10. සමුග්ග ජාතකය (436)
කුතොනු ආගච්ඡථ යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් උකටලී භික්‍ෂුවක් අරබයා දේශනා කළ සේක. ශාස්තෲන් වහන්සේ ඔහුට, භික්‍ෂුව ඔබ උකටලී වූයේ සැබව දැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි, මහණ කුමක් හෙයින් මාගමුන් ප්‍රාර්ථනය කෙරෙහිද? මේ මාගමුන් නම් පිළිකුල් කටයුතු ඇත්තේය. කළගුණ නොදන්නේය. පෙර දානව රාක්‍ෂසයෝ ගිල කුසින් පරිහරණය කරන්නාහුද මාගමුන් රක්නට, එක් පුරුෂයෙකු ඇසුරු කරන්නෙකු කිරීමට නොහැකි වූවාහුය යි නුඔ කෙසේ පොහොසත් වන්නෙහි දැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙමේ කාමයන් හැර හිමවතට පිවිස තවුස් පැවිද්දේන් පැවිදි වී අභිඥාවන්ද සමාපත්තීන්ද උපදවා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නේ වාසය කළේය. එතුමාගේ පන්සල නුදුරෙහි එක් දානව රකුසෙක් වාසය කරයි. හෙතෙම අතරතුර මහා සත්‍වයන් වෙත එළඹ ධර්මය අසයි. වනයෙහි මිනිසුන් සැරිසරන මාර්ගයෙහි සිට මිනිසුන් කයි. එකල්හි කාසි රට උසස් රූපශ්‍රීයෙන් යුත් එක් කුලදුවක් එක්තරා පසල් ගමක පදිංචි වූවා වෙයි. ඇය එක්දිනක් මව්පියන් දැකීම පිණිස අවුත් පෙරලා යන කල්හි මිනිසුන් දැක ඒ දානව රකුසා භයානක රූපයකින් යුක්තව කඩා පැන්නේය. මිනිස්සු ගත් ගත් ආයුධ දමා පලා ගියාහුය. දානව රකුසා යානයෙහි හුන් ඉතා රූ ඇති ස්ත්‍රිය දැක පිළිබඳ සිත් ඇත්තේ වී ඇය තමාගේ ගුහාවට පමුණුවා සිය බිරිඳ බවට පත් කළේය. එතැන් පටන් ගිතෙල් සහල් මත්ස්‍ය මාංශ ආදියද මිහිරි ගෙඩිද ගෙනවිත් ඇය පෝෂණය කෙළේය. වස්ත්‍රාලංකාරයෙන් ද ඇය අලංකාර කොට ආරක්‍ෂා කිරීම සඳහා කරඬුවක හොවා කරඬුව ගිල කුසින් රැක ගනී. හෙතෙම එක් දිනයක නහවනු කැමැත්තෙන් එක් විලක් වෙත ගොස් කරඬුව වමාරා ඇය ඉන් බැහැරකොට නාවා විලවුන් ගල්වා අලංකාර කැර ඔබේ සිරුර මදක් සෘතු ගන්වවයි ඇය කරඬුව සමීපයෙහි තබා තෙමේ නහන තොටට බැස ඇය ගැන සැක නොකරනුයේ මද දුරක් ගොස් නෑවේය.
එසමයෙහි වායුස්පුත්‍ර නම් වූ විද්‍යාධරයා කඩුවකින් සන්නද්ධ වූයේ අහසින් යයි. ඇය ඔහු දැක “එවයි” අතින් සංඥා කළාය. විද්‍යාධරයා වහා බිමට බැස්සේය. ඉක්බිති ඔහු ඇය කරඬුවෙහි දමා දානවයාගේ නොපැමිණීම බලන්නී කරඬුව මත්තෙහි හිඳ එන්නා වූ ඔහු දැක ඔහුට තමා දක්වා ඔහු කරඬුව සමීපයට නොපැමිණි කල්හිම කරඬුව විවර කර ඇතුළට පිවිස විද්‍යාධරයාගේ මත්තෙහි වැදහෙව තමාගේ සළුව පෙරවීය. දානවයා අවුත් කරඬුව පරීක්‍ෂා නොකරම මගේ ස්ත්‍රියයයි හැඟීමෙන් කරඬුව ගිල තමාගේ ගුහාවට යන්නේ අතරමගදී මවිසින් තවුසා කලකින් දක්නා ලද්දේය. අද වූ කලී ඔහුට වඳින්නෙමියි ඔහු සමීපයට ගියේය. තවුසා එන්නා වූ ඔහු දුරදීම දැක දෙදෙනාම කුසට ගිය බව දැන ආමන්ත්‍රණය කරන්නේ පළමු ගාථාව කීය.
කුතො නු ආගච්ඡථ භො තයො ජනා, ස්වාගතං එත්‍ථ නිසිදථාසනෙ,
කච්චිත්‍ථ භොන්තො කුසලං අනාමයං , චිරස්ස මබ්භා ගමණං හි වො ඉධාති
1. පින්වත්නි, තෙපි තිදෙන කොහි සිට එන්නහුද? ආවෝ මැනවයි! මේ අසුන්හි හිඳගනිවු. පින්වත්නි කිම, සුවසේද? දුකක් නැත්ද? ඔබගේ මෙහි පැමිණීම කලකින් වීය.
එහි භො යනු ඇමතීමයි. කච්චිත්‍ථ යනු කෙසේ වේද? වහුද? වන්නාහුද? භොන්තො යනු නැවතද අමතන්නේම කීය. කුසලං අනාමයං යනු කිම තොපට යහපත්ද නිරෝගී බව වේද? චිරස්ස මබ්භාගමනං හි වො ඉධ යනු අද තොපලාගේ මෙහි පැමිණීමද බොහෝ කලකින් වීය.
ඒ අසා දානව තෙමේ (සිතනුයේ) මම මේ තාපසයා ළඟට හුදකලාවම පැමිණියෙමි. තවුසා “තිදෙනා” යයි කියයි. මෙතෙම කවරක් නම් කියහිද? කිම ඇති සැටියක් දැන කියයිද නැතහොත් උමතු වී නන් දොඩවයිදැයි සිතා තවුසා වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ ඔහු සමග සල්ලාපයෙහි යෙදෙන්නේ දෙවන ගාථාව කීය.
2. තවුසාණෙනි, අද මම හුදකලාවම මෙහි පැමිණියේ වෙමි. මට කවර හෝ දෙවැන්නෙක් නැත. පින්වත, තෙපි තිදෙන කොහි සිට ආවහුදැයි තොප විසින් කුමක් අරබයා කියන ලදද?
එහි ඉධමජ්ජ යනු මෙහි අද. කිමෙව සන්‍ධාය තෙ භාසිතං ඉසෙ යනු ස්වාමීනි, තවුසාණෙනි, මේ කවරක් අරබයා කියන ලදද පළමුකොට මට හෙළිපෙහෙලි කර කියවයි.
තාපස තෙමේ ඇවැත්නි, එක එල්ලේම අසනු කැමැත්තේ වෙහිදැයි (ඇසීය) එසේය ස්වාමීනි, එසේය ස්වාමීනි යයි කියා තෙවන ගාථාව කීය.
3. ඔබ එකෙකි. කරඬුවෙහි බහා බඩතුරෙහි තැබූ තොපගේ ප්‍රිය භාර්යාවද වේ. හැමකල්හි තොප විසින් කුසතුළ හොවා රකින්නා වූ ඇය වායුපුත්‍ර සමග එහිදී ඇලුනීය යනුයි.