ඒ පදයන්ගේ අර්‍ථය “චිරං ජිවන්තු” යනු බොහෝ කල් ජීවත් වන්නෝ වෙත්වා, “නො ඤාති” යනු අපගෙ ඥාතීහු; “යෙසං හෙතු” යනු යමෙක් නිසා, යමකගේ හේතුවෙන්, ‘ලාභාමසෙ’ යනු ලබමු; තමා විසින් එකෙණෙහි ලබන ලද සම්පත් සාක්ෂ්‍ය කොට දක්වමින් කියති; ප්‍රේතයන්ට වනාහී තමාගේ අනුමෝදන් වීමෙන් ද දායකයන්ගේ උදෙසීමෙන් ද දක්‍ෂිණාවට සුදුසු සම්පත්තියෙන් ද යන අඞ්ග තුනෙන් දක්ෂිණාව සමෘද්ධ වේ. එකෙණෙහිම ඵල උපදවන්නේ වේ. එහි දායකයෝ විශේෂ හේතුව වෙති. එහෙයින් “යෙසං හෙතු ලභාමසෙ” යයි කීහ. “අම්හාකඤ්ච කතා පූජා” යනු “ඉදං වො ඤාතීනං හොතු” යයි මෙසේ මේ දානය උදෙසන්නන් විසින් අපට ද පූජා කරන ලදී. “දායකාච අනිප්ඵලා” යනු යමෙකුගේ සිතෙහි පරිත්‍යාගමය කර්‍මයක් කරන ලද්දේ ද ඔහුට එහිදීම ඵලය ලබාදීම මගින් දායකයෝ ද ඵල රහිත වූවෝ නොවෙති; යනුයි.
මෙහි කීය: කිම ප්‍රේත විෂයෙහි උපන්නා වූ ඥාතීහු පමණක්ම (පින්) ලබන්නාහු ද නැතහොත් අනෙකුත් ඥාතීහු ද ලබත්ද? යනුයි. මෙහිදී අප කිවයුතු කුමක් මෙහි ඇත්තේද? ජාණුස්සෝනී බ්‍රාහ්මණයා විසින් විමසන ලද භාග්‍යවතුන් වහන්සේ ම මෙය ප්‍රකාශ කරන ලදී. මෙය වනාහී මෙසේ කියන ලද්දේ වෙයි.
“පින්වත්, ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණ නම් වූ අපි “මේ දානය පරලොව ගිය සහලේ නෑයන් වෙත පැමිණේවා. මේ දානය පරලොව ගිය සහලේ නෑයෝ පරිභෝග කරත්වා”යි දන්නෙමු. ශ්‍රාද්ධ (මළවුන් පිණිස දෙන දානය) කරමු. කිම, භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය පරලොව ගිය සහලේ ඥාතීන්ට පැමිණේද? කිම, ඒ පරලොව ගිය සහලේ ඥාතීහු ඒ දානය පරිභෝග කරත්ද? බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි. අස්ථානයෙහි නොපැමිණෙයි.
භවත් ගෞතමයන් වහන්ස ස්ථානය කවරේද? අස්ථානය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතමෙක් පරපණ නසන්නාහු වෙති. - පෙ - මිථ්‍යා දෘෂ්ටික වෙති. හෙතෙම කය බිඳීන්ගෙන් මරණින් පසු නිරයෙහි උපදියි. නිරිසතුන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් ඔහු එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය නොපැමිණේ නම් මෙයද (එබඳු) අස්ථානයකි.
බ්‍රාහ්මණය, මෙලොව ඇතමෙක් ප්‍රාණඝාතී වෙති. - පෙ - මිථ්‍යාදෘෂ්ටික වෙති. හෙතෙම කාබුන් මරණින් මතු තිරිසන් යෝනියට එළඹෙයි. තිරිසන් යෝනියේ සත්ත්වයන්ට යම් ආහාරයක් වේ නම් හෙතෙම එහි එයින් යැපෙයි. එයින් හෙතෙම එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටි තැනැත්තාට ඒ දානය නොපැමිණේ නම් මෙය ද ඒ අස්ථානයකි.
බ්‍රාහ්මණය මෙලොව ඇතමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණාහු වෙති. - පෙ - සම්‍යක් දෘෂ්ටික වෙති. හෙතෙම කාබුන් මරණින් මතු මිනිසුන්ගේ සහභාවයට පැමිණෙයි. - පෙ - දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. දෙවියන්ගේ යම් ආහාරයක් වේ නම් ඔහු එහි එයින් යැපෙයි. ඔහු එහි එයින් සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය නොඑළඹේ නම් මෙය ද ඒ අස්ථානයකි.
බ්‍රාහ්මණය මේ ලෝකයෙහි ඇතමෙක් ප්‍රාණඝාතයෙන් යුක්ත වූවෝ වෙති. - පෙ - මිථ්‍යාදෘෂ්ටික වූවෝ වෙති. හෙතෙම කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට එළඹෙයි. හෙතෙම ප්‍රේත විෂයට අයත් සත්ත්වයන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. ඔහුට මිත්‍රයෝ හෝ සගයෝ හෝ සහලේ නෑයෝ හෝ යමක් මෙහෙන් දෙත් නම් එයින් ඔහු එහි යැපෙයි. එයින් ඔහු එහි සිටියි. බ්‍රාහ්මණය, යම් තැනක සිටියහුට ඒ දානය එළඹේ නම් මේ ඒ ස්ථානය වෙයි.
පින්වත්, ගෞතමයන් වහන්ස, ඉදින් ඒ පරලොව ගිය සහලේ නෑයා එම ස්ථානයට නොපැමිණියේ නම් කවරෙක් ඒ දානය පරිභෝග කෙරේ ද? බ්‍රාහ්මණය, පරලොව ගිය අනෙක් සහලේ නෑයෝ ද එතැනට පැමිණියාහු වෙත් ද ඔවුහු ඒ දානය පරිභෝග කරත්.
පින්වත් ගෞතමයන් වහන්ස, ඒ සහලේ නෑයා ද එතනට නොපැමිණියේ වේ ද අන්‍ය සහලේ නෑයෝ ද එතනට නොපැමිණියාහු වෙත් ද (එහිදී) කවරෙක් ඒ දානය පරිභෝග කරත් ද? බ්‍රාහ්මණය, යම් කරුණකින් මේ දීර්ඝ කාලයෙහි පරලොව ගිය සහලේ නෑයන්ගෙන් ඒ ස්ථානය තොර වන්නේය යන මේ කාරණය අස්ථාන වෙයි. අනවකාශ වෙයි. බ්‍රාහ්මණය, තවද දායක තෙමේ ද අනිෂ්ඵල වෙයි” යනුයි.
ඡට්ඨගාථාපරද්ධසත්තමගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගධාධිපති රජුට ප්‍රේත විෂයෙහි උපන් පූර්‍ව ඥාතීන්ගේ සම්පත්තිය නිසා ස්තුති කරන්නාහු “මහරජ, නුඹගේ මේ ඥාතීහු මේ දාන සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තෝ වී මෙසේ ස්තූති කෙරෙති”යි දක්වන සේක් :
“චිරං ජීවන්තු නො ඤාති යෙසං හෙතු ලභාමසෙ
අම්හාකඤ්ච කතා පූජා දායකාච අනිප්ඵලා”
අම්හාකඤ්ච කතා පූජා දායකාච අනිප්ඵලා”
“යම් කෙනෙකුන් නිසා පින් අනුමෝදන් කළ මෙකෙණෙහි සම්පත් ලබමෝද ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් අපට ද පූජා කරන ලදී. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති”
යනුවෙන් දේශනා කොට නැවත ප්‍රේත විෂයෙහි උපන්නාවූ ඔවුන්ට සම්පත් ප්‍රතිලාභයට හේතුවන ගොවිතැන, ගවපාලනය ආදී අනෙකක් නොමැති බවත් මෙලොවින් දුන් දෙයින් යැපෙන බවත් දක්වන්නාහු “නහි තත්‍ථ කසී” යන සයවෙනි ගාථාවේ පසු අඩ ද “වණිජ්ජා තාදිසී” යන මේ සත්වෙනි ගාථාවත් දේශනා කළහ.