පකිණ්ණකනයො
දැන් මේ ද්වත්තිංසාකාරයෙහිම වර්ණනා පරිචය හා දක්ෂතාව සඳහා මේ ප්රකීර්ණක න්යාය ද දත යුතුය.
“නිමිති වශයෙන් ද ලක්ෂණ වශයෙන් ද ධාතු වශයෙන් ද ශූන්යතා වශයෙන් ද ස්කන්ධාදි වශයෙන් ද ද්වත්තිංසාකාර නිශ්චය දත යුතුය” යනුයි.
එහි නිමිති වශයෙන් යනු යෝගාවචරයා යමකගේ වශයෙන් ද්වතතිංසාකාරය කොට්ඨාස වශයෙන් පරීක්ෂා කර බලයිද ඒ කවරේද යත්? කේශයෙහි වර්ණ නිමිත්ත, සණ්ඨාන නිමිත්ත, දිශා නිමිත්ත, අවකාශ නිමිත්ත, පරිච්ඡේද නිමිත්ත යයි නිමිති පහක් වේ ද ලෝමාදියෙහි ද මෙසේම වේ ද ඒ ආකාරයට කියන ලද මේ ද්වතිංසාකාරයෙහි එකසිය හැටක් නිමිති වේ.
ලක්ෂණ වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වත්තිංසාකාරය ලක්ෂණ වශයෙන් මෙනෙහි කරයිද ඒ කෙසේද යත් ? කේශයෙහි ථද්ධ ලක්ෂණය, ආබන්ධන ලක්ෂණය, උෂ්ණත්ව ලක්ෂණය, සමුදීරණ ලක්ෂණය යයි ලක්ෂණ හතරක් වේ ද ලෝමාදියෙහි ද එසේම වේ ද මෙසේ ද්වත්තිංසාකාරයෙහි එකසිය විසි අටක් ලක්ෂණයෝ වෙති.
ධාතු වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වත්තිංසාකාරය ධාතු වශයෙන් පරික්ෂා කෙරේද ඒ කවරේද යත් ? කේශයන්හි යම් තද බවක් වේද ඒ පඨවි ධාතුවයි. යම් එකිනෙකට බැඳෙන ස්වභාවයක් වේ ද ඒ ආපෝ ධාතුවයි. යම් පැසවන බවක් වේ ද ඒ තේජෝ ධාතුවයි. යම් පිම්බවීම් ස්වභාවයක් වේ ද ඒ වායෝ ධාතුවයි යනුවෙන් මෙසේ ධාතු හතරක් වේ ද ලොම් ආදියේ ද එසේම වේ ද මෙසේ ද්වතිංසාකාරයෙහි “මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම ධාතු සයකින් යුක්ත වේ” යයි දේශනා කළ ධාතු අතරින් එකසිය විසි අටක් ධාතුහු වෙති. ලෝමාදියෙහි ද මෙසේමය.
ශුන්යතා වශයෙන් යනු යමකගේ වශයෙන් යෝගාවචර තෙම ද්වතිංසාකාරය ශුන්යතා වශයෙන් දකීද ඒ කෙසේද යත්? පළමුකොට කේශයෙහි පඨවි ධාතුව ආපෝ ධාතු ආදියෙන් ශූන්යය. එසේම ආපෝ ධාතු ආදිය පඨවි ධාතු ආදියෙන් ශුන්යය ආදි වශයෙන් ශුන්යතා හතරක් වේ. ලෝමාදියෙහි ද මෙසේමය.
ස්කන්ධාදි වශයෙන් යනු ද්වත්තිංසාකාරයෙහි කේශාදිය, ස්කන්ධ ආදී වශයෙන් සංග්රහ කරන කල්හි කේශයෝ ස්කන්ධ කීයක් වෙත්ද, ආයතන කීයක් වෙත්ද ධාතු කීයක් වෙත්ද? සත්ය කීයක් වෙත්ද සතිපට්ඨාන කීයක් වෙත්ද යන මේ ආදී ක්රමයෙන් විනිශ්චය දත යුතුය. මෙසේ දැනගන්නා වූ යෝගාවචරයා හට ශරීරය තණවියලි දර සමූහයක් මෙන් හැගේ. යම්සේ කීවේද?
“සත්ත්වයෙක් නැත. මිනිසෙක් පුරුෂයෙක් පුද්ගලයෙක් නොලැබේ. මේ කය ශූන්ය වූයේය. තණවියලි දර සමූහයක් වැනිය.”
ඉක්බිති මේ යෝගාවචරයා හට යම් ඒ -
“ශුන්යගාරයකට පිවිසි සන්සුන් සිත් ඇති අටලෝදහමින් කම්පා නොවන මැනවින් ධර්මය විමසා බලන භික්ෂුවට අමානුෂික වූ යම් රතියක් (විදර්ශනාව පිළිබඳ ඇල්මක්) ඇතිවේ” යනුවෙන්
යම් අමානුෂී රතියක් දේශනා කරන ලද්දේ ද එය නුදුරෙහිම වේ. ඉන් අනතුරුව යම් ඒ
“යමෙක් යම් යම් විටක ස්කන්ධයන්ගේ හට ගැනීම හා විනාශය ගැන නුවණින් මෙනෙහි කරයි ද ඒ හැම විටම ඔහුට ප්රීති ප්රමෝදයක් ඇතිවේ. කරුණු වැටහෙන්නට එයම අමෘතයකි’ යි.
මෙසේ විදර්ශනාමය ප්රීති ප්රමෝද්යා අමෘතයක් දේශනා කරන ලද්දේ ද එය අනුභව කරන්නේ නොබෝ කලකින්ම ආර්ය්ය ජනයා විසින් සේවනය කරන ලද අජරාමර නිර්වාණ අමෘතය ප්රත්යක්ෂ කරන්නේය.
ද්වත්තිංසාකාර වර්ණනාව නිමියේය.
4. කුමාරප්රශ්න වර්ණනාව
අට්ඨුප්පත්ති
දැන් “එක නාම කිං” යන මේ ආදී කුමාර ප්රශ්නයන්ගේ අර්ථ වර්ණනාව පිළිවෙළින් පැමිණියේය. එම කුමාර ප්රශ්නයගේ ඇති වීමට හේතුවක් මේ ඛුද්දක පාඨයෙහි ඇතුළත් කිරීමේ ප්රයෝජනයත් කියා වර්ණනාව කරන්නෙමි.
ඔවුන්ගේ පහළ වීමට හේතුව පළමුකොට (කියමි) : භාග්යවතුන් වහන්සේගේ සෝපාක නම් මහා ශ්රාවකයෙක් විය. ඒ අයුෂ්මතුන් වහන්සේ විසින් උපතින් සත්වන වියේදීම රහත්ඵලය අවබෝධ කරගන්නා ලදී. භාග්යවතුන් වහන්සේ උන්වහන්සේට ප්රශ්න විසඳීම තුළින් උපසම්පදාව අනුදැනීමට කැමැත්තාහු තමන් වහන්සේ විසින් අදහස් කරන ලද අර්ථ ඇති ප්රශ්නයක් විසඳීමට සමත් බව බලන්නාහු “එකං නාම කිං” යන මේ ආදී වශයෙන් ප්රශ්නයක් විචාළහ. උන්වහන්සේ විසඳුහ. ඒ විසඳීමෙන් භාග්යවතුන් වහන්සේගේ සිත සෑහීමට පත් කළහ. එයම ඒ ආයුෂ්මතුන් වහන්සේට උපසම්පදාව විය.
මේ ඒ කුමාර ප්රශ්නයන්ගේ පහළ වීමට හේතුවයි;
නික්ඛෙපප්පයොජනං
යම් හෙයකින් වනාහි සරණාගමනයන්ගෙන් බුද්ධ, ධම්ම, සංඝානුස්සති වශයෙන් චිත්ත භාවනාව ද ශික්ෂාපදයන්ගෙන් ශීල භාවනාව ද ද්වතිංසාකාරයෙන් කාය භාවනාව ද දේශනා කරන ලද්දේ ද එහෙයින් දැන් නොයෙක් ආකාරයෙන් ප්රඥා භාවනාවේ ආරම්භය දැක්වීමට මේ ප්රශ්න විසඳීම මෙහි ඇතුළත් කරන ලදී. නැතහොත් යම්හෙයකින් සමාධිය ශීලය පදනම් කොට වේ ද ප්රඥාව සමාධිය පදනම් කොට වේ ද ප්රඥාවන්ත මිනිසා ශීලයෙහි පිහිටා සිත හා ප්රඥාව වඩන්නේය”යයි යම්සේ වදාළේ ද එහෙයින් ශික්ෂාපදයන්ගෙන් ශීලයත් ද්වත්තිංසාකාරයෙන් එයට ගෝචර වූ සමාධියත් දක්වා සන්සුන් සිත් ඇත්තාගේ නොයෙක් ධර්මයන් පිරික්සන ප්රඥාවගේ ප්රභේද දැක්වීම සඳහා (කුමාර ප්රශ්නය) මෙහි ඇතුළත් කරන ලද්දේ යයි දත යුතුය.