නිදානසොධනං
එහිද “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමි” යනු ආරම්භක දේශනා පාඨයයි. මේ එහි අර්‍ථ වර්‍ණනාව සඳහා න්‍යාය මාතෘකාවයි.
“සරණත්‍රය කවරෙකු විසින් කොහිදී කවදා කුමක් හෙයින් දේශනා කරන ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් ආරම්භක වශයෙන් දේශනා නොකරන ලද්දේ නමුදු මෙහි කුමක් හෙයින් ආරම්භයට කියන ලද්දේද?
මෙසේ මෙහි නිදානය පැහැදිලි කොට ඉන් අනතුරුව බුදුන් සරණ යාමත් යන්නාත් පැහැදිලි කරන්නේය.
සරණ භේදය හා අභේදය ද ඵලය ද සරණ යා යුතු ආකාරය ද විස්තර කරන්නේය. දහම් සරණ ආදී දෙකෙහි ද මෙම ක්‍රමයම වේ.
අනුපිළිවෙළින් දැක්වීමෙහි හේතුව ද දක්වන්නේය. එසේම සරණත්‍රය උපමාවන්ගෙන් ද ප්‍රකාශ කරන්නේය.
එහි ප්‍රථම ගාථාවෙහි පළමුකොට - මේ සරණත්‍රය කවරෙකු විසින් කියන ලද්දේද? කොහිදී කියන ලද්දේද? කවදා කියන ලද්දේද? කුමක් හෙයින් කියන ලද්දේද? තථාගතයන් වහන්සේ විසින් පළමුකොට දේශනා නොකරන ලද්දේ නමුදු කුමක් හෙයින් මෙහි මුලටම කියන ලද්දේද? යන ප්‍රශ්න පහකි.
එහි විසදීම මෙසේය :- “කවරෙකු විසින් කියන ලද්දේද” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය. ශ්‍රාවකයින් විසින් නොවේ. සෘෂීන් විසින් නොවේ. දෙවියන් විසින් නොවේ. “කොහිදීද?” යනු බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේදී ය. “කවදාද” යනු ආයුෂ්මත් යස යහළුවන් සමඟ රහත් ඵලයට පැමිණි කල්හි හැට එකක් රහතන් වහන්සේලා බොහෝ ජනයාට හිත පිණිස ලෝකයෙහි ධර්‍මය දේශනා කරන කල්හි, “කුමක් හෙයින්ද යත්?” පැවිද්ද සඳහාත් උපසම්පදාව සඳහාත්ය. යම්සේ වදාළේ ද,
“මහණෙනි, මෙසේ වනාහි පැවිදි කළ යුතුය. උපසම්පදා කළ යුතුය. පළමුව කෙස් රැවුල් බා කසාවත් හඳවා උත්තරාසඞ්ගය (තනිපට සිවුර) ඒකාංශ කරවා භික්ෂූන්ගේ පා වන්දවා උත්කුටිකයෙන් හිඳුවා ඇඳිලි බන්දවා මෙසේ කියවයි කිව යුතුය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනුවෙනි.
කුමක් හෙයින් මෙහි ආරම්භයටම කියන ලද්දේද? යත් මේ නවාඞ්ග ශාස්තෲ ශාසනය පිටක තුනකින් සංග්‍රහ කොට වාචනාමාර්‍ගයට නගන්නා වූ පූර්‍වාචාය්‍යවරුන් විසින් යම් හෙයකින් මේ සරණාගමන මාර්‍ගයෙන් දෙවි මිනිස්සු උපාසක භාවයෙන් හෝ ප්‍රව්‍රජිත භාවයෙන් හෝ ශාසනයට බැස ගනිත්ද එහෙයින් ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්‍ගය වන බැවින් මේ ඛුද්දක පාඨයෙහි මුලින්ම කියන ලද්දේ යයි දත යුතුය.
නිදානය පැහැදිලි කිරීම යි
1. ශරණගමනය වර්ණනාව
බුද්ධවිභාවනා
දැන් “බුද්ධංසරණාගමනං ගමකඤ්ච විභාවයෙ” යයි යමක් කියන ලද්දේද (එය විස්තර කරමි) එහි සියලු ධර්‍ම විෂයෙහි නොපැකිළ පවත්නා වූ දතයුතු හැම දෙයක නොහැනී පවත්නා වූ සර්‍වඥතා ඥානයට නිමිත්ත වූ අර්හත් මාර්‍ගයාගේ අධිගමයෙන් පරිභාවිත වූ ස්කන්ධ සන්තානය ඇසුරු කොට ගත් නම් ඇති හෝ සර්‍වඥතා ඥානය පදනම් කොට ගෙන හෝ සත්‍යාවබෝධය අරමුණු කොට පනවන ලද සත්ත්ව විශේෂයකි බුද්ධ නම්. යම්සේ කීවේද :-
“බුද්ධො’’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් තෙමේම (සත්‍යයන්) අවබෝධ කළේ ආචාර්‍ය්‍යයන් නොමැත්තේ පෙර නොඇසූ විරූ දහම්හි තෙමේම සත්‍යයන් අවබෝධ කළේ ඒ සත්‍යයන්හිදු සර්‍වඥත්වයට පැමිණියේ බල ධර්‍මයන්හිදු වශීභාවයට පැමිණියේ වේද හෙතෙමේය” යනුයි. මේ පළමුකොට
අර්‍ථ වශයෙන් “බුද්ධ” පිළිබඳ විස්තර කිරීමයි.
ඛ්‍යඤ්ජන වශයෙන් වනාහී “අවබෝධ කළේනුයි බුද්ධ වේ. අවබෝධ කරවානුයි “බුද්ධ” යි යන මේ ආදී ක්‍රමයෙන් දත යුතුය. මෙයද කියන ලද්දේය.
“බුද්ධො” යනු කවර අර්‍ථයකින් ‘බුද්ධ” වේද යත් :- සත්‍යයන් අවබෝධ කළේනුයි බුද්ධය. ප්‍රජාවට අවබෝධ කරවානුයි බුද්ධය. සර්‍වඥ බැවින් බුද්ධය. සියල්ල දක්නා සුලු බැවින් බුද්ධය. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධය. (නානාගුණ) සුවඳ විහිදුවන බැවින් බුද්ධය. ආශ්‍රව ක්‍ෂය කළ බැවින් බුද්ධය. උපක්ලේශ රහිත බැවින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ රාග ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ ද්වේශ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහ කළ මෝහ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් නික්ලේශී වන හෙයින් බුද්ධය. ඒකායන මාර්‍ගයට ගිය හෙයින් බුද්ධය. එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධය. මෝහය නැසූ හෙයින් බුද්ධිය පිළි ලැබූ හෙයින් බුද්ධය. බුද්ධ යන ඒ නම මව විසින් නොකරන ලදය. පියා විසින් නොකරන ලදය. සොහොයුරා විසින් නොකරන ලදය. සහෝදරිය විසින් නොකරන ලදය. මිත්‍රාමාත්‍යයන් විසින් නොකරන ලදය. සහලේ නෑයන් විසින් නොකරන ලදය. මහණ බමුණන් විසින් නොකරන ලදය. දෙවියන් විසින් නොකරන ලදය. භාග්‍යවත් බුදුවරයනට යම් “බුද්ධ” යන නාමයෙක් වේ නම් අරිහත් ඵලයාගේ අන්තයෙහි උපන් ඒ නාමය මහබෝමැඩ දී සර්‍වඥතා ඥානයාගේ ප්‍රතිලාභය සමග අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.”
මෙහිදී ද යම්සේ ලෝකයෙහි අවබෝධයට යන තැනැත්තා අවබෝධයට ගිය තැනැත්තේ යැයි කියනු ලැබේද මෙසේ සත්‍යයන් අවබෝධ කළේනුයි “බුද්ධ” වේ. යම්සේ කොළ වියලවන වාතය “පණ්ණසුසා” යයි කියනු ලැබේ ද මෙසේ ප්‍රජාවට අවබෝධ කරවානුයි “බුද්ධ” වේ. “සබ්බඤ්ඤුසුතාය බුද්ධො” යනු සියලු ධර්‍මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත හෙයින් “බුද්ධ” යැයි කියන ලද්දේ වෙයි. “සබ්බදස්සාවිතාය බුද්ධො” යනු සියලු ධර්‍මයන් අවබෝධ කරවීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “අනඤ්ඤනෙය්‍යතාය බුද්ධො” යනු අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද්දේ තමාම අවබෝධ කරගත් හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “විසවිතාය බුද්ධො” යනු නොයෙක් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “ඛීණාසව සඞ්ඛාතෙන බුද්ධො” යනු මේ ආදී වූ සිත හැකිළීම කරන ධර්‍මයන්ගේ ප්‍රහාණයෙන් නිදි හැර පිබිදුණු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුණු බැවින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. “එකායන මග්ගං ගතොති බුද්ධො” යනු බුද්ධියෙන් ප්‍රයෝජන ඇත්තන්ගේ ගමනාර්ථ පර්‍ය්‍යායයෙන් යම්සේ මගට ගියේ නමුදු පුරුෂ තෙම ගියේ යයි කියනු ලැබේද? මෙසේ ඒකායන මාර්‍ගයෙහි ගිය බැවින් ද “බුද්ධ” යයි කියනු ලැබේයයි දැක්වීමට කියන ලදී. “එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති බුද්ධො” යනු අනුන් කරණ කොටගෙන බුදු වූ බැවින් ‘බුද්ධ’ වූයේ නොවේ. හුදෙක් තමාම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් “බුද්ධ” වූයේ යයි කියන ලද්දේ වෙයි. “අබුද්ධි විහතත්තා බුද්ධි පටිලාභා බුද්ධො” යනු බුද්ධි, බුද්ධ, බෝධ යන මේ පද පර්‍ය්‍යාය වචනය. එහි යම්සේ නිල්, රතු ආදී වර්ණ යෙදීමෙන් නිල් වස්ත්‍රය, රතු වස්ත්‍රය යයි කියනු ලැබේ ද එසේම බුද්ධ ගුණයෙන් යුක්ත හෙයින් “බුද්ධ” යයි හැඟවීමට කියන ලද්දේ වෙයි. ඉන් අනතුරුව “බුද්ධ යන මෙය නාමයක් නොවේ” යනාදිය මේ බුද්ධ නාමය අර්‍ථානුගත ප්‍රඥප්තියකැයි අවබෝධ කරවීමට කියන ලද්දේය යනාදී වශයෙන් සියලු පදයන්ගේ බුද්ධ ශබ්දය සෑදීමට සමත් අර්‍ථය දත යුතුය.