නවමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ පුණ්ය නිධානයෙහි ගැඹුරු ජලය අන්තකොට ඇති භූමියෙහි නිදන් කළ නිධානයට වඩා ඇති විශේෂයෙන් දක්වා නැවත තමාගේ භාණ්ඩයන්හි ගුණ වර්ණනා කිරීමෙන් මිළදී ගන්නා ජනයා තුළ උනන්දුව ඇති කරන උසස් භාණ්ඩ වෙළෙන්දෙකු මෙන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද පුණ්ය නිධානයෙහි ගුණ වර්ණා කිරීමෙන් එම පුණ්ය නිධානයෙහි දෙවි මිනිසුන්ගේ උත්සාහය ඇති කරමින් වදාළහ.
“අසාධාරණ මඤ්ඤෙසං අචොරහරණො නිධි
කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො”
කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො”
“පුණ්ය නිධානය අන්යයන්ට සාධාරණ නොවේ. සොරුන් විසින් පැහැර ගත නොහැකිය. පරලොව යන කල්හි ද තමා අනුව යන්නා වූ යම් පුණ්ය නිධානයක් වේ ද නුවණැත්තේ ඒ පින්කම් කරන්නේය.”
එහි “අසාධාරණ මඤ්ඤෙසං” යනු අන්යයන්ට සාධාරණ නොවූ; මකාරය “අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා” ආදී තැන්හි මෙන් පද සන්ධිකර අක්ෂරයකි. සොරුන් නොගන්නේ = “අචොරහරණො”යි සොරුන් විසින් ගත යුත්තක් නොවේ යන අර්ථයයි. නිදන් කළ යුතු බැවින් “නිධි” වේ. මෙසේ පද දෙකෙන් පුණ්ය නිධානයෙහි ගුණ වර්ණනා කොට ඉන් අනතුරු පද දෙකෙන් “කයිරාථ ධීරො පුඤ්ඤානි යො නිධි අනුගාමිකො” යනුවෙන් එම පුණ්ය නිධානයෙහි උත්සාහය උපදවයි. එහි අර්ථය : යම් හෙයකින් පින නම් අන්යයන්ට අසාධාරණ වූ ද සොරුන් විසින් ගත නොහැකි වූ ද නිධානයක් වේ ද, හුදෙක් අසාධාරණ හා සොරුන් විසින් ගත නොහැකි පමණක් ම නොවේ. තවද “එසො නිධි සුනිහිතො අජෙය්යො අනුගාමිකො” යයි මෙහි කියන ලද්දේ ද “යො නිධි අනුගාමිකො” යම් නිධානයක් අනුගාමික වේ ද එය ද යම් හෙයකින් පිනම වේ ද එහෙයින් “ධීරො” බුද්ධියෙන් යුත් ධෛර්ය්යයෙන් යුත් පුද්ගලයා “පුඤ්ඤානි” පින් “කයිරාථ” කරන්නේය යනුයි.
දසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ ගුණ වර්ණනාවෙන් පුණ්ය නිධානයෙහි දෙවි මිනිසුන්ගේ උත්සාහය උපදවා දැන් යමෙක් උත්සාහවත් වී පුණ්ය නිධානය ක්රියාවෙන් සම්පාදනය කරත් ද ඔවුන්ට ඒ පුණ්ය නිධානය යම් ඵලයක් දෙයි ද එය කෙටියෙන් දක්වන්නාහු
“එස දෙවමනුස්සානං සබ්බකාම දදො නිධි” යයි වදාළහ.
දැන් යම් හෙයකින් ප්රාර්ථනාව හා ප්රතිබද්ධ වූ පුණ්ය නිධානය සියලු කැමති දේ දීම ප්රාර්ථනාවෙන් තොරව සිදු නො වේද? යම් සේ වදාළේද?
“ගෘහපතියෙනි, ධම්මචාරි සමචාරි පුද්ගල තෙමේ “මම කයෙහි බිදීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ - සහභාවයට පැමිණෙම් නම් මැනවැයි කැමති වේ නම් හෙතෙම කයෙහි බිඳීමෙන් මරණින් පසු ක්ෂත්රිය මහාසාල කුලයන්හි සහභාවයට පැමිණේ යන කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරි වන හෙයිනි”
එසේම “අනාශ්රව වූ චේතෝ විමුක්ති, ප්රඥා විමුක්ති මෙලොවදීම තමා විසින් දැන ප්රත්යක්ෂ කොට එළඹ වාසය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්? හෙතෙම ධම්මචාරී සමචාරී වන හෙයිනි”
එසේම වදාළහ -
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්රද්ධාවෙන් යුක්ත වේ ද ශීලයෙන්, ශ්රැතයෙන්, ත්යාගයෙන්, ප්රඥාවෙන් යුක්ත වේ ද ඔහුට මෙසේ සිත් වෙයි. “මම ඒකාන්තයෙන් කයෙහි බිඳීමෙන් මරණින් මතු ක්ෂත්රිය මහාසාල කුලයන්හි හෝ - පෙ- සහභාවයට පැමිණෙම් නම් යෙහෙකි” යනුවෙනි. හෙතෙම එම සිත ස්ථිර ලෙස පිහිටුවයි. එම සිත අධිෂ්ඨාන කරයි. එම සිත වඩයි. ඔහුගේ එම සංස්කාරයෝ ද විහරණයෝ ද මෙසේ වඩා මෙසේ බහුලව කොට එහි ඉපදීමට හේතු වෙති” යන මේ ආදියයි.
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප්රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -
“යං යදෙවාභි පත්ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති” යයි වදාළහ.
එකාදසමගාථාවණ්ණනා
දැන් මේ පුණ්ය නිධානයෙන් යම් ඒ සියල්ලක් ලැබේ ද එය සීමා වශයෙන් දක්වන්නාහු “සුවණ්ණතා සුස්සරතා” යන මේ ආදී ගාථාවන් වදාළහ.
එහි පළමු ගාථාවෙහි පළමු කොට “සුවණ්ණතා” නම් සුන්දර ඡවි වර්ණ ඇති බවයි. රන්වන් සමක් ඇති බවයි. එය ද මේ පුණ්ය නිධානයෙන් ලබයි. යම්සේ වදාළේ ද
“මහණෙනි, තථාගත තෙමේ යම් පූර්ව ජාතියෙහි - පෙ - පෙර මිනිස් වූයේ නොකිපෙන සුළු වූයේ උපාය බහුල කොට ඇත්තේ විය. බොහෝ සේම කියන ලද්දේ නමුදු ක්රෝධ වශයෙන් නොගැටුණේය. නොකිපුණේය. ව්යාපාදයට නොපැමිණියේ ය. ක්රෝධය සිත නොපිහිටුවීය. කෝපයත්, ද්වේෂයත් නොසතුටත් පහළ නොකළේය. සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම් කොමු පිළි ද සියුම් කපු පිළි ද - පෙ - සියුම් පට පිළි හා පලස් ද දෙන්නෙක් විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් - පෙ - මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුෂ ලක්ෂණ ලබයි. හේ රන්වන් වෙයි. රන්බඳු පැහැ ඇති සිවිය ඇත්තේ වෙයි” යනුවෙනි.