පන්නරසමගාථාවණ්ණනා
මෙසේ මේ ගාථාවෙන් පෙර කියන ලද විජ්ජාවිමුත්තිවසීභාව හා සම්බන්ධ වූ පුණ්‍යානුභාවයෙන් ලැබිය යුතු ත්‍රිවිද්‍යා උභතොභාග විමුක්ත වශයෙන් ද පැමිණිය යුතු නිර්වාණ සම්පත්තිය දක්වා දැන් යම් හෙයකින් විද්‍යා විමුක්ති වශීභාවයට පත් වූවෝ ද ත්‍රිවිද්‍යා උභතොභාග විමුක්ත වූවෝ ද යන සියල්ලෝ පටිසම්භිදා ආදී ගුණ සම්පත්ති ලබත්ද, මේ පුණ්‍ය සම්පත්තියෙන් ද ඒ සම්පත්තියට පදස්ථාන වශයෙන් එසේ එසේ ඒ සම්පත්තිය ද ලබයි. එහෙයින් එයද දක්වන්නාහු “පටිසම්භිදා විමොක්ඛාච” යන මේ ගාථාව වදාළහ.
යම් හෙයකින් මනාකොට කළ ධර්ම, අර්ථ, නිරුක්ති, ප්‍රතිභානයන්හි ප්‍රභේදගත ප්‍රඥාව “පටිසම්භිදා” යයි කියනු ලැබේ ද යම් මේ “රූපී වූයේ රූප දකී” යනාදී ක්‍රමයට අෂ්ට විමෝක්‍ෂයෝ වෙත් ද යම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් පැමිණිය යුතු ශ්‍රාවක සම්පත්තිය ඇති කරන ශ්‍රාවක පාරමී වෙත් ද ස්වයම්භූභාවය ඇති කරන යම් ප්‍රත්‍යෙක බෝධියක් වේ ද සියලු සත්ත්වයන්ට උත්තමභාවය ඇති කරන යම් බුද්ධ භූමියක් වේ ද මේ සියල්ල ද පස් වෙනුව ප්‍රමාණ වශයෙන් මේ පුණ්‍ය නිධානයෙන් ලැබේ යයි දත යුතුය.
සොළසමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ යමක් “යං යදෙවාභිපත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි දේශනා කරන ලද්දේ ද එය මේ ගාථාවන්ගෙන් දක්වා දැන් - මේ සියලු කැමති දේ දෙන නිධානයක් බඳු වූ පුණ්‍ය සම්පත්තියට ප්‍රශංසා කරන්නාහු “එවං මහිද්ධිකා එසා” යන මේ ගාථාවෙන් දේශනාව නිමා කළහ.
මේ එහි පද වර්ණනාවයි. “එවං” යනු අතීතාර්ථය දැක්වීමයි. මහත් වූ අර්ථයක් මෙහි ඇත්තේනුයි: “මහත්‍ථිකා” වේ. මහත් වූ අර්‍ථයක් සදහා හේතු වේ යයි කියන ලද්දේ වෙයි. “මහිද්ධිකා” යයි ද පාඨයකි. “එසා” යනු උද්දේස වචනයකි. එයින් “යස්ස දානෙන සීලෙන” යන මේ ගාථාවේ සිට “කයිරාථ ධීරො පුඤ්ඤාති” දක්වා කියන ලද පුණ්‍ය සම්පත්තිය දක්වයි. “යදිදං” යනු අභිමුඛකරණාර්ථයෙහි නිපාතයක් පමණි. එයින් “එසා” යයි දක්වන ලද දෙය පෙන්වා දීමට “යා එසා”යි අභිමුඛ කරයි. “පුඤ්ඤානං සම්පදා” = පුඤ්ඤසම්පදා” වේ. “තස්මා” යනු හේතුව දක්වන වචනයකි. “ධීරා” යනු උත්සාහවන්තයෝ ය. ‘පසංසන්ති’ යනු වර්ණනා කරති. පණ්ඩිතා යනු ප්‍රඥාවෙන් යුක්ත වූවෝය. “කත පුඤ්ඤතං” යනු කළ පින් ඇති බවයි.
මේ වනාහි අර්ථ වර්ණනාවයි - මෙසේ භාග්‍යවතුන් වහන්සේ “සුවණ්ණතා” මුල්කොට ඇති බුද්ධ භූමිය අවසන් කොට ඇති පුණ්‍ය සම්පදාවේ ආනුභාවයෙන් ලැබිය යුතු අර්ථය වර්ණනා කොට දැන් - එම අර්ථයම පිඬුකොට දක්වන්නාහු එම අර්ථයෙන්ම කියන ලද ස්වභාවය ඇති පුණ්‍ය සම්පදාවෙහි මහත් අර්ථවත් බව වර්ණනා කරන්නාහු වදාළහ. මෙසේ මහත් අර්ථයක් ගෙන දීම කරණකොට ගෙන මහත්‍ථික වූ මේ පුණ්‍ය සම්පදාව ඉදින් මා විසින් “යස්ස දානෙන සීලෙන” ආදී ක්‍රමයට දක්වන ලද්දාහු ද එහෙයින් සත්ත්වයන්ට හිත සුව ගෙන දෙන ධර්ම දේශනාවෙහි පසුබට නොවීමෙන් හා තත්වූ පරිදි ගුණයන් කරණ කොට ගෙන ද මා වැනි ධෛර්‍ය්‍යවත් පණ්ඩිතයෝ “අසාධාරණ මඤ්ඤෙසං අචොරහරණො නිධි” යනාදියෙන් මෙහි කියන ලද කරුණුවලින් ද “මහණෙනි පිනට බිය නොවවු, මහණෙනි, යම් මේ පින යයි යමක් වේ ද එය සැපයට නමකි” ආදී වචනයන්ගෙන් ද නොයෙක් ආකාරයන්ගෙන් කළ පින් ඇති බව ප්‍රශංසා කරති. පක්ෂපාතිභාවයෙන් නොවේ.
දේශනාව කෙළවර ඒ උපාසකයා බොහෝ ජනයා සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසේ නදී කොසොල් රජුගේ සමීපයට ගොස් මේ කාරණය දැන්වීය. රජතුමා අතිශයින් සතුටු වී ගෘහපතිය, මැනවි. ගෘහපතිය නුඹ මා වැන්නන් විසින් ද ගෙන්වා ගත නොහැකි නිධානයක් නිදන් කෙළෙහි යයි සතුටු කරවා මහත් පූජාවක් කළේය.
නිධිකණ්ඩ සූත්‍ර වර්ණනාව නිමියේය.
9. මෙත්ත සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් නිධිකණ්ඩ සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති මෙත්ත සූත්‍රයෙහි වර්ණනා ක්‍රමය පැමිණියේ ය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා ඉන් අනතුරුව