පඨමගාථාවණ්ණනා
දැන් මේ තිරොකුඩ්ඩ සූත්‍රය පිළිවෙළින් අර්ථ වර්ණනාව කරන්නෙමු. ඒ කෙසේද යත්, පළමු ගාථාවෙහි ‘තිරොකුඩ්ඩ’ යනු බිත්තීන්ගේ පසුභාගය කියනු ලැබෙත්. ‘තිට්ඨන්ති’ යන මෙය හිදීම් ආදිය ප්‍රතික්ෂේප කළ හෙයින් සිටීම කියවෙන වචනයකි. එයින් යම්සේ ප්‍රාකාරයෙන් එහා පැත්තට පර්වතයෙන් එහා පැත්තට යන තැනැත්තා “තිරො පකාරං තිරො පබ්බතං අසජ්ජමානො ගච්ඡති” (බිත්තියෙන් පිටතට, පර්වතයෙන් පිටතට නොගැටමින් යයි) කියත් ද එලෙසින්ම මෙහි ද බිත්තියෙන් එහා පැත්තෙහි සිටින කල්හි “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති’’ යයි වදාළහ. “සන්ධිසිඞ්ඝාටකෙසුච” යන මෙහි “සන්ධියො” යන්නෙන් සතර මං සන්ධි කියනු ලැබෙත්. ගෘහසන්ධි, බිත්ති සන්ධි, ආලෝක සන්ධි ආදිය ද වේ. “සිඞ්ඝාටකා” යන්නෙන් තුං මං සන්ධි කියනු ලැබෙත්. එය එක්කොට මුල් පදය සමග ගළපන්නේ “සන්ධි සිඞ්ඝාටකෙසුච” යයි වදාළහ. “ද්වාරබාහාසු තිට්ඨන්ති” යනු නගර ද්වාර, ගෘහද්වාරයන්ගේ කණු ඇසුරු කොට සිටිත්, “ආගන්ත්වාන සකං ඝරං” යනු මෙහි ස්වකීය ගෘහය නම් පෙර ජාතියෙහි නෑ ගෙය ද තමා අධිපති භාවයෙන් විසූ පෙර ගෙය ද ඒ දෙකම ද යම් හෙයකින් ඒ ඥාතී ප්‍රේතයෝ ස්වකිය ගෘහය යන හැඟීමෙන් එත් ද එහෙයින් “ආගන්ත්වාන සකං ඝරං” යයි වදාළහ.
දුතියගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පෙර නොවිසූ නමුදු පෙර ඥාතියෙකුගේ ගෘහයක් වන බැවින් බිම්බිසාර රජුගේ නිවෙස්නට ස්වකීය ගෘහය යන හැඟීමෙන් පැමිණ බිත්තියෙන් පිටත සතර මං සන්ධි තුන් මං සන්ධි දොර බා ආදී තැන්වල සිටි ඊර්‍ෂ්‍යාවේ හා මසුරුකමේ ඵල අනුභව කරන - විකාර වූ දික් රැවුල් හා කෙස් දරන අඳුරු වූ මුව ඇති ලිහිල්, බැඳුණු, එලෙන, කෘශ පරුෂ, කළු අඟ, පසඟ ඇති ඒ ඒ තැන්හි ලැව් ගින්නෙන් දැවුණු තල්ගස් වැනි සමහරෙකු ද - සාගිනි පිපාසා නැමති ගිනි ගන්නා දඬු ගැටීමෙන් උදරයෙන් පැන නැගී මුවෙන් නික්මෙන්නා වූ ගිනි ජාලාවෙන් හාත්පසින් දැවෙන ශරීර ඇති සමහරෙකු ද - ඉදි කටු සිදුරක් මෙන් ඉතාමත් කුඩා වූ ගලනාළයක් ද පර්‍වතයක් බඳු කුසක් ද ඇති බැවින්, ලැබුණා වූ ද පාන භෝජන ඇති පමණ අනුභව කිරීමට අසමත්කම නිසා සාපිපාසාවෙන් පෙළෙන්නා වූ අනෙක් රසයක් නොවිඳින්නා වූ සමහරෙකු ද - ඔවුන්නොවුන්ගේ ද අන්‍ය සත්ත්වයන්ගේ ද බිඳුණු ගඩු පිළිකා මුවෙන් වැගිරෙන ලේ, සැරව, සද මිදුළු ආදිය ලැබුණු අමෘතයක් මෙන් රස විඳින්නා වූ අතිශයින් දැකීමට අපහසු විරූපී භයානක ශරීර ඇත්තා වූ සමහරෙකු ද වශයෙන් බොහෝ ප්‍රේතයන් රජුට දක්වන සේක්;
“තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති සන්ධිසිඞ්ඝාටකෙසුච
ද්වාර බාහාසු තිට්ඨන්ති ආගන්ත්‍වාන සකං ඝරං”
“ඥාති ප්‍රේතයෝ තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත ද ගෘහ සන්ධි බිත්ති සන්ධි සතරමං සන්‍ධි තුන් මං සන්ධි ආදී තන්හි දී දොර බා සමීපයේ ද සිටිත්.” යයි
දේශනා කොට නැවත ඔවුන් විසින් කරන ලද කර්‍මයෙහි දරුණු බව දක්වන්නාහු “පහුතෙ අන්නපානම්හි” යන දෙවෙනි ගාථාව වදාළහ.
එහි “පහුතෙ” යනු අල්ප නොවූ, බොහෝ, ඇති පමණ යයි කියන ලද්දේ වෙයි. “පහුසන්තො නභරති” ආදී තන්හි මෙන් “බ” කාරයට “ප” කාරය ලැබේ. සමහරු වනාහී “පහුතෙ” යයි ද “පහූතං” යයි ද ශබ්ද කරති. මේවා ප්‍රමාද පාඨයෝ වෙති. අන්නෙච පානම්හිච = (ආහාර ද පාන ද ඇති කල්හි) අන්නපානම්හි; ඛජ්ජෙච භොජ්ජෙච = (කෑ යුතු දේ ද බුදිය යුතු දේ ද) ඛජ්ජභොජ්ජෙ වේ; එයින් අනුභව කරන, පානය කරන, කන, රස විඳින වශයෙන් චතුර්විධ ආහාර දක්වයි. “උපට්ඨිතෙ” යනු සමීපයට පැමිණ සිටි කල්හි; සකස් කළ කල්හි, පිළියෙල කළ කල්හි, මනාකොට තැබූ කල්හි, යයි කියන ලද්දේ වෙයි. “න තෙසං කොචි සරති සත්තානං” යනු ඒ ප්‍රේත විෂයෙහි උපන් සත්ත්වයන්ගේ කිසියම් මවක් හෝ පියෙක් පුතෙක් හෝ (ඔවුන්) සිහි නොකරයි. කුමන කරුණක් නිසාද? “කම්මපච්චයා” තමා විසින් කරන ලද දන් නොදීම්, දන් වැළැක්වීම් ආදී ප්‍රභේද ඇති තද මසුරුකම හේතු කොට ගෙනය. ඒ කර්මය වනාහී ඔවුන්ගේ ඥාතීන්ට (ඔවුන් ගැන) සිහි කිරීමට නොදෙයි.
තතියගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආහාරපානාදිය බොහෝ සෙයින් පිළියෙල කර ඇති කල්හි අප උදෙසා ද කිසිවක් දෙන්නේ නම් මැනැවැයි ඥාතීන් ගැන බලාපොරොත්තුවෙන් හැසිරෙන ඒ ප්‍රේතයන්ට ඔවුන් විසින් කරන ලද ඉතාමත් කටුක විපාක ගෙන දෙන කර්‍මයාගේ හේතුවෙන් කිසිම ඥාතියෙකුට සිහි කිරීම් මාත්‍රයක්වත් නොමැති බව දක්වමින්,
“පහුතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ
න තෙසං කොචි සරති සත්තානං කම්ම පච්චයා”
“බොහෝ ආහාර පාන ද ඛාද්‍ය භොජ්‍ය ද පිළියෙලව ඇති කල්හි පවා ඒ ප්‍රේත ලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුශල කර්‍ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් ඔවුන් සිහි නොකෙරෙයි”
යනුවෙන් වදාරා නැවත රජු විසින් ප්‍රේත විෂයෙහි උපන් ඥාතීන් උදෙසා දුන් දානය පසසමින් “එවං දදන්ති ඤාතීනං” යන තෙවැනි ගාථාව වදාළහ.
එහි “එවං” යනු උපමාවාචී පදයකි. එහි සම්බන්ධය දෙආකාරයකින් වේ; ඒ සත්ත්වයන්ගේ කර්‍මය හේතුවෙන් සිහි නොකරන කල්හිද යමෙක් අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ ඥාතීන්ට කිසිවක් නමුදු දෙති යයි ද “මහරජ, නුඹ විසින් යම්සේ දෙන ලද්දේ ද යමෙක් (ඥාතීන් කෙරෙහි) අනුකම්පා කරන්නෝ වෙත් ද ඔවුහු මෙසේ පිරිසිදු වූ ප්‍රණීත වූ කැප වූ පාන භෝජන ඔවුන් පැමිණ සිටි කල්හි දෙති” යයි ද වේ. “දදන්ති’’ යනු දෙති, නියම කොට දෙති, පවරා දෙති. “ඤාතීනං” යනු මව්පසින් ද පියපසින් ද සම්බන්ධ වූවනට; “යෙ” යනු යම්කිසි පුත්‍රයෝ හෝ දූවරු හෝ සහෝදරයෝ හෝ; “හොන්ති” යනු වෙති. “අනුකම්පකා” යනු අර්ථය කැමති, හිතවත්තු, “සුචිං” යනු පිරිසිදු වූ දර්ශනීය වූ, මනහර වූ, ධාර්මික වූ, ධර්මානුකූලව ලැබුණු; ‘පණිතං’ යනු උතුම් ශ්‍රේෂ්ඨ; ‘කාලෙන’ යනු ඥාතී ප්‍රේතයන් පැමිණ බිත්තියෙන් පිටත ආදී තන්හි සිටි කල්හි; “කප්පියං” යනු යෝග්‍ය, සුදුසු, ආර්‍ය්‍යයන්ට පරිභෝගයට සුදුසු; “පානභොජනං” යනු පාන ද භෝජන ද; මෙහි “පානභොජන” යන්නෙන් සියලුම දිය යුතු දේ අදහස් කරන ලදී.