මෙසේ භාග්යවතුන් වහන්සේ ආත්ම භාව හතක උපදින්නේ නමුදු ආර්ය්ය ශ්රාවකයාගේ අනෙකුත් ප්රහීණ නොකළ භවාදාත ඇති පුද්ගලයන්ට වඩා ඇති විශිෂ්ට ගුණයන් කරණ කොට ගෙන සංඝාධිෂ්ඨාන සත්යය දේශනා කොට දැන් “හුදෙක් දර්ශන සම්පන්න පුද්ගලයා බරපතල පාප කර්ම හය කිරීමට නුසුදුසු වුයේ පමණක් නොවේ. අල්පමාත්ර වූ පාප කර්මයක් කොටද එය සැඟවීමට ද නුසුදුසු යයි ප්රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මය නොසැඟවීමේ ගුණය කරණ කොට ගෙන “කිඤ්චාපි සො කම්මං කරොති පාපකං” යයි දේශනා කිරීමට පටන් ගත්හ.
එහි අර්ථය : ඒ දර්ශන සම්පන්න පුද්ගල තෙමේ කිසියම් සිහි මුළාවීමකින් ප්රමාද විහරණයට පැමිණ භාග්යවතුන් වහන්සේ විසින් “මා විසින් ශ්රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේ ද මාගේ ශ්රාවකයෝ එය ජීවිත හේතුවෙන් පවා නොඉක්මවති”යි යම් ලෝක වද්යයක් දැන දැන නොඉක්මවීම සඳහා දේශනා කරන ලද්දේ ද එය හැර වෙනත් කුටිකාර සහසෙය්යාදී ප්රඥප්ති වද්යයක් ඉක්මවීම් සඞ්ඛ්යාත බුදුන් වහන්සේ විසින් නින්දා කළ පාප කර්මයක් “කායෙන” කයින් කරයි ද ධර්මය පද වශයෙන් වචන පහ හයකට වඩා දේශනා කිරීම හෝ සම්පප්රලාප පරුෂ වචන ආදී “වාචා” වචනයෙන් හෝ “උදචෙතසාවා” කිසියම් තැනක ලෝභ, ද්වේශ ඉපදවීම, රන්රිදී ආදිය පිළිගැනීම, සිවුරු ආදිය පරිභෝග කිරීමේ දී ප්රත්යවේක්ෂා නොකිරීම ආදී වශයෙන් සිතින් හෝ පාප කර්මයක් කරයි ද “අභබ්බො සො තස්ස පටිච්ඡාදාය” හෙතෙම “මෙය අකැපය, නොකළ යුතු දෙයකියි දැන මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම ශාස්තෲන් වහන්සේට හෝ නුවණැත්තන්ට හෝ සබ්රහ්මචාරීන් වහන්සේලාට හෝ ප්රකාශ කොට ධර්මානුකූලව පිළියම් කෙරේ. නැතහොත් නැවත නොකරන්නෙමි’යි මෙසේ සංවර විය යුතු යයි සිතා සංවර වේ. කුමක් හෙයින්ද යත්? “අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා” මෙබඳු වු පාප කර්මයක් කොට එය සැඟවීම දකින ලද නිර්වාණ පදය ඇති දර්ශන සම්පන්න පුද්ගලයාට නුසුදුසුයයි දේශනා කරන ලද්දේය යන අර්ථයයි.
කෙසේද?
“මහණෙනි, යම්සේ මන් ද වූ උඩුකුරුව හෝනා ළදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නාහාම අත හකුළාගන්නේ වේ ද මහණෙනි, එපරිද්දෙන්ම දෘෂ්ටි සම්පන්න පුද්ගලයාගේ තෙල ධර්මතායෙක් ඇත. යම්බඳු ආපත්තියකින් නැගී සිටීම පැනේද එබඳු ආපත්තියකට පත් වූයේ නමුදු වහාම ඒ ඇවැත ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි නුවණැති සම්බ්රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය. හෙළි කරන්නේය. දෙසා, විවර කොට හෙළි කොට ආයති සංවරයට පැමිණෙන්නේය” යනුවෙනි.
මෙසේ භාග්යවතුන් වහන්සේ ප්රමාදීව වසන්නේ නමුදු දර්ශන සම්පන්නයාගේ කළ පාප කර්මයන් සැඟවීමක් නොමැති ගුණය කරණ කොට ගෙන සංඝ රත්නයෙහි ගුණ වදාරා දැන් වදාරා දැන් - එම ගුණයම ඇසුරු කොට සත්ය වචනය “ඉදම්පි සංඝෙ” යයි යොදති. එහි අර්ථය පෙර කී අයුරින්ම දත යුතුය. මේ ගාථාවෙහි ද අණ කෙළ ලක්ෂයක් සක්වළ අමනුෂ්යයන් විසින් පිළිගන්නා ලදී.
වනප්පගුම්බෙතිගාථාවණ්ණනා
මෙසේ සංඝයාට ඇතුළත් පුද්ගලයන්ගේ ඒ ඒ ගුණයන් අනුව සංඝාධිෂ්ඨාන සත්යය වදාරා දැන් රත්නත්රයේ ගුණ ප්රකාශ කරන භාග්යවතුන් වහන්සේ විසින් මෙහි කෙටියෙන් ද වෙනත් තැන්වල විස්තර වශයෙන් ද යම් මේ පර්යාප්ති ධර්මයක් දේශනා කරන ලද්දේ ද එය ද ඇසුරු කොට නැවත බුද්ධාධිෂ්ඨාන සත්යය “වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ” යයි දේශනා කිරීමට පටන් ගත්හ. එහි ආසන්නව පැවතීම ස්වභාව කොට ඇති වෘක්ෂයන්ගේ සමූහය “වන” නම් වේ. මුල්, හර, එළය, පොතු, අතු, කොළ යන මේවායින් ගැවසීගත් පඳුර = පගුම්බ වේ. වනයෙහි වූ පගුම්බය = වනප්පගුම්බො වේ. එයම “වනප්පගුම්බෙ” යයි කියන ලදී. “අත්ථි සවිතක්කසවිචාරෙ අත්ථි අවිතක්ක විචාර මත්තෙ” “සුඛෙ දුක්ඛෙ ජීවෙ” ආදී තන්හි මෙන් මෙසේ ද කීමට හැකිය. “යථා” යනු උපමාවාචී පදයකි. පිපුණු අග් ඇත්තෙනුයි = ඵුස්සිතග්ගෙ” වේ. සියලු ශාඛා අනුශාඛාවන්හි හටගත් මල් ඇති යන අර්ථයයි. එය පෙර කී අයුරින්ම “ඵුස්සිතග්ගෙ” යයි කියන ලදී. “ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ” යනු ගිම්හාන සෘතුවට අයත් යම් මාස හතරක් වේ ද ඒ ගිම්හාන සෘතුවට අයත් මාස හතරෙන් එක් මාසයක; කවර මාසයකද යත්? ගිම්හාන සෘතුවෙහි පළමුවෙනි බක්මස යන අර්ථයයි. එම මාසය වනාහී “පඨම ගිම්හ” යයි ද “බාලවසන්ත” යයි ද කියනු ලැබේ. ඉන් අනතුරු පදයන්ගේ අර්ථය ප්රකටමය.