අසුභභාවනා
අශුභ භාවනා වශයෙන් වනාහී මෙහි වර්ණනාව මෙසේ දත යුතුය. මෙසේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ආදී ප්‍රභේද ඇති ශීලයෙහි පිහිටීමෙන් ප්‍රයෝග ශුද්ධියෙන් ආශය ශුද්ධිය ලැබීම සඳහා ද්වත්තිංසාකාර කර්මස්ථාන භාවනාවෙහි යෙදෙනු කැමති ආදිකම්මික කුලපුත්‍රයා විසින් - පළමුව ඔහු ආවාස, කුල, ලාභ, ගණ (සමූහයා), කම්ම (නව කර්මාන්ත) අද්ධාන (දිගු ගමන්), ඥාති, ආබාධ, ගන්ථ (පොත්), ඉද්ධි යන පළිබෝධයන්ගෙන් (බාධකයන්ගෙන්) හෝ නැතහොත් (ඉද්ධි පළිබෝධය වෙනුවට) කීර්ති පළිබෝධය සමග පළිබෝධයෝ දහයක් වෙත්ද ඉක්බිති මේ ආවාස, කුල, ලාභ, ගණ, ඥාති, කීර්ති යන පළිබෝධයන්හි නොයෙදීමෙන් ද රෝගයට පිළියම් කිරීමෙන් ද මෙසේ දශ පළිබෝධ සිඳ දැමිය යුතුය. ඉක්බිති සිඳින ලද පළිබෝධ ඇති නොසිඳින ලද නෛෂ්ක්‍රම්‍ය අභිලාෂය ඇති මොහු විසින් කෙළවරට පත් සැහැල්ලු පැවැත්ම හාත්පසින් ගෙන කුඩා වූ ද අනුකුඩා වූ ද විනයාචාරයක් අත් නොහරිමින් ආගම අධිගමයෙන් යුක්ත වූ හෝ එයින් එක්තරා අඞ්ගයගෙන් යුක්ත වූ හෝ කමටහන් දෙන ඇඳුරුතුමෙකු වෙත විනයානුකූල ක්‍රමයට එළඹිය යුතුය. වත් පිහිටුවීමෙන් සතුටු කරන ලද සිත් ඇති එතුමන්ට තම අදහස දැන්විය යුතුය. ඒ ඇඳුරුතුමා විසින් ඔහුගේ නිමිත්ත, අධ්‍යාශය, චරියා, අධිමුත්ති ආදිය දැන ඉදින් මේ කමටහන සුදුසු වේද ඉක්බිති යම් විහාරයක තමා වසයි ද ඉදින් ඔහු ද එහිම වසනු කැමැත්තේ නම් එහිදී කෙටියෙන් කමටහන දිය යුතුය. වෙනත් තැනක වසනු කැමැත්තේ නම් එහිදී දුරුකළ යුතු දේ හා ගත යුතු දේ කීම් වශයෙන් අභිමුඛ කිරීම් සහිතව ද රාග චරිතාදී වශයෙන් (ඒ ඒ චරිතයට අනුකූලව) කීම් වශයෙන් ප්‍රභේද සහිතව ද විස්තර සහිතව කිව යුතුය. ඔහු විසින් ඒ පුරෂ්කාර සහිත ප්‍රභේද සහිත කමටහන ඉගෙන ආචාර්‍ය්‍යයන් වහන්සේ විමසා යම් ඒ :
මහා විහාර, අභිනව විහාර, දිරාපත් විහාර, මාර්ගාසන්න විහාර, ගල් පොකුණු ඇති විහාර, පලාකොළ ඇති විහාර, මල් ඇති විහාර, ඵල ඇති විහාර, බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන විහාර ද
නගර ආශ්රිත විහාර, දැව ඇති විහාර, කුඹුරු සීමා ඇසුරු කළ විහාර, විසභාග පුද්ගලයන් ඇති විහාර, සමුද්‍ර තීර ඇසුරු කළ විහාර, ප්‍රත්‍යන්ත ඇසුරු කළ විහාර, රාජ්‍ය සීමා ඇසුරු කළ විහාර, සප්පාය නැති විහාර, යම් විහාරයක කල්‍යාණ මිත්‍රයන් නැත්තේ ද එබඳු විහාරය ද
යන මේ අටළොස් විහාරයන් මෙසේ දොස් සහිත යයි දැන පණ්ඩිත තෙමේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.
මෙසේ දහ අටක් සේනාසනයෝ දුරුකළ යුත්තාහ”යි කියනු ලැබෙත් ද ඒවා දුරුකොට යම් ඒ
“මහණෙනි, සෙනසුන කෙසේ නම් අඞ්ග පහකින් යුක්ත වන්නේ වේද මහණෙනි, මේ ශාසනයෙහි සෙනසුන ගමට ඉතා දුර නොවේද ඉතා ආසන්නද නොවේද ගමනාගමන පහසුකම් සහිතවේද, දහවල් (මිනිසුන්) නොගැවසුණේ රාත්‍රියට අල්ප ශබ්ද ඇත්තේ නිර්ඝෝෂ වූයේ වේද මැසි මදුරු සුළං අව් සර්පයන්ගෙන් ස්පර්ශය අල්ප වූයේ වේද ඒ සෙනසුනෙහි වසන්නන්ට නිදුකින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, බෙහෙත් පිරිකර උපදනේ වේද එම සෙනසුනෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හසළ ආගම ඇති, ධර්මධර, විනයධර, මාතිකාධර, ස්ථවිර භික්ෂූහු වෙසෙත්ද කලින් කල උන්වහන්සේලා වෙත එළඹ “ස්වාමීනි, මෙය කෙසේද? මෙහි කවර අර්ථ ඇත්තේදැයි විමසයිද ප්‍රශ්න කරයිද ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නොවූ අර්ථ විවර කෙරෙත් ද ප්‍රකට නොවූ අර්ථය ප්‍රකට කෙරෙත් ද නොයෙක් ආකාර සැකයට කරුණු වූ ධර්මයන්හි සැක දුරු කෙරෙත් ද මහණෙනි, මෙසේ සෙනසුන අඞ්ග පහකින් යුක්ත වූයේ වෙයි.” යනුවෙන්
මෙසේ අඞ්ග පහකින් යුත් සේනාසනයක් කියන ලද්දේ ද එබඳු වූ සෙනසුනකට එළඹ කළ සියලු කිසෙන් කාමයන්හි ආදීනවත් නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසත් සිහිකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්‍ය්‍ය සත්‍ය මැනවින් අවබෝධ කරගත් හෙයින් ද ධර්මය යහපත් ධර්මයක් වන හෙයින් ද සංඝයා මනා පිළිවෙතට පිළිපන් හෙයින් ද ඒ බව සිහි කිරීමෙන් සිත පහදවාගෙන යම් ඒ :
“වචනයෙන්, සිතින්, වර්ණ වශයෙන්, සණ්ඨාන වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් යන සප්ත ආකාරයෙන් උද්ග්රහයන් දත යුතුය’යි
මෙසේ සප්තවිධ උද්ග්‍රහ කෞශල්‍ය ද අනුපූර්ව වශයෙන්, අතිශීඝ්‍ර නොවීම් වශයෙන්, අතිසනික නොවීම් වශයෙන්, වික්ෂේප දුරු කිරීම් වශයෙන් ප්රඥප්ති ඉක්මීම් වශයෙන්, අනුපූර්ව මුඤ්චන වශයෙන්, අර්පණා වශයෙන්, ත්‍රිවිධ සූත්‍ර (අධිචිත්ත, සීති භාව, බොජ්ඣඞගකොසල්ල) වශයෙන් යන මේ දශවිධ මනසිකාර කෞශල්‍යයක් කියන ලද්දේ ද එය දුරු නොකරමින් ද්වත්තිංසාකාර භාවනාව ආරම්භ කළ යුතුය. මෙසේ ආරම්භ කරන තැනැත්තාටම සියලු ආකාරයෙන් ද්වත්තිංසාකාර භාවනාව සමෘද්ධ වේ. වෙනත් අයුරකින් නොවේ.
එහි මුලින්ම තච පඤ්චකය ගෙන ත්රිපිටකධරයෙකු විසින් වුවද ‘කෙසා, ලොමා’ යන මේ ආදී ක්‍රමයට අනුලෝම වශයෙන් ද එය ප්‍රගුණ වූ පසු “තචො, දන්තා” යන මේ ආදී ක්‍රමයට පටිලෝම වශයෙන් ද පිටත විසිරී ගිය සිතුවිලි සිඳීම සඳහා මෙන්ම පාඨය ප්රගුණවීම සඳහා වචනයෙන් ද ඒ ඒ කොටස්වල ස්වභාවය වටාගැනීම සඳහා මනසින් ද අඩමසක් වැඩිය යුතුය. ඔහුගේ වචනයෙන් කරන භාවනාව පිටත විසිරී ගිය සිතුවිලි සිඳ මනසින් කරන භාවනාවෙන් පාඨය ප්‍රගුණ වීමට ද ප්‍රත්‍යය වෙයි. මනසින් කරන භාවනාව අශුභවර්ණ ලක්ෂණයන්ගේ වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගැනීමට ද උපකාර වන්නේය. ඉක්බිති ඒ ක්‍රමයටම වක්ක පඤ්චකය ද අඩමසක් වැඩිය යුතුය. ඉන්පසු පප්ඵාස පඤ්චකය අඩමසක් ද ඉන්පසු ඒ පඤ්චක තුනම අඩමසක් ද ඉක්බිති මත්‍ථලුඞ්ගය (මොළය) අගට කියන ලද්දේ නමුදු (පෘථිවි ධාතු බහුල බැවින්) පෘථිවි ධාතු ආකාරයන් සමග එක්වන බැවින් භාවනාව සඳහා මෙහි ඇතුළත් කොට ඒ මත්‍ථලුඞ්ග පඤ්චකය අඩමසක් ද ඉන්පසු පඤ්චක හතරම අඩමසක් ද ඉක්බිති මේද ඡක්කය (හයේ කොටස) අඩ මසක් ද අනතුරුව මේද ඡක්කය සමඟ පඤ්චක හතරම අඩ මසක් ද ඉක්බිති මුත්ත ඡක්කය අඩමසක් ද අනතුරුව සියලුම ද්වත්තිංසාකාරය අඩ මසක් ද වශයෙන් මෙසේ සය මසක් වර්ණ, සණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද වශයෙන් නියම කරමින් වැඩිය යුතුය. මෙය මධ්‍යම ප්‍රාඥ පුද්ගලයා සඳහා කියන ලදී. මන්ද ප්‍රාඥයා විසින් වනාහි දිවි ඇති තෙක් වැඩිය යුතුය. තීක්ෂණ ප්‍රඥාවන්තයාට නොබෝ කලකින්ම භාවනාව සමෘද්ධ වන්නේය යනුයි.