9. හළිද්දිරාග ජාතකය (435)
සුති තික්ඛං යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් (විවාහයකට නොගොස්) වැඩුන කුමාරිකාවකගේ පෙළඹවීමක් අරබයා දේශනා කළ සේක. කථා පුවත තෙළෙස්වන නිපාතයෙහි චුල්ල නාරද ජාතකයෙහි පෙනෙන්නේ ය. අතීත ප්රවෘත්තියෙහි ඒ කුමාරිකා තොමෝ තවුස් කුමාරයාගේ සීලය බිඳ තමාගේ වසඟයෙහි හුන් බව දැන මොහු රවටා මිනිස් වාසස්ථානයට ගෙන යන්නෙමියි සිතා රූපාදී කාමගුණයන්ගෙන් තොරව වනයෙහි රක්නා වූ සීලය මහත්ඵල නොවේමය. මිනිස් වාසයෙහිදී රූපාදීන්ගේ එළඹ සිටි කල්හි මහත්ඵල වේ. එව මා සමග ගොස් සිල් රකුව. තොපට වනයෙන් කවර ප්රයෝජනයක්දැයි කියා පළමු ගාථාව කීය.
සුතිනික්ඛං අරඤ්ඤම්හි පාපම්හි සයනාසනෙ,
යෙව ගාමෙ තිතික්ඛන්ති තෙඋළාරතරා තයාති
යෙව ගාමෙ තිතික්ඛන්ති තෙඋළාරතරා තයාති
1. වනයෙහි, ඈත පිහිටි සෙනසුන්හිදී සීතල ආදිය ඉවසිය හැකිය. යමෙක් ගමෙහිදී (ඒ) ශීත ආදිය ඉවසත්ද ඒ ඉවසීම (පළමු) ඉවසීමට වඩා අතිශයින් උසස් වේ.
එහි සුතිතික්ඛං යනු මනාව ඉවසීමයි. තිතික්ඛන්ති යනු සීතල ආදිය ඉවසත්.
ඒ අසා තාපස කුමාරයා කියනුයේ මගේ පියා වනයට ගියේය. ඔහු ආ කල්හි ඔහුගෙන් විමසා යන්නෙමියි කීය. ඇය මෙසේ සිතීය. මොහු පියා ඇත. ඉදින් හෙතෙම මා දකින්නේද කත් කෙළවරින් මෙන් තලා නැසුමට පමුණුවන්නේය. පළමුව මා යා යුතුයයි යනුවෙනි. ඉක්බිති ඔහුට කීවාය. එසේනම් මා මඟ සළකුණු කරමින් පළමුව යන්නෙමි. නුඹ පසුව එවයි. ඔහු ඇය ගිය කල්හි දර ගෙන නො ආවේමය. පිවයුතු හා පරිභෝජනය කළයුතු පැන් නොඑළවීය. හුදෙක් ශෝක සිතුවිල්ලෙන් යුතුවම හුන්නේය. පියා පැමිණෙන කල්හි පෙරගමන්ද නොකළේය. ඉක්බිති පියා මෙතෙමේ ස්ත්රියකගේ වසඟයට ගියේ යයි දැනද ඔහුට කියනුයේ දරුව, කුමක් හෙයින් දර නොගෙන ආවේද? පිවයුතු පරිභෝජනය කළයුතු පැන් නොඑළවීද? ශෝක සිතුවිල්ලෙන්ම හුන්නේ වෙහිදැයි කීය. තාපස කුමාරයා කියනුයේ පියාණනි, වනයෙහි රක්නා ලද සීලය මහත්ඵල නොවේ. මිනිස් වාසයෙහි කරන ලද්දේ මහත්ඵල වේ. මම එහි ගොස් සිල් රකින්නෙමි. මගේ යහළුවා පසුව එවයි කියා පෙරටුව ගියේය. මම ඔහු සමඟම යන්නෙමි. එහි වසන්නා වූ මා විසින් කවර ස්වරූපයේ මිනිසෙක් සේවනය කළ යුත්තේ දැයි විමසන්නේ දෙවන ගාථාව කීය.
2. පියාණනි, මම වනයෙන් ගමට අවුත් කවර ශීලයක් කවර ව්රතයක් කවර පුරුෂයෙක් සේවනය කළයුතුද? විචාරන්නා වූ මට කියව යි.
ඉක්බිති ඔහුට පියා කියනුයේ සෙසු ගාථාවන් ප්රකාශ කළේය.
3. දරුව, යමෙක් තොප හා විශ්වාස කෙරේද, තොපගේ විශ්වාසය ඉවසන්නේද, මනාව ඇහුම්කන් දේද (ඔබේ වචනය) ඉවසන්නේද නුඹ මේ වනයෙන් ගියේ එවැන්නෙකු ඇසුරු කරව.
4. යමෙක් කයින්ද වචනයෙන්ද සිතින්ද පවිටු ක්රියා නොකරන්නේද, ළෙහි හොවාගත් පුතෙකු සේ සිතා, මේ වනයෙන් ගියේ, එවැන්නෙකු ඇසුරු කරව.
5. යමෙක් සුචරිත ධර්මයෙන් යුතුව හැසිරේද, එසේ හැසිරෙනුයේ ඒ ගැන අභිමානවත් නොවේද පිරිසිදු ක්රියා (පිං) කරන නුවණැති ඔහුව, මේ වනයෙන් ගියේ ඇසුරු කරව.
6. දරුව, මිනිසුන් නැත්තේ වුයේ වී නමුත් කහපැහැ ගැන්වුන, මොහොතින් රාගී හා විරාගී බව ඇතිවාක් මෙන් නිතර වෙනස් වන්නා වූ, වඳුරන්ට වැනි චපල සිත් ඇති එබඳු මිනිසෙකු ඇසුරු නොකරව.
7. කෝපයට පත් සර්පයෙකු සේද, අශූචි ගැල්වුන මාවතක් සේද විසම මාර්ගයෙහි යන්නා වූ යානයක් මෙන්ද මෝඩයා දුරින්ම දුරු කරව.
8. දරුව, බාලයා සමග වැඩියෙන් සේවනය කරන්නාගේ අනර්ථයෝ වැඩෙති. හැමකල්හි සතුරෙකු සමග මෙන් සිතා බාලයා සමග ඇසුරට නොයන්නේය.
9. දරුව, මම ඒ ඔබගෙන් ඉල්ලමි. මගේ වචනය කරව. බාලයන් සමග ඇසුරු නොකරන්නේය. බාලයන් සමග එකතුවීම දුකකි.
එහි යො තෙ විස්සසතෙ යනු යමෙක් නුඹ හා විශ්වාස කෙරේද, ඛමෙය්ය තෙ යනු යමෙක් තොප කෙරෙහි ඔහු විසින් කරන ලද විශ්වාසය ඉවසන්නේය. සුස්සුසී ච තිතික්ඛති යනු ඔබේ වචනය ඇසීමෙන්ද වචනය ඉවසීමෙන්ද යුක්ත වූ යමෙක් වන්නේ නම් යන අර්ථයයි. උරසීව පතිට්ඨාය යනු යම්සේ මව පුතු ළෙහි තබයිද මෙසේ තබා මෙන් තමාගේ මව වැනි යයි සිතනුයේ ඔහු භජනය කරන්නේය යයි කියයි. යො ච ධම්මෙන චරති යනු යමෙක් ත්රිවිධ සුචරිත ධර්මයෙන්ම ඉරියව් පවත්වයි. න මඤ්ඤති යනු එසේ හැසිරෙන්නේද මම දහම්හි හැසිරෙමියි මානයක් නොකරයි. විසුද්ධ කාරිං යනු පිරිසිදු දසකුසල කර්මපථයන් කරන්නා වූ.