සුත්තට්ඨුප්පත්ති
මේ සූත්රය දේශනා කිරීමේ හේතුව වනාහී :- සැවැත් නුවර වනාහි එක් කෙළෙඹියෙක් ආඪ්යය. මහත් ධන ඇත්තේය. මහත් භෝග ඇත්තේය. හෙතෙම සැදැහැති ද තෙරුවන් කෙරෙහි පැහැදුණේ ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව ගිහියෙහි වසයි. හෙතෙම එක් දිනක් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට දන් දෙයි. එකල්හි රජතුමාට ධනය අවශ්ය වූයේ වෙයි. රජු “බොල”, යව අසවල් නම් ඇති කෙළෙඹියා ගෙනෙව”යි කියා ඔහු සමීපයට පුරුෂයෙකු යැවීය. හෙතෙම ගොස් ඒ කෙළෙඹියාට “ගෘහපතිය, රජ නුඹ කැඳවයි” යයි කීවේය. කෙළෙඹියා ශ්රද්ධා ආදී ගුණයෙන් යුත් සිතින් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා වළඳවන්නේ “එම්බා පුරුෂය, යව පසුව එන්නෙමි. දැන් මම නිධානයක් තැන්පත් කරමින් සිටියේ වෙමි” කීය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ දන් වළඳා අවසන් කළාහු ඒ පුණ්ය සම්පත්තියම පරමාර්ථ වශයෙන් “නිධානයකැ”යි දැක්වීමට ඒ කෙළෙඹියාට අනුමෝදනා පිණිස “නිධිං නිධෙති පුරිසො” යන මේ ගාථා වදාළහ. මේ මෙහි අර්ථොත්පත්ති කථාවයි.
මෙසේ
මේ නිධිකණ්ඩ සූත්රය මෙහි ඇතුළත් කිරීමට හේතුව කියා අර්ථොත්පත්තිය හෙවත් නිදානය පැහැදිලි කොට දැන් අර්ථ වර්ණනාව කරන්නෙමි.
පඨමගාථාවණ්ණනා
“නිධිං නිධෙති පුරිසො ගම්භීරෙ ඔදකන්තිකෙ
අත්ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්ථාය මෙ භවිස්සති”
අත්ථෙ කිච්චෙ සමුප්පන්නෙ අත්ථාය මෙ භවිස්සති”
“අභිවෘද්ධි දායක යම්කිසි කටයුත්තක් ඇති වූ කල්හි මාගේ ප්රයෝජනය පිණිස වන්නේ යයි සළකා පුරුෂයෙක් ජලය තාක් ගැඹුරු වූ තැනක නිධානයක් තැන්පත් කෙරෙයි.”
එහි “නිධිං නිධෙති පුරිසො” යන්නෙහි නිදන් කරනු ලැබේනුයි = නිධි වේ. තබනු ලැබේ. රකිනු ලැබේ. ආරක්ෂා කරනු ලැබේ යන අර්ථයයි. ඒ නිධානය සතරාකාර වේ. ථාවර, ජඞ්ගම, අඞ්ගසම, අනුගාමික වශයෙනි. එහි ථාවර නිධානය නම්: භූමිගත හෝ ආකාශගත හෝ අමුරන් හෝ රන් හෝ කුඹුරු හෝ ඉඩම් හෝ වෙනත් යම් මෙබඳු වූ ඉරියව් පැවැත්මෙන් තොර යමක් වේ ද මේ ථාවර නිධානයයි. ජඞ්ගම නිධානය නම් : දැසිදස්, ඇත්ගව, අස් වෙළඹ, එළු කුකුල්, ඌරන් හෝ වෙනත් යම් මෙබඳු ඉරියව් පැවැත්මෙන් යුත් යමෙක් වේ ද මේ ජඞ්ගම නිධානයයි. අඞ්ගසම නිධානය නම් : කර්මාන්ත දැනුමක් හෝ ශිල්ප දැනුමක් හෝ විද්යා දැනුමක් හෝ බහුශ්රැත බවක් හෝ තම අඟ පසඟ මෙන් ආත්මභාවය හා බැඳුණු මෙබඳු ඉගෙන ගෙන ලබාගත් වෙනත් යමක් වේ ද මේ අඞ්ගසම නිධානයයි. අනුගාමික නිධානය නම් : දානමය, ශීලමය, භාවනාමය, ධර්මශ්රවණමය, ධර්ම දේශනාමය පිනක් හෝ යම් මෙබඳු වූ ඒ ඒ තන්හි තමා අනුව ගොස් ඉෂ්ට ඵල ලබාදෙන වෙනත් පිනක් වේ ද මෙය අනුගාමික නිධානයයි. මෙතැනදී වනාහී ථාවර නිධානය අදහස් කරන ලදී.
“නිධෙති” යනු තබයි, තැන්පත් කරයි. ආරක්ෂා කර තබයි; “පුරිසො” යනු මිනිසාය; ඒකාන්තයෙන් පුරුෂයා ද ස්ත්රිය ද නපුංසකයා ද නිධාන තැත්පත් කරති. මෙහි වනාහී පුරුෂ ශීර්ෂයෙන් දේශනාව කරන ලදී. අර්ථ වශයෙන් වනාහී ඔවුන් ද මෙහි ඇතුළත් බව දත යුතුය. “ගම්භීරෙ ඔදකන්තිකෙ” යනු බැස ගත යුතු බැවින් ගැඹුරු වූ; ජලය අවසන් කොට ඇති බැවින් “ඔදකන්තික” වේ. නිසරු භූමි භාගයක පුරුෂයන් සියයකගේ ගැඹුරු ඇති වළක් වැනි ගැඹුරු වූ එහෙත් ජලය අවසන් කොට නොමැති තැන් ඇත. පහත් මඩ වගුරු සහිත භූමියක එක් වියත් දෙවියත් පමණ වූ වළක් වැනි ජලය අවසන් කොට ඇති එහෙත් නොගැඹුරු තැන් ඇත. නිසරු භූමි භාගයක ජලය ලැබෙන තෙක් සාරන ලද වළක් වැනි ගැඹුරු වූ ද ජලය අවසන් කොට ඇත්තා වූ ද තැන් ඇත. එබඳු තැනක් සඳහා “ගම්භීරෙ ඔදකන්තිකෙ” යන මෙය කියන ලදී. “අත්ථෙ කිච්චෙ සමුප්පන්නෙ” යනු : අර්ථයෙන් ඉවත් නොවූයේනුයි = ‘අත්ථ’ වේ. අර්ථය ගෙන දෙන යහපත ගෙන දෙන යයි කියන ලද්දේ වෙයි. කළ යුත්තේනුයි =– කිච්ච වේ. කළ යුතු දේ යයි කියන ලද්දේ වෙයි. උපන් බවම = “සමුප්පන්න” යි. කළ යුතු වශයෙන් එළඹි යයි කියන ලද්දේ වෙයි. එබඳු කළ යුතු කාර්ය්යයක් එළඹි කල්හි; “අත්ථාය මෙ භවිස්සති” යන මෙය නිධානයෙහි ප්රයෝජන දක්වයි. අර්ථවත් කිසියම් කටයුත්තක් එළඹි කල්හි මට ප්රයෝජනය සඳහා වන්නේය. ඒ මාගේ කටයුත්ත නිමා කර ගැනීමට ප්රයෝජන වන්නේය” යන මෙම අර්ථය සදහා හෙතෙම නිදන් කරයි. ඔහුට කටයුත්තක් උපන් කල්හිම යනු “කිච්චෙ සමුප්පන්නෙ” යන්නෙහි අර්ථය බව දත යුතුය.
දුතියගාථාවණ්ණනා
මෙසේ නිධානයෙහි ප්රයෝජන දක්වන්නාහු අර්ථය ළඟාකර ගැනීමේ අභිප්රාය දක්වා දැන් අනර්ථය පහකර ගැනීමේ අභිප්රාය දැක්වීමට වදාළහ:
“රාජතොවා දුරුත්තස්ස චොරතො පීළිතස්ස වා
ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසුවා”
ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛෙ ආපදාසුවා”
“නපුරු කොට කියන ලද්දහුට රජුගෙන් මිදීම පිණිස ද සොරුන් විසින් පෙළනු ලැබූවහුට ඔවුන්ගෙන් මිදීම පිණිස ද ණයෙන් මිදීම පිණිස ද දුර්භික්ෂ කාලයෙහි හෝ විපතක් පැමිණි කල්හි හෝ (ප්රයෝජන පිණිස වන්නේ යයි සළකා ධනය නිදන් කොට තබනු ලැබේ.)
“අත්ථාය මෙ භවිස්සති” යයි ද “ඉණස්ස වා පමොක්ඛාය” යයි ද මෙහි කියන ලද “භවිස්සති” “පමොක්ඛාය” යන පද දෙක සමග සුදුසු පරිදි යොදා එහි අර්ථය දත යුතුය.
එහි යෙදීම මෙසේය: හුදෙක් පුරුෂයෙක් “මට අර්ථය පිණිස වන්නේ යයි සළකාම නිධාන තැත්පත් නොකෙරේ. තවද, “මොහු සොරෙකි”යි කියා හෝ අනුන්ගේ අඹුවන් කරා යන්නෙකි”යි කියා හෝ අයබදු නොගෙවන්නෙකි”යි කියා හෝ මේ ආදී ක්රමයට විරුද්ධකාරයන් විසින් පස මිතුරන් විසින් “දුරුත්තස්ස” නපුරු කොට කියනු ලබන්නාවූ මට “රාජතොවා” රජුගෙන් හෝ මිදීම පිණිස වන්නේය. ගෘහසන්ධි බිදීම් ආදියෙන් ධනය පැහැර ගැනීමෙන් හෝ “මෙපමණ අමුරන් හෝ රන් දෙව”යි පණ පිටින් අල්ලා ගැනීමෙන් හෝ සොරුන් විසින් පෙළනු ලබන කල්හි මට “චොරතොවා පමොක්ඛාය” සොරුන්ගෙන් මිදීම සඳහා වන්නේය. මට ණය හිමියෝ වන්නාහ. ඔවුහු “ණය දෙව”යි මට චෝදනා කරන්නාහ. ඔවුන් විසින් චෝදනා කරනු ලබන මට ”ඉණස්ස වා පමොක්ඛාය” ණයෙන් නිදහස් වීම සඳහා වන්නේය. ශස්ය ලබා ගැනීමට අපහසු, දුකසේ ලැබිය යුතු ආහාර ඇති යම් දුර්භික්ෂ කාලයක් වේ ද එම කාලයෙහි ස්වල්ප වූ ධනයෙන් යැපීම පහසු නොවේ. එබඳු “දුබ්භික්ඛෙවා” දුර්භික්ෂ කාලයක දී හෝ මට (යැපීම පිණිස) වන්නේය. යම් ඒ ආපදාවෝ ගින්නෙන් හෝ ජලයෙන් හෝ නොමනාප දායාද කෙරෙන් හෝ උපදිත් ද එබඳු වූ ‘වා’ හෝ “ආපදාසු” ආපදාවන් උපන් කල්හි මට (උපකාර පිණිස) වන්නේ යයි පුරුෂ තෙම නිධානයක් තැන්පත් කෙරේ යනුයි.