාවෙන්ද; යම්සේ “සම්මදඤ්ඤාය විමුත්තා”යි කිවයුතු තන්හි “සම්මදඤ්ඤා විමුත්තා”යයි ද “අනුපුබ්බසික්ඛාය අනුපුබ්බකිරියාය අනුපුබ්බපටිදාය” යයි කිවයුතු තන්හි “අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිදා” යයි ද කියනු ලැබේ ද එසේම “ඛ්‍යාරොසනාය පටිඝසඤ්ඤා” යයි කිව යුතු තන්හි “ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා” යයි කියනු ලැබේ. “නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිචෙඡය්‍ය” යනු ඔවුනොවුන්ට දුකක් කැමති නොවන්නේ ය. කුමක් කියන ලද්දේ වේද? හුදෙක් සුව ඇත්තෝ හෝ භය නැත්තෝ හෝ වෙත්වායි ආදී වශයෙන් සිහි කිරීම් පමණකින්ම මෛත්‍රිය වැඩුවා නොවන්නේ ය. කුමක් කළ යුත්තේද? අහෝ ඒකාන්තයෙන් යම් අන්‍ය පුද්ගලයෙක් යම්කිසි අන්‍ය පුද්ගලයෙකු වංචා කිරීම් ආදී කපටිකම්වලින් නොරවටත්වා, ජාති ආදී නව විධ මාන වස්තූන්ගෙන් කිසියම් ප්‍රදේශයක කිසියම් අන්‍ය පුද්ගලයෙකු ඉක්මවා නොසිතත්වා, ඛ්‍යාරොසනයෙන් හෝ පටිඝ සංඥාවෙන් හෝ ඔවුනොවුන්ට දුකක් කැමති නොවෙත්වා යි මෙසේ ද සිහි කරන්නේ (මෛත්‍රිය) වඩන්නේය යනුවෙනි.
සත්තමගාථාවණ්ණනා
මෙසේ අහිත දුක නොපැමිණීම ප්‍රාර්ථනා කිරිම් අර්ථයෙන් ද මෛත්‍රී භාවනාව දක්වා දැන් : එයම උපමාවෙන් දක්වන්නාහු “මාතා යථා නියං” යයි වදාළහ.
එහි අර්ථය මෙසේය. යම් සේ මවක් තමා කෙරෙහි උපන් ඖරස වු සිය පුතා ඔහු ද “එක පුත්තං” එකම පුතා වේ ද “ආයුසා අනුරක්ඛෙ” ඔහුට දුක් පැමිණීම වැළකීම සඳහා තමාගේ ආයුෂ ද පරිත්‍යාග කොට ඔහු රකින්නී ද “එවම්පි සබ්බභූතෙසු” මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි මේ මෛත්‍රිය “මානසං භාවයෙ” නැවත නැවත උපදවන්නේය. වඩන්නේය. එයද අප්‍රමාණ සත්ත්වයන් අරමුණු කිරිම් වශයෙන් හෝ එකම සත්ත්වයෙකු කෙරෙහි නිරවශේෂයෙන් පැතිරවීම් වශයෙන් හෝ “අපරිමානං” අප්‍රමාණව වඩන්නේය යනුවෙනි.
අට්ඨමගාථාවණ්ණනා
මෙසේ සියලු ආකාරයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් - එම මෛත්‍රී භාවනාවගේම වැඩීම දක්වන්නාහු “මෙත්තඤ්ච සබ්බ ලොකස්මිං” යයි වදාළහ.
එහි ස්නේහ උපදවයි, රකිනුයි = මිත්ත වේ. හිතධ්‍යාශය වශයෙන් ස්නේහ කරයි හෝ අහිත දුරු කිරීම් වශයෙන් රකියි යන අර්ථයයි. මිත්තස්සභාවො = මෙත්තං (මිත්‍රයාගේ ස්වභාවය මෛත්‍රියයි). “සබ්බ ලොකස්මිං” යනු නිරවශේෂ සත්ත්ව ලෝකයෙහි; මනසෙහි වුයේනුයි = මානස වේ. ඒ මෛත්‍රිය සිත හා පවතින බැවින් එසේ කියන ලදී. “භාවයෙ” යනු වඩන්නේය. මෙයට ප්‍රමාණයක් නැත්තේනුයි. “අපරිමාණං” වේ. අප්‍රමාණ සත්ත්වයන් අරමුණු වන බැවින් මෙසේ කියන ලදී. “උද්ධං” යනු උඩයි. එයින් අරූප භවය ගනී. “අධො” යනු යටයි. එයින් කාම භවය ගනී. “තිරියං” යනු මැදයි. එයින් රූප භවය ගනී. “අසම්බාධං” යනු අවහිර නැති බවයි. බිඳුණු සීමා ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. සීමා නම් පසමිතුරා යයි කියනු ලැබේ. ඔහු කෙරෙහිද පැවැත්තේ යයි කියන ලද්දේ වෙයි. “අවෙරං” යනු වෛරයෙන් තොර බවයි. අතරතුර වෛර චේතනා පහළවීමෙන් තොර වූ යයි කියන ලද්දේ වෙයි. “අසපත්තං” යනු පහ වූ සතුරන් ඇති බවයි. මෛත්‍රී විහරණයෙන් යුත් තැනැත්තා වනාහී මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙයි. ඔහුට කිසිම පස මිතුරෙක් නොමැත. එබැවින් ඔහුගේ ඒ මෛත්‍රී සහගත මනස පහ වූ සතුරන් ඇති බැවින් “අසපත්තං” යයි කියනු ලැබේ. මේ “පච්චත්තිකො” යන වචනය “සපත්තො” යන්නට පර්යාය වචනයකි. මේ පද පිළිවෙළින් අර්ථ වර්ණනාවයි.
මේ වනාහී මෙහි අදහස් කළ අර්ථ වර්ණනාවයි. මෙසේද සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය යන යමක් කියන ලද්දේ ද ඒ මේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු ලෝකයෙහි දියුණු කරන්නේය, වඩන්නේය, අභිවෘද්ධියට, දියුණුවට විපුල බවට ගෙන යන්නේය, පමුණුවන්නේය. ඒ කෙසේද යත්? උඩ ද යට ද සරස ද වශයෙනි. උඩින් භවාග්‍රය දක්වාත් යටින් අවීචිය දක්වාත් සරසින් සෙසු දිශාවන්හිත්ය. නැතහොත් උඩින් අරූපී බඹලොව දක්වාත් යටින් කාම ලෝක දක්වාත් සරසින් රූපී බඹලොව දක්වාත් නිරවශේෂව පතුරුවන්නේ මෙසේ වඩන්නේ ද ඒ මෛත්‍රී භාවනාව යම් සේ සම්බාධ නොමැති වෛර නොමැති සතුරන් නොමැති මෛත්‍රියක් වේ ද එසේ සම්බාධ වෛර සපත්තයන් දුරු කරමින් වඩන්නේය. නැතහොත් යම් ඒ භාවනා සම්ප්‍රදාවට පත් මෛත්‍රියක් වේ ද එය සියලු තන්හි අවකාශ ලැබීම් වශයෙන් අසම්බාධ වූයේ ද අනුන් කෙරෙහි තමාගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අවේර වූයේ ද තමා කෙරෙහි අනුන්ගේ ක්‍රෝධය දුරු කිරීම් වශයෙන් අසපත්ත වූයේ ද ඒ අසබාධ අවේර අසපත්ත වූ අප්‍රමාණ මෛත්‍රී මනස උඩද යට ද සරස ද යන කොටස් තුනකින් යුත් සියලු ලෝකයෙහි දියුණු කරන්නේ ය. වඩන්නේ ය යනුවෙනි.