ගාථාවසානයෙහි අසුහාර දහසක් ප්රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ ඒ පූජනීය උතුමන්ට කරන ස්වල්ප වූ ද පුජාව බොහෝ කලක් හිත සුව පිණිස වේ යයි දත යුතුය. ඒද ආමිස පූජාවය. ප්රතිපත්ති පූජාව පිළිබඳව කියනුම කවරේද. යම් හෙයකින් යම් කුල පුත්රයෝ සරණාගමන හා ශික්ෂාපද පිළිගැනීමෙන් ද උපොසථාඞ්ග සමාදානයෙන් ද චතුපාරිශුද්ධි ශීලාදියෙන්ද යන තමාගේ ශීල ගුණයන්ගෙන් භාග්යවතුන් වහන්සේ පුදත්ද ඔවුන්ගේ පූජාඵලය කවරෙක් නම් වර්ණනා කරන්නෝද? ඔවුන් විසින් තථාගතයන් වහන්සේ උතුම්ම පුජාවෙන් පුදනු ලබත් යයි කියන ලදී
“ආනන්දය, යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක හෝ ධම්මානු ධර්ම ප්රතිපන්නව සම්යක් ප්රතිපත්තියෙන් යුක්තව ධර්මයට අනුව හැසිරෙන්නෙක්ව වාසය කෙරේද හෙතෙම තථාගතයන් වහන්සේට උතුම්ම පූජාවෙන් සත්කාර කෙරේ, ගරු කෙරේ, බුහුමන් කෙරේ, පූජා කෙරේයි යම්සේ වදාළේද (එහෙයිනි)
මේ අනුසාරයෙන් පසේ බුදු, ආර්ය්ය ශ්රාවකයන්ට ද කෙරෙන පූජාවෙහි හිතසුව ගෙනදීම දත යුතුය.
තවද ගිහියන් අතරෙහි බාල සොහොයුරාට දෙටු සොහොයුරා ද සොහොයුරිය ද පූජනීය වේ. පුතාට මව්පියෝ පූජනීය වෙති. කුලකතුන්ට සැමියා ද නැදි මයිලණුවෝ ද යනුවෙන් මෙසේද මෙහි පූජනීය බව දත යුතුය. මොවුන් කෙරෙහිද කරන පූජාවෝ කුල ධර්ම ගණයට ගැනෙන හෙයින්ද ආයුෂ ආදිය වර්ධනයට හේතු වන හෙයින්ද මඞ්ගලම වෙති. මෙය කියන ලද්දේමය :-
යමෙක් වනාහි මවට සත්කාර කරන්නෝ පියාට සත්කාර කරන්නෝ මහණුන්ට සත්කාර කරන්නෝ බමුණන්ට සත්කාර කරන්නෝ කුලයෙහි වැඩිහිටියනට යටත් පැවතුම් දක්වන්නෝ වන්නාහුද මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහුද ඔවුහු ඒ කුශල ධර්ම සමාදාන හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්ණයෙන් ද වැඩෙන්නාහ” ආදියයි.
දැන් යම් හෙයකින් “යං යත්ථ මඞ්ගලං වවත්ථපෙත්වා තං තස්ස මඞ්ගලත්තං විභාවයෙ” යයි මාතෘකා තබන ලද්දේ ද එහෙයින් මෙය කියනු ලැබේ. මෙසේ මේ ගාථාවෙහි බාලයන් සේවනය නොකිරීම, පණ්ඩිතයන් සේවනය කිරීම, පිදිය යුත්තන් පිදීම යන මඞ්ගලයෝ තුනක් දේශනා කරන ලදහ. එහි බාලයන් සේවනය කිරීම හේතුවෙන් ඇතිවන භයෙන් ආරක්ෂ වීම් වශයෙන් බාලයන් සේවනය නොකිරීම ද උභය ලෝකාර්ථ හිත සඳහා හේතුවන බැවින් පණ්ඩිතයන් සේවනය කිරීම හා පිදිය යුත්තන් පිදීම ද ඒවායේ ඵල සම්පත් වර්ණනාවෙහි කියන ලද ආකාරයටම නිර්වාණයට හා සුගතියට හේතු වන බැවින් මඞ්ගල යයි දත යුතුය. මෙයින් මතුවටද මාතෘකා නොදක්වාම යම් තැනක යමක් මඞ්ගල වේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය පැහැදිලි කරන්නෙමි.
“අසේවනාච බාලානං” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
පතිරූපදෙසවාසොචාතිගාථාවණ්ණනා
මෙසේ භාග්යවතුන් වහන්සේ “බ්රෑහි මඞ්ගල මුත්තමං” යනුවෙන් එක් මඞ්ගල කරුණක් බලාපොරොත්තු වූයේ නමුදු ස්වල්පයක් ඉල්ලා සිටි කෙනෙකුහට බොහෝ දෙන උදාර පුරුෂයෙකු මෙන් එක් ගාථාවකින් මඞ්ගල කරුණු තුනක් දේශනා කොට එයින් මතුවටත් දෙවියන්ගේ අසනු කැමැත්ත ඇති නිසාත් මඞ්ගල කරුණු ද ඇති නිසාත් යම් යම් කෙනෙකුට යම් යම් මඞ්ගල කරුණක් අනුකුල වේ ද ඒ ඒ සත්ත්වයන් ඒ ඒ මඞ්ගල කරුණෙහි යොදනු කැමැත්ත නිසාත් “පතිරූපදෙස වාසෝච” ආදී ගාථාවන්ගෙන් නැවත ද නොයෙක් මඞ්ගල කාරණයන් දේශනා කිරීමට ආරම්භ කළහ.
එහි පළමු ගාථාවෙහි පළමුකොට “පතිරූපො” යනු සුදුසු වූ, “දෙසො” යනු ගම ද නියම්ගම ද, නගරය ද, ජනපදය ද යන සත්ත්වයන්ට නිවාස වූ යම් කිසි ආවකාශයයි. “වාසො” යනු එහි විසීමයි. “පුබ්බෙ” යනු පෙර අතීත ජාතීන්හි, “කත පුඤ්ඤතා” යනු රැස්කල කුශල් ඇති බව “අත්තා” යන්නෙන් සිත කියනු ලැබේ. නැතහොත් සියලු ආත්මභාවයයි. “සම්මා පණිධි” යනු ඒ සිත හෙවත් ආත්මභාවය මැනවින් යෙදවීමයි. යෙදීම තැබීම යයි කියන ලද්දේ වෙයි. ඉතිරි පද කියන ලද අයුරින්මය. මේ මෙහි පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “පතිරූපදෙසවාසො” නම් යම් තැනක සිව් පිරිස හැසිරෙන්නේ ද දානාදී පුණ්ය ක්රියා වස්තු පවතී ද නවාඞ්ග ශාස්තෲ ශාසනය බබලයි ද එහි විසීම සත්ත්වයන්ගේ පුණ්ය ක්රියා සඳහා ප්රත්ය වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. සිංහල දිවයිනට පිවිසි කේවට්ටාදීහු මෙහි නිදසුන් වෙති.
තවත් අදහසකි. පතිරූප දේශය නම් භාග්යවතුන් වහන්ගේ බෝ මැඩ පෙදෙස දම්සක් පැවැත්වූ පෙදෙස දොළොස් යොදුනක් පිරිස් මැද සියලු තිර්ථක මත සිඳ යමා මහ පෙළහර දැක්වූ ගණ්ඩම්බ රුක් මුල පෙදෙස, දෙව්ලොව සිට (මිනිස් ලොවට) වැඩම කළ පෙදෙස හෝ වෙනත් යම් ඒ සාවත්ථි රාජගහ ආදී බුදුන් වහන්සේ වැඩ විසූ ප්රදේශයි, එහි විසීම සත්ත්වයන්ට අනුත්තරිය ධර්ම හය ලැබීමට ප්රත්ය වන හෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
තවත් අදහසකි. (මහ බෝ මැඩට) පෙර දිගින් කජඞ්ගල නම් නියම් ගමය. ඉන් පිටත මහා ශාලයෝය, ඉන් ඔබ්බෙහි ප්රත්යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්ය දේශයයි, දක්ෂිණ පූර්ව දිශාවෙන් (ගිණිකොනින්) සල්ලවතී නම් ගඞ්ගාවය, ඉන් ඔබ්බෙහි ප්රත්යන්ත ජනපදයෝය, ඉන් මොබ මධ්ය දේශයයි. අපර (බටහිර) දිගින් ථූණ නම් බමුණු ගමය. එයින් ඔබ්බෙහි ප්රත්යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්ය දේශයයි. උතුරු දිගින් උශීර ද්වජ නම් පර්වතයයි, ඉන් ඔබ්බෙහි ප්රත්යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්ය දේශයයි, දිගින් යොදුන් තුන් සීයකි. පළලින් යොදුන් දෙසිය පනහකි. වට ප්රමාණයෙන් යොදුන් නවසීයකි. මෙය ප්රතිරූප දේශ නමි,