ඡට්ඨගාථාපරද්ධසත්තමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ මගධාධිපති රජුට ප්රේත විෂයෙහි උපන් පූර්ව ඥාතීන්ගේ සම්පත්තිය නිසා ස්තුති කරන්නාහු “මහරජ, නුඹගේ මේ ඥාතීහු මේ දාන සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තෝ වී මෙසේ ස්තූති කෙරෙති”යි දක්වන සේක් :
“චිරං ජීවන්තු නො ඤාති යෙසං හෙතු ලභාමසෙ
අම්හාකඤ්ච කතා පූජා දායකාච අනිප්ඵලා”
අම්හාකඤ්ච කතා පූජා දායකාච අනිප්ඵලා”
“යම් කෙනෙකුන් නිසා පින් අනුමෝදන් කළ මෙකෙණෙහි සම්පත් ලබමෝද ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් අපට ද පූජා කරන ලදී. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති”
යනුවෙන් දේශනා කොට නැවත ප්රේත විෂයෙහි උපන්නාවූ ඔවුන්ට සම්පත් ප්රතිලාභයට හේතුවන ගොවිතැන, ගවපාලනය ආදී අනෙකක් නොමැති බවත් මෙලොවින් දුන් දෙයින් යැපෙන බවත් දක්වන්නාහු “නහි තත්ථ කසී” යන සයවෙනි ගාථාවේ පසු අඩ ද “වණිජ්ජා තාදිසී” යන මේ සත්වෙනි ගාථාවත් දේශනා කළහ.
මේ එහි අර්ථ වර්ණනාවයි! මහරජ, “තත්ථ” ඒ ප්රේත විෂයෙහි යමක් හේතු කොට ගෙන ඒ ප්රේතයෝ සම්පත් ලබන්නෙහු ද “නහි කසී අත්ථි” එබඳු ගොවිතැනක් නැත්තේමය. “ගොරක්ඛෙත්ථ න විජ්ජති” හුදෙක් ගොවිතැන පමණක් නොවේ. යමක් නිසා ඔවුහු සම්පත් ලබන්නෙහුද ඒ ගව පාලනය ද මේ ප්රේත විෂයෙහි නොපවතී. “වණිජ්ජා තාදීසි නත්ථි” යමක් ඔවුන්ට සම්පත් ප්රතිලාභය සඳහා හේතු වන්නේ ද එබඳු වූ වෙළඳාමක් ද නැත. “හිරඤ්ඤෙන කයාක්කයං” යමක් ඔවුන්ට සම්පත් ප්රතිලාභය සඳහා හේතු වන්නේ ද එබඳු අමුරන් වලින් මිළදී ගැනීමක් විකිණීමක් (වෙළහෙළදාමක්) ද එහි නැත. “ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කලකතා තහිං” යනු හුදෙක් වනාහී මෙලොවින් ඥාතීන් විසින් හෝ මිත්රාමාත්යන් විසින් හෝ දෙන ලද දෙයින් යැපෙති. ආත්මභාවය පවත්වති. “පෙතා” යනු ප්රේත විෂයෙහි උපන් සත්ත්වයෝය. ‘කාලකතා’ යනු තමාගේ මරණ කාලය කරණ කොට ගෙන ගිය; නැතහොත් “කාලගතා” යයි ද පාඨයකි. කළකල් ඇත්තේ, කළ මරණ ඇත්තේ යන අර්ථයයි. “තහිං”යනු ඒ ප්රේත විෂයෙහි;
අට්ඨමනවමගාථාද්වයවණ්ණනා
මෙසේ “ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං” යයි දේශනා කොට දැන් උපමාවන්ගෙන් එම අර්ථය ප්රකාශ කරන්නාහු “උන්නමෙ උදකං වට්ටං” යන මේ ගාථා දෙක වදාළහ.
එහි අර්ථය යම් සේ “උන්නමෙ” ගොඩබිම උස් භූමි භාගයක වර්ෂාව විසින් වස්සවන ලද; “උදකං නින්තං පවත්තති” යම් භූමි භාගයක් පහත් බිමක් වේ ද පහතට නැමුණේ වේ ද ඒ ඒ තැනට (ඒ ජලය) ගලා බසී, යයි, පැමිණේද; ‘එවමෙව ඉතො දින්නං’ එලෙසින්ම මෙලොවින් දුන් දානය; “පෙතානං උපකප්පති” ප්රේතයන් ළඟට පැමිණේ. උපදී. පහළ වේ යන අර්ථයයි. ජලය බැස යාමට පහත් බිම ස්ථාන වන්නාක් මෙන් ප්රේත ලෝකය දානය ළඟට පැමිණීම සඳහා ස්ථාන වේ. යම් සේ වදාළේද; “බ්රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය ළඟට පැමිණේ ද මේ ඒ ස්ථානය යි” යනුවෙනි. යම් සේ කඳුරු විවර ශාඛා උප ශාඛා කුඩා විල්, මහ විල් ආදියෙහි රැස් වූ (ජලය) “වාරිවහා” මහා ගඞ්ගා “පූරා” පිරුණාහු වී “සාගරං පරිපූරෙන්ති” සාගර පුරවත්ද; “එවම්පි ඉතො දින්නං” මෙසේ මෙලොවින් දෙන ලද දානය පෙර කියන ලද ආකාරයටම “පෙතානං උපකප්පති” ප්රේතයන් වෙත පැමිණේ.
දසමගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ “ඉතො දින්නෙන යාපෙන්ති පෙතාකාලකතා තහිං” යයි මේ අර්ථය උපමාවන්ගෙන් දේශනා කොට නැවත - යම් හෙයකින් ඒ ප්රේතයෝ “මෙතනින් කිසිවක් ලබන්නෙමු” යි ආශාවන්ගෙන් මැඩුණාහු ඥාති ගෙවලට පැමිණ ද “මෙනම් දෙය අපට දෙවු” යයි ඉල්ලීමට අසමත් වෙත් ද එහෙයින් ඔවුන්ගේ මේ සිහි කටයුතු වස්තූන් සිහි කරමින් කුල පුත්ර තෙම දක්ෂිණාව දෙන්නේ යයි දක්වමින් “අදාසි මෙ” යන මේ ගාථාව වදාළහ.
එහි අර්ථය “මේ” මට මෙ නම් වූ ධනයක් හෝ ධාන්යක් හෝ “අදාසි” දුන්නේ යයි ද “මේ” මට මෙබඳු කාර්ය්යයක් තමා උයෝගයට පැමිණෙමින් “අකාසි” කළේ යයි ද අසවලා මගේ මව්පසින් හෝ පියපසින් සම්බන්ධ බැවින් “ඤාති” නැදැයෙක් යයි ද සෙනෙහෙ වශයෙන් ආරක්ෂා කිරීමට සමත් බැවින් “මිත්තා” මිත්රයෝ යයි ද අසවලා “මේ” මාගේ වැලි සෙල්ලම් කළ “සඛා” යහළුවා යයි ද මෙසේ සියල්ල සිහි කරන්නේ “පෙතානං දක්ඛිණං දජජා” ප්රේතයන්ට දානය පවරා දෙන්නේය යනුවෙනි. “පෙතානං දක්ඛිණා දජ්ජා” යයි අන්ය පාඨයක් ද ඇත. එහි අර්ථය: දිය යුතු බැවින් = දජ්ජා වේ ඒ කවරී ද යත්? ප්රේතයන්ගේ දක්ෂිණාවයි. එයින් “අදාසි මෙ” යනාදී ක්රමයෙන් “පුබ්බෙ කතමනුස්සරං” (ඒ ඥාති ප්රේතයන්) පෙර කළ උපකාර සිහි කරන්නා විසින් යයි කියන ලද්දේ වෙයි. කරණ විභක්තිය වෙනුවට ප්රථමා විභක්තිය (යෙදුණු බව) දත යුතුය.